දරුවන්ට හොඳ දේවල් මුලින්ම පුරුදු කරන්නේ දෙමාපියන් ය. ඉන්පසු දරුවන් හොඳ දේ පුරුදු වෙන්නේ උගන්නා පාසලිනි. ජනිතා සවන්දි ධනසේකර දියණියත් ජනිත් චතුර ධනසේකර පුතුත් එසේමය. අම්මාගෙන් තාත්තාගෙන් මෙන්ම ආත්තම්මාගෙන් ලොකු අත්තාගෙන් ලැබූ හොඳ දේට තවත් දේ පාසලින් ඔවුන් එක්කර ගත්තෙන් සමාජයේ කතා බහට ලක්වන හොඳ දරුවන් වීමේ වාසනා ගුණයක් ද ලැබුවෝය.

මහනුවර අම්පිටිය පිච්චමල්තැන්නේ සමීර ධනසේකරගේත් නදීරා රත්නායකගේත් වැඩිමල් දියණිය  ජනිතාය. ඇය ඉපදී වසර පහකට පසු ජනිත් ඇයට මල්ලී වී ඉපදුණේය. ඔවුන් ලොකු මහත් වූයේ පවුලේ සියල්ලෙන්ගේම ආදරය මැද්දේය.

”මම පෞද්ගලික රෝහලක හෙදියක් විදිහට කාලයක් වැඩ කළා. ඒ වගේම මම හොඳ හොකී ක‍්‍රීඩිකාවක්. ඒ නිසා දැන් නම් නොමිලේ පාසල් කීපයකට හොකී පුහුණුව ලබා දෙනවා. එතැනිනුත් සමුද්‍රදේවි බාලිකා විද්‍යාලයට මම මේ සේවය පටන් අරන් අවුරුදු අටක් වෙනවා. මගේ මහත්තයා කොළඹ ඇඟලූම් ව්‍යාපාරයක් පවත්වගෙන යනවා. අපි හුඟාක් හොඳට ආගම, දහම, දෙවියන් බුදුන් අදහගෙන ජීවත්වෙන පවුලක්. මම බුදුන් දහමට හරිම ලැදියි. අපි ගෙදර බුදුන් වඳිනවා. ගණ දෙවියො අදහනවා. අපේ ගෙදර බුදු පහන නිවෙන්න දෙන්නෙ නෑ. කවුරුම හරි තෙල් දදා පත්තු කරනවා. අපි දෙවියන් බුදුන් ගැන ලොකු විශ්වාසයකින් ඉන්නේ. මගේ දුව ලැබෙන්න ඉන්නැද්දී මම පත්තිනි මෑණියන්ගෙන් ඉල්ලූවේ එක දෙයයි. ඒ හොඳ, ලස්සන, බුද්ධිමත් දුවෙක් මට දෙන්න කියලා. පුතා ඉපදෙන්න ඉන්නැද්දිත් මම පත්තිනි මෑණියන්ගෙන් ඉල්ලූවේ ඒ දේමයි. මට ඉල්ලූවා වගේම දරුවො දෙන්නෙක් ලැබුණා. ”
නදීරා පෙළගස්වන්නට සැරසෙන්නේ ආදරේ හිතෙන සුන්දර ළමා කතාන්දරයකි. ඒ කතාන්දරයේ කතා නායිකාව හා නායකයා ඇගේත් සමීරගේත් දියණිය හා පුතුය.

”දුවයි පුතයි පුංචි කාලේ ඉඳලා අපි වගේම ආගමට දහමට හරිම ලැදියි. හරිම නිශ්ශබ්ද ළමයි දෙන්නෙක්. හැබැයි ඒ කාලේ ඉඳලා දෙන්නගෙ හිත හරි කරුණාවයි. ඒ කරුණාවත් දෙවිදියකට තමයි දෙන්නගෙ හිතේ පිහිටලා තියෙන්නේ. දුව වැඩිපුරම නැතිබැරි අයට හරිම කරුණාවයි. ඇඳුම් පැළඳුම්වලින් විතරක් නෙවෙයි කෑමෙන් බීමෙන් ඉගෙන ගන්න දේවලිනුත් පුංචි කාලේ ඉඳලම නැති බැරි අයට දුව උදව් උපකාර කරනවා. සත්තුන්ට හරිම කරුණාවයි, ආදරෙයි.

එයාට හැම සතෙක්ම පව්. එක පෝය දවසක රූපවාහිනියෙ ගිය සිංදුවක විෂුවල් වගයක් තිබුණා හරක් මරණ එක ගැන. හරිම දුක හිතෙනවා. එතකොට පුතා නම් පොඩියි. ඒත් මං දරුවො දෙන්නටම කියලා දුන්නා හරක් මරණ එක ගැන.

එදා ඒක අහගෙන හිටියට අමුතු ප‍්‍රතිචාරයක් දැක්වුවේ නෑ. හැබැයි පුතා ඒ කාලෙ ඉඳලා සත්තුන්ට ආදරෙයි. එතකොට පුතා දෙකේ පන්තියේ වගේ ඉගෙන ගන්න දරුවෙක්. කොහෙදි හරි සතෙක් දැක්කොත් ඒ සතා ගෙදර ගේමු කියලා පුතා අඬන්න ගත්තා. එහෙම සත්තු ගෙනල්ලත් දුන්නා.ඒත් සත්තු කූඩු කරලා හදන්න හොඳ නෑ කියලා තේරුම් කරලා දුන්නට පස්සෙ පුතා දැන් හදන්නෙ බල්ලො විතරයි. ඒත් එක දවසක් පුතා හරක් පැටියෙක් ගේමු කියලා ඉල්ලලාම හිටියා. ඒත් තේරුම් කරලා දුන්නා හරක් පැටියෙක් ගේන්න පසුබිමක් නෑ කියලා. පුතා කොහොමත් කියන්නෙ ලොකු වුණාම සත්තුන්ට බෙහෙත් කරන කෙනෙක් වෙනවා කියලා.”

මේ පුතා අද ඉගෙනගන්නේ මහනුවර ධර්මරාජ විද්‍යාලයේ 5 වසරේය. දියණිය ජනිතා ඉගෙන ගන්නේ මහනුවර මහමායා විද්‍යාලයේ 11 වසරේය. දරුවන් ඉගෙන  ගන්නා නිසා උගන්වන්නට කියා පස්සෙන් පන්නා යන්නට නදීරාටවත් සමීරටවත්  ඕනෑවූයේ නැත. ගුණධර්ම සේම පාසල් අධ්‍යාපනයත් නිසිලෙස ලබන දරුවන් ගැන ඔව්හු නිහ`ඩවම ආඩම්බර වූහ.

ජනිතා සහ ජනිත් සමස්තයක් දරුවන්ට වඩා නිවුණු දරුවෝ වූහ. කුඩාම වියේ සෙල්ලම් බඩුවලට, ලස්සන ඇඳුම්වලට සේම ඇස පිනවන බොහෝ දේට අනෙක් දරුවන් සේ ඇලූම් කළත් තේරෙන අවධිය එනවිට ඔව්හු දෙදෙනාම ඒවා ප‍්‍රතික්ෂේප කළහ. ඒ වෙනුවට ඔවුන් අම්මාගෙන් ,තාත්තාගෙන්, ආත්තම්මාගෙන් ලොකු අත්තාගෙන් ඉල්ලා සිටියේ එක් දෙයකි. ඒ ඒවාට වියදම් කරන මුදල් ඔවුන් අතට දෙන්න කියාය. ඒ ඉල්ලීම අමුතු වුවත් ඔවුන් මුදල් ඉල්ලා සිටියේත් අමුතු වැඩක් කරන්නටයි. ඒ කැට පුරවන්නටයි.

” අම්මා ගෙදර බුදු ගේ ළඟ කැට දෙකක් තියලා තිබ්බා මීට අවුරුදු තුනකට හතරකට කලින් ඉඳලා. අම්මා කියලා තිබ්බෙ ඒ කැටේට ගෙදරින් එළියට යද්දි පඬුරක් දාන්න කියලා. ඒක ගොඩක් වෙලාවට කළෙත් අම්මමයි. අනිත් කැටේට කවුරුත් සල්ලි දැම්මා. කැටවලට එකතුවෙන සල්ලිවලින් අපි වගේ ළමයි ඉන්න ළමා නිවාසෙක ළමයිට දවසක කන්න, අඳින්න, ඉස්කෝලේ පොත් පත් එක්ක හොඳ දානයක් දෙමු කියලා අම්මා කිව්වා. ටික කාලයක් යනකොට මටයි මල්ලිටත් හිතුණා අම්මා කරන වැඬේටම උදව් වෙන්න අපිට ලැබෙන සල්ලි වලින්  කැටවලට එකතු කරන්න. ඉතින් මල්ලියි මමයි ආත්තම්මට කිව්වා අපිටත් කැට දෙකක්  ඕනි කියලා සල්ලි එකතු කරන්න. ටිකක් එකතු කරනකොට ඉක්මනට කැට පුරවන්න ආසා හිතුණා. එතකොට තමයි කැට පුරවන්න සල්ලි  ඕන වුණේ. ඒ හින්දා තමයි අපිට අරන් දෙන සෙල්ලම් බඩු, ඇඳුම්, අපිට අරන් දෙන අමතර කෑම බීමවලට වියදම් කරන සල්ලි ඉල්ලන්න පටන් ගත්තේ ඒ දේවල් එපා කියලා. ”

අම්මත් එක්ක එකතුවෙලා දකින්නට ආසා කළ හීනයට මුල පුරපු හැටි ජනිතා වචන පෙළ ගැස්සුවාය. ජනිතාට  සහ  ජනිත්ට උවමනා වූයේ කැට එකින් එක ඉක්මනින් පුරවන්නටයි. ඒ නිසා ඔවුන් පාසල් යනවිට, පන්ති යනවිට අතට ලැබෙන අමතර මුදල පවා අත්‍යාවශ්‍යම දේට වියදම් කොට හැමදාමත් ඒවායින් කීයක් හෝ ඉතුරු කොට කැටයට දැමූහ. ආත්තම්මා හා ලොකු අත්තාත් ඔවුන්ට උදව් කළහ.

”ඇත්තටම මම ගෙදර කැට දෙකක් පුරවන්න පටන් ගත්තේ ගණ දෙවියන් අදහන්න ගත්තට පස්සේ. ඒ වැඩසටහන්වලදී නිතර මම අහපු දෙයක් තිබුණා. ඒ, දවසකට රුපියලක් හෝ ඉතුරු කරන්න. ඒක දුප්පතකුට පිහිට වෙන්න හරි පන්සලක් හදන්න හරි යොදවන්න පුළුවන් කියලා. ඉතින් මමත් එහෙම හිතලයි ඉතුරු කරන්න ගත්තේ. ඒ දුප්පත් ළමයින්ට පිහිටවෙන අරමුණකින්. ඒ ටික දවසකින් තමයි දරුවොත් කැට ඉල්ලූවේ. මුලින් ඒ අයට ලැබෙන සල්ලි එයාලා ඉතුරු කරලා කැටවලට දැම්මා. ඊට පස්සෙ එයාලා වෙනුවෙන් අරන් දෙන අමතර දේවල්වලට වියදම් කරන සල්ලි ඉල්ලන්න ගත්තා. සෙල්ලම් බඩුවක්  ඕන කියලා කඬේ ගියත් ඒක තෝරලා මුදල් ගෙවන තැනටත් ගිහින් සෙල්ලම්බඩුව එපා කියලා ඒකට යන සල්ලි ඉල්ල ගන්නවා. එයාලා හොඳ දෙයක් කරන නිසා ප‍්‍රශ්න කිරීම්, අදිමදි කිරීම්වලින් තොරව අපිත් ඒ මුදල් දුන්න. ඒ කාලෙ වෙනකොට මම කටුගස්තොට පෞද්ගලික රෝහලක හෙදියක් විදිහට වැඩ කළා. මෙයාලා කැට එකතුකරන්න අරන් තවත් කාලයක් යනකොට ඒ දෙන්නා මට පොඩි ආදරණීය නීතියක් දැම්මා. ඒ, මම ගන්න පඩිය දෙන්නට සමසේ  ඕන කියලා කැටවලට දාන්න. ඒ සල්ලි එකතුවුණේ ගෙදරනේ.

අනික දරුවො කවදාවත් සල්ලිවලින් අනර්ථයක් කළේ නෑ. ගෙදර වියදම හැම දෙයක්ම. මහත්තයා දරපු නිසා මම මගේ වැටුප පුතාටයි දුවටයි බෙදලා දුන්නා කැටේට දාගන්න කියලා. ඔයවිදිහට කාලයක් දරුවො දෙන්නා කැට පිරෙව්වා..”

ඒ ගෙවුණු කාලය අවුරුදු දෙක තුනකි. ඒ කාලයට ඔවුන් අතින් සම්පුර්ණයෙන් පිරුණු කැට ගාන තිහකට වැඩිය. කැටයක් නොව කැට තිස් ගානක් පිරෙද්දිත් ඔවුන්ට ඒවා කඩා ගැන  බලන්නට නම් හිතුණේ නැත. කීයක් තියෙනවාද කියාවත් බලන්නට වුවමනාවක් වූයේත් නැත. ඒ වෙනුවට ඔවුන්ට  ඕනෑවූයේ තවක් කැට කීපයක් හෝ පුරවා අවසන් කරන්නටයි. ඒ නිසා ජනිතා අම්මාට නොහැෙඟන්නට තවත් වැඩක් කළාය.

” දුව මේ අවුරුද්දෙ දෙසැම්බරේ  විභාගෙට ලියනවා. ඒ නිසා අමතර පන්ති යනවා. එයා ඒ දවස්වල ඉඳලා හවස පන්ති දවසට මගෙන් රුපියල් 200 ක් ඉල්ල ගන්නවා. යාළුවෝ එක්ක ඒ සල්ලිවලින් කාලා පන්ති යන්නම් කියලා. මමයි අපේ අම්මයි දෙන්නත් කතා වුණා මෙයා රුපියල් 200 ම වියදම් කරනවද කියලත්. ඒත් සල්ලිවලින් ඒ අය අවැඩක් කරන්නෙ නෑ කියලා දන්න හින්ද අහන්න ගියෙත් නෑ. දරුවන්ගෙ අප්පච්චි කොළඹ ඉඳලා එද්දිත් වෙන ළමයි වගේ කිසි දෙයක් ඉල්ලන්නෙ නෑ. ඒවට වියදම් කරන සල්ලි ඉතුරු කරගෙන ඇවිත් දෙන්න කියලයි ඉල්ලන්නෙ. ඒ හින්දා මහත්තයත් ගොඩක් වෙලාවට එහෙම කරනවා.”

දරුවන් සමග එකතු වී ළමා නිවාසයකට කරන්න යන විශාල දානමය කටයුත්තත් තිබියදී මෙවර වෙසක් මාසයේ නදීරාට ජීවිතේ මුල්ම වතාවට තවත් පින් කටයුත්තකට අත තබන්නට සිත් පහළ වුණේය. ඒ මරණයට නියම වී සිටි හරකෙකු මරණයෙන් බේරා ගැනීමටයි. ඇය ඒ සඳහා ගම්පොළ ප‍්‍රදේශයේ මරන්නට හරකුන් ඇතිකරන තැනකට  ගියාය.

” මං එතෙන්ට ගියෙ ත‍්‍රී විල් එකක. ඒක එළවපු කෙනා මාව එතෙන්ට එක්ක ගියේම ‘මුන්ට හෙන ගහනවා‘ කියල බැණ බැණ ඇත්ත. එතෙන්ට ගියාම හිතට පුදුම දුකක් කම්පාවක් ආවෙ. ලොකු වැස්සියෝ වෙනම හිටියා. පැටව් 4ක් හිටියා. මට පැටියෙක් තෝර ගන්න කිව්වා. ඒ වෙලේ මට කැරකිල්ල වගේ ආවා. මම ඒ පැටව් ටික මරන්න එපා කියලා එතන ටෙලිෆෝන් නොම්මරේත් ඉල්ලගෙන ගෙදර ආවා. ඒ ඇවිත් මං අම්මට කිව්වා එතන හරක් පැටව් හතර දෙනෙක් මරන්න හදනවා. මං එතනින් එක්කෙනෙක් තෝරන්නෙ කොහොමද කියලා. ඒක ඇහිලා ඒ වෙලාවෙ දරුවො කිව්වා අපි ඒ පැටව් ඔක්කොම බේරමු.. අපේ කැටවල සල්ලි දීලා කියලා. එදා ?ම පුරවලා තිබ්බ කැට 25 ක් කැඩුවා.

රුපියල් 245,000 ක්  ඒවයෙ තිබ්බා. ඔන්න එතකොට දුව පර්ස් එකක  එකතු කරපු තවත් රුපියල් 12,567 ක් ගෙනත් දුන්නා. හවස පන්ති කියලා ඉල්ලගත්ත රුපියල් 200 න් එයා හැමදාම 50 ක් වියදම් කරලා 150 ක් ඉතුරු කරලා. ඒ වෙලේ තමයි ඒ කතාව කිව්වෙ. අපේ අක්කා තව සල්ලි ටිකක් දාලා ඒක 26,0000 ක් කළා..”

දරුවන්ගේ උත්සාහයේ ප‍්‍රතිඵල නදීරා ඇතුළු වැඩිහිටියන්ගේ දෑසට කඳුළු නංවන්නට සමත්වුණේ ය. නදීරා ඒ පැටවුන් හතර දෙනා බේරා ගන්නා බව කියා තවත් දවසක් එහි ගියාය. එවිට හතර හය වී සිටියහ. ඒ හයම බේරාගන්නට නදීරා එතැන සිටි මිනිසුන්ට ගිවිසුම් දී ආවේ අත තිබූ මුදල ඒ සඳහා සෑහුණ නිසාය.

”මේක හදිස්සියේ කරන්න ගත්ත වැඩක් නිසා වෙසක් දවසෙ උදේ වෙනකලූත් අපිට හරකුන් ප‍්‍රවාහනයට බලපත‍්‍රය හදාගන්න බැරිවුණා. ඒකට උදව් ඉල්ලූවේ අම්පිටිය දිවුරුම්බෝධිය පුරාණ රජමහ විහාරයේ විහාරාධිපති  කොළබිස්සෙ තිලකසිරි ලොකු හාමුදුරුවන්ගෙන්. වෙසක් දවසේ ඒ තරම් වැඩ තියෙද්දි හමුදුරුවෝ අපිත් එක්ක වඩින්න කැමැති වුණා. ”

ඒ අයුරින් රුපියල් 260,000 ක් වැය කොට වසු පැටවු හයදෙනකු නොව හත් දෙනෙකුන්ම ගෙන එන්නට සිදුවුණේ එදා වෙද්දී තවත් පැටියකු එක්වී සිටි නිසාය. ඒ පන්සලට ගෙනාව පැටව් හාමුදුරුවන්ගෙ අධීක්ෂණයෙන් අපි හොඳ අයට හදාගන්න දුන්නා. විකිණීම තහනම් කරලා දුන්නෙ. එකම කනගාටුව එක පැටියෙක් ගෙනත් දවස් දෙකෙන් මැරුණා. දුර්වල වෙලා හිටපු හින්දා. ඒ අවස්ථාවට දරුවො දෙන්නගෙ පාසලේ ගුරුවරුත් නෑදෑයොත් එකතු වුණා. ඒ වෙලාවේ එකතුවුණ අය දුන්න සල්ලිවලින් රුපියල් 60,000 ක් එකතු වුණා. ඒ සල්ලි අපි යොදවනවා මැයි 01 වැනිදා කුරුණෑගල රෝහලේ පිළිකා වාට්ටුවේ දෙන දානෙට.”

දරු දෙදෙනාගේ උදව්වෙන් කළ මහා පිංකමක සතුට ඒ හැම හදවතකම ලියැවී ඇත.
”දුප්පත් අයට උදව් කරන්න කැට එකතු කළත්, සත්තු මරණ එක පව් හින්දා ඒ සල්ලි දුන්නා හරක් බේරගන්න. ඒ සත්තු ඔක්කොම බේරගන්න තිබ්බා නම් හොඳයි. ඒත් එච්චර සල්ලි තිබ්බෙ නෑ. ජීවිත හතක් හරි බේරගන්න ලැබුණාට සතුටුයි. සත්තු මෙහෙම මරන්න එපා. මරන්න දෙන්නත් එපා. සත්තු ජීවත් කරවන්න..”

ඒ පුංචි ජනිත් චතුර ධනසේකරත් ජනිතා සවන්දි ධනසේකරත් මේ කතාන්දරය අවසානයේ කියන පණිවුඩයයි.
බියංකා නානායක්කාර

Untitled-2