මහින්ද දිනේෂ්ට පෙන්නපු ‍පොහොට්ටුව පිපෙන දවස

සිනමාවේදී ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ අභාවයෙන් පසුව අගමැති රනිල් වික්‍රමසිංහ තමන්ගේ දුරකථනයෙන් වජිර අබේවර්ධන ඇමැතිවරයාට ඇමතුමක් ගත්තේය. ඒ අවසන් කටයුතු සිදුකරන ආකාරය ගැන සාකච්ඡා කිරීමටය.

ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ අවසන් කටයුතු රාජ්‍ය ගෞරව ඇතිව සිදුකරන්න ඉන් පසුව ජනාධිපතිවරයා දුරක:න ඇමතුමක් ලබාදෙමින් වජිරට උපදෙස් දුන්නේය. සඳුදා උදෑසනම රනිල් ලෙස්ටර්ගේ දේහයට අවසන් ගෞරව දැක්වීමට ඔහුගේ නිවසට ගියත් ඒ වන විටත් දේහය නිවසට ගෙනවිත් තිබුණේ නැත. එහෙත් ලෙස්ටර්ගේ පවු‍ලේ ඥාතියෙක් වන දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රීවරයා එහි පැමිණ සිටියේය.  ඔවුන් සමගද අවසන් කටයුතු සිදුකරන ආකාරයට ගැන සාකච්ඡා කළ රනිල් ඉදිරි වැඩ කටයුතු කරගෙන යාමේ වගකීම වජිරට පැවරුවේය. ඒ ඔහු ස්වදේශ කටයුතු ඇමැතිවරයා නිසාය. දේහය පිළිබඳ අවසන් කටයුතු ගැන සාකච්ඡා කරමින් සිටින අවස්ථාවේදී මෛත්‍රීගෙන් ඔහුට දුරකථන ඇමතුමක් ලැබුණේය.

ලෙස්ටර්ගේ ආදාහනය පැවැත්වෙන දිනය ශෝක දිනයක් බවට පත් කරන්න ඕන මෛත්‍රී කීය.
ඒ අනුව වජිර අමාත්‍යාංශ ‍ලේකම්වරයාට දුරකථන ඇමතුම් ලබාදෙමින් ශෝක දිනයක් බවට පත් කිරීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කළේය. ලෙස්ටර්ගේ දේහයට අවසන් ගෞරව දැක්වීමට විශාල පිරිසක් පැමිණ සිටි අතර ඔහුට ඉන්දියාවෙන් ලැබුණ රණ මයුර සම්මානය අතුරුදන්වී තිබුණේද මේ අතරවාරයේදීය. ආදාහන කටයුතු රාජ්‍ය ගෞරව සහිතව නිදහස් චතුරශ්‍රය අසලදී පැවති අතර දේහය තැන්පත් කර තිබුණේ සංදේශය චිත්‍රපටයේ පසුබිම් කරගනිමිනි. ආදාහනෝත්සවය සදහා මෛත්‍රී සහ රනිල් කල් ඇතිව පැමිණ සිටියහ. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පැමිණියේ ඔවුන් දෙදෙනා පැමිණි පසුවය. වෙනදාට මහින්ද දෙසවත් නොබලන මෛත්‍රී ඔහු එන විට දෑත් එක් කර ආයුබෝවන් යැයි කීවේ තමන් වාඩිවී සිටි පුටුවේම වාඩිවීගෙනය. එහෙත් රනිල් ඔහු එන විට වෙනත් පැත්තක් බලාගෙන සිටියේය.

කෙසේ වෙතත් මහින්දට අසුන් පනවා තිබුණේ රනිල්ගේ අසුන ආසන්නයේ වූ අසුනකි. ඔවුන් දෙදෙනා ටික වේලාවකින් සුහද කතාබහකට යොමුවූ අතර ඔවුන් දෙදෙනා කතා කළේ මොනවාදැයි යන්න ගැන කිසිවෙක් දැන සිටියේ නැත. රනිල් ආදාහනෝත්සවයේ කතාව පැවැත්වීමට නැගිට ගිය විට මෛත්‍රී සහ මහින්ද අතර කිසිවෙක් නොවූ අතර ඔවුන් දෙදෙනා කතාබහකට යොමුවූයේ නැත. මහින්ද කතා කළේ තමන්ට දකුණු පස පුටුවේ අසුන්ගෙන සිටි දිනේෂ් සමගය. ආදාහනේට හදලා තියෙන පවුර සංදේශය චිත්‍රපටයේ වගේ හදලා තියෙන්නෙ. දිනේෂ් කීවේය. ඔබ ඒක හොඳට කරලා තියෙනවා. කී මහින්ද ‍පොහොට්ටුව දැක්කදැයි දිනේෂ්ගෙන් ඇසුවේය. දිනේෂ් වටපිට බලමින් ‍පොහොට්ටුවක් ඇත්තේ කොතැනදැයි සෙව්වේය. ඒ වනවිට නෙළුම් කුළුනේ රෝස පැහැති බල්බ දල්වා තිබු නිසා එතැනටත් ඈතින් පෙනෙන්නට වශ්‍රීයේ ‍පොහොට්ටුවක දසුනයි. ආ ආ දැනුයි මම ඒක දැක්කෙ දිනේෂ් මහින්දට කීවේ එක තමයි ලොකුම ‍පොහොට්ටුව කියමිනි. ඔව් තව මාස දෙකක් විතර යනකොට ඒක පිපෙනවා මහින්ද දිනේෂ්ට දුන්නේ ඉඟියකි.අවමංගල උත්සවයේ මහින්ද වෙනුවෙන් කතාවක් වෙන්  කිරීමට ලෙස්ටරේගේ පවු‍ලේ සාමාජිකයෙක්ට අවශ්‍ය වී තිබුණි. එහෙත් වජිර එසේ හිටපු ජනාධිපතිවරයෙක්ට කතාවක් ලබාදීමට කැමැත්තක් දක්වා තිබුණේ නැත.

අලුත් කැබිනට් සූට් මහපු ශ්‍රීලනිප ඇමතිවරු

කැබිනට් සංශෝධනයට පෙර දින ජනපති මෛත්‍රීපාල සිරිසේන සහ අගමැති රනිල් වික්‍රමසිංහ අහඹු ලෙස හමුවූයේ කුරුණෑගලදීය.

ඒ එජාප මහ ‍ලේකම් අකිල විරාජ් කාරියවසම්ගේ මාමණ්ඩියගේ දේහයට අවසන් ගෞරව දැක්වීමට පැමිණි අවස්ථාවේදීය. ඩී.එම්. අබේනායක හිටපු වයඹ ඇමැතිට අවසන් ගෞරව දැක්වූ මෛත්‍රී සහ රනිල් බොහෝ වේලාවක් ආගිය දේශපාලන කතාවලට අවධානය යොමු කළේ කැබිනට් සංශෝධන ගැන වචනයකුදු කතා නොකරය. මෙම හමුව සිදුවන විට අකිල මෙන්ම දයා ගමගේද ඒ අසල සිටියේය.

මේ අතර පසුදින සිදුවූ කැබිනට් සංශෝධනයට අනුව ඇමැති ධුර ගණන 42ක් දක්වා පහත හෙළීය. ප්‍රධාන වශයෙන් ආණ්ඩුවෙන් ඉවත් වුණු ශ්‍රීලනිප ඇමැතිවරු හය දෙනාගේ ඇමැති ධුර අනෙකුත් ඇමැතිවරුන් අතරේ බෙදා දී තිබිණි. එහි විශේෂත්වය වූයේ අමරවීරගෙන් ධීවර විෂය ගලවා දුමින්දගේ කෘෂිකර්මය ඔහුට භාරදීමය.

මෙම සංශෝධනයෙන් පසු ආණ්ඩුවෙන් ඉවත් වූ ශ්‍රීලනිප 16 කණ්ඩායම මල්වතු අස්ගිරි මහානාහිමිවරු බැහැ දැකීමට මහනුවර බලා ගියහ. අස්ගිරි පාර්ශ්වයේ කාරක සංඝ සභාවම 16 දෙනාගේ කණ්ඩායමේ අදහස්වලට සවන් දුන්හ.

එතැන නොසිටියේ සුදර්ශනී ප්‍රනාන්දුපුල්‍ලේ පමණි. ඔවුන් නැවත හමුවූයේ තිලංග සුමතිපාලගේ උපන් දිනය යෙදුණු පසුගිය බ්‍රහස්පතින්දා පුංචි බොරැල්‍ලේ පිහිටි ඔහුගේ නිවසේදීය. එදින උපන් දින සාදයට ෆයිසර්, මහින්දානන්ද, දයාසිරි තිදෙනාම පැමිණ සිටීම විශේෂත්වයකි. ශ්‍රීලනිපයේ නිමල් සිරිපාල ඇතුළු ඇමැතිවරුන්ද තිලංගට සුබ පැතීමට පැමිණ සිටියහ. සියලු දෙනාටම කලින් උදෑසනම තිලංගට සුබපැතුම් එක් කර තිබුණේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂය. අනතුරුව ජනපති මෛත්‍රි ඇතුළු දේශපාලන නායකයන් තිලංගට සුබපැතුම් එක් කර තිබුණේය.

තිලංගේ නිවසේ එදින අපූරු දේශපාලන මාතෘකා කිහිපයක්ද කතාබහට ලක් විණි. ඒ අතර ප්‍රධාන තැනක් ගෙන තිබුණේ මලික්ගේ සහ වජිරගේ මෙහෙයුමකට ශ්‍රීලනිප මධ්‍යම කාරක සභාවේ කතා කළ මන්ත්‍රීවරුන් සිව්දෙනා ගැනය.
අනෙක් කතාබහ පැවතියේ අලුත් කැබිනට් සංශෝධනයේ කැබිනට් ඇමැතිකම් ගැනීමට සූට් මහමින් සිටි ඇමැතිවරු ගැනය. ෆවුසි, ලක්ෂ්මන් සෙනෙවිරත්න, ලසන්ත අලගියවන්න, පියසේන ගමගේගේ නම් ඒ අතර රැව් පිළිරැව් දුන්හ.
මේ අතර අටවැනිදා පාර්ලිමේන්තුවේ සිදුවිය හැකි විශේෂ සිදුවීම් ගැන බදාදා පැවති පක්ෂ නායක හමුවෙන් පසුවත් මන්ත්‍රීවරු කතාබහ කළහ. සම්ප්‍රදාය අනුව විපක්ෂයේ අසුන් ගන්නා ඇමැති ධුරවලින් ඉවත් වූ මන්ත්‍රීවරුන්ට කතාවක් ලබා දීමට කථානායකට සිදුවිය. එවැනි කතාවකට ප්‍රතිඋත්තර බැඳීමේ සම්ප්‍රදායක්ද නැත. ඒ නිසා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කළ පසු කතා කරන ශ්‍රීලනිප මන්ත්‍රීවරුන් කවුද? ඔවුන් ප්‍රශ්න කළේය.

බැසිල් රාජපක්ෂ මහතාගේ 67 වන උපන් දිනය පසුගිය සිකුරාදාට යෙදී තිබුණි. එදින උදෑසනම මහින්ද සිය සොයුරාට සුබපැතීම සඳහා ඔහුගේ නිවස බලා ගියේය. උපන් දිනය වෙනුවෙන් සකස් කර තිබුණු කේක් ගෙඩිය කැපූ බැසිල් එහි පළමු කැබැල්ල කැව්වේ මහින්දටය.

”වයස 67ක් වුණාට තාම කොල්ලා වගේ ඉන්නවා නේද? මහින්ද සිනාසෙමින් ඇසුවේය.
”රාජපක්ෂලාට වයස යන්නේ නැහැනේ” බැසිල් උත්තර දුන්නේය.
”ඒක ඇත්ත. මිනිස්සුන්ගේ ආදරේ තියෙනකම් අපි වයසට යන්නේ නැහැ” මහින්ද පැවසීය.

මන්ත්‍රීලා දෙන්නෙක් හිරගෙදර බංකුවක

ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ පාර්ලිමේන්තු කණ්ඩායම් රැුස්වීම පසුගිය අ`ගහරුවාදා සවස මහින්දගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්වුණේ විජේරාමපෙදෙසේ පිහිටි නිල නිවසේදීය.

මහින්ද, දිනේෂ්, වෙල්ගම, විමල්, පවිත‍්‍රා, ප‍්‍රසන්න ඇතුළු පිරිසක් ඊට සහභාගී වූහ. එහිදී විශේෂ අවධානය යොමු කෙරුණේ එදින උදෑසන සිදුකෙරුණු ඇමැති මණ්ඩල සංශෝධනය සහ ගාල්ලේ දී පැවැත්වීමට නියමිත මැයි දින සැමරුම ගැනය. ”ඔන්න ආණ්ඩුව දැන් විද්‍යාත්මක ක‍්‍රමයට ඇමැති මණ්ඩලයක් පත් කරලා”  ප‍්‍රසන්න කතාවට මුලපිරුවේය.

”ඒ කියන්නේ ආණ්ඩුව පිළිගන්නවා අවුරුදු තුනක් තිස්සෙම තිබිලා තියෙන්නේ කිසිම විද්‍යාත්මකභාවයක් නැති ඇමැති මණ්ඩලයක් කියලා” පවිත‍්‍රා ඇසුවාය.

”මේ ඇමැති මණ්ඩලේ ඉන්නේ නිකම් හොරු නෙමේ කම්බා හොරු.” ප‍්‍රසන්න පැවසීය.”ආණ්ඩුවේ අනික් ඇමැතිවරුන් නම් මම දන්නේ නැහැ හැබැයි වනජීවි ඇමැතිකම නම් දීලා තියෙන්නේ ගැළපෙනම කෙනාට” මහින්ද කීවේය.
”ඒක ඇත්ත. සත්තු ටිකටත් දෙයියන්ගෙම පිහිට තමයි” වෙල්ගම කීවේය.

”මේ ආණ්ඩුව දුවන්නේ බොරුවෙන්. රටේ තියෙන ප‍්‍රශ්න අමතක කරන්න එක්කෝ ප‍්‍රතිපත්ති මාලාවක් හඳුන්වාදෙයි. නැත්නම් ඇමැති සංශෝධනයක් කරයි. එහෙමත් නැත්නම් පක්ෂ ප‍්‍රතිසංවිධානයක් කියයි” වෙල්ගම කීවේය.
”මිනිස්සු බඩු මිල අඩු කරන්න කිව්වම ආණ්ඩුව කරන්නේ ඇමැති මණ්ඩලය සංශෝධනය කරන එක. මේවට වඩා විහිළු තව තියේද?” දිනේෂ් පැවසීය.

”ඒ කතාව හරි. මේ විදියට සෙල්ලම් කරන්න දෙන්න බැහැ. මේ අය මේ කරන විනාශය ආපහු හරවන්න ලෙහෙසි නැහැ. එයාල නම් සෙල්ලම් කරලා යයි. අන්තිමට අමාරුවේ වැටෙන්නේ මිනිස්සුයි” මහින්ද පැවසීය.

”පාර්ලිමේන්තු සැසිය කැඳවන ගැසට් එක හරියට ගහගන්න බැරි ආණ්ඩුවකින් වෙන මොනවද බලාපොරොත්තු වෙන්න පුළුවන්? එකම ගැසට් එක තුන්පාරක් ගහන්න වෙලා තියෙන්නේ ආණ්ඩුවේ ලොකු තැන්වල දැනුම හින්දා තමයි” ප‍්‍රසන්න පෙන්වා දුන්නේය.

”ආණ්ඩුවට හොඳ වැඩ බැරි වුණාට පුහු වැඩවලට නම්  ඕනේ තරම්  මොළේ තියෙනවා. වෙසක් දිනය වගේම කම්කරු දිනයත් කල්දාපු එකෙන් රටම අවුලකට ගියා” දිනේෂ් පැවසීය.

”ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය අවුරුදු තුනක් ඇතළත විනාශ වෙලා ගියා. නිදහස් පක්ෂයේ වෘත්තීය සමිතිය මේ පාර මැයි දිනය සමරන්නේ වෙනම. පක්ෂය වෙනම. අන්තිමට පක්ෂයට ඉතුරු වෙලා ඉන්නේ සභාපතියි, ලේකම් විතරයි” ප‍්‍රසන්න පෙන්වා දුන්නේය.

”බණ්ඩාරනායක මහත්තයා ජීවතුන් අතර හිටියා නම් පක්ෂය විනාශ කරපු වරදට මේ අයට හොඳ දඬුවමක් දෙයි” පවිත‍්‍රා පැවසුවාය. මේ අතර රක්ෂිත බන්ධනාගාරගතව සිටින සනත් නිශාන්ත මන්ත‍්‍රීවරයාගේ සුවදුක් විමසීමට විමලවීර දිසානායක මන්ත‍්‍රීවරයා සහ නිරෝෂන් පේ‍්‍රමරත්න මන්ත‍්‍රීවරයා මීගමුව බන්ධනාගාරයට ගියෝය. ඔවුන් දෛනා බන්ධනාගාරය ඇතුළට ගියේ තමන් මන්ත‍්‍රීවරු බව කියමිනි.

ං‍පොඩ්ඩක් ඉන්න බලන්න. ජේලර්වරයෙක් ඔවුන් දෙදෙනාට කීවේ ඔවුන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරු බව නොදැනය.
ංමේ එක එකා එනවා මන්ත්‍රීවරු කියාගෙන’ මොකුන් එනවාද කියලා දන්නේ නෑිජේලර්වරයා අසල සිටි තවත් ජේලර්වරයෙක්ට කීවේ පැමිණ සිටි අය ගැන ඉහළ නිලධාරීන්ට දැනුවත් කිරීමට යමිනි’
ංඅපි මන්ත්‍රීවරු ඒ කතාව ඇසුණ විට විමලවීර දිසානායක කීවේය.

ංඒකට කමක් නෑ. මෙතැනින් ටිකක් වෙලා වාඩිවෙලා ඉන්න. ජේලර්වරයා නැවත කීවේ වාඩිවීමට අසල තිබූ බංකුවක් පෙන්වමිනි.

ඔවුන් දෙදෙනා විනාඩි හතළිස්පහක් පමණ බංකුවේ වාඩිවී සිටියහ. අවසානයේ බන්ධනාගාර අධිකාරිවරයා පැමිණ ප්‍රශ්නය විසඳුවේය.

ජ.වි.පෙ මැයි රැලියට ආපුසුමන්තිරන්අනුරට කිව්ව දේ

ජනතා විමුක්ති පෙරමුණ මැයි පළමුවෙනිදා යාපනයේදී මැයි දින සැමරුමක් සංවිධානය කළේය. රක්කා පාරේ චුණ්ඩික්කුලි ක‍්‍රීඩාපිටියෙන් ආරම්භ වූ මැයි දින රැුලිය යාපනය නගර සභා පිටියට පැමිණියේය.

පෙළපාළිය ආරම්භ කර සුළු මොහොතකින් දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී එම්.ඒ. සුමන්තිරන්, ජවිපෙ මැයි පෙළපාළියට එක්වූයේ පෙර සූදානමින් සිටියා මෙන්ය. දෙමළ ජාතික සන්ධානයේ මැයි දින සැමරුමට යමින් සිටි සුමන්තිරන් ජවිපෙ පෙළපාළිය දැක සිය වාහනය නතර කොට ජවිපෙ නායක අනුර දිසානායක සමග පෙළපාළියේ ටික දුරක් ගමන් කළේය. ”අනුර එහෙනම් අපේ සුබ පැතුම්” යැයි කී සුමන්තිරන් මැයි දින සැමරුමට සුබපතමින් පිටව ගියේය. මෙවර යාපනයේ පැවැති ජවිපෙ මැයි දින සැමරුම සඳහා විශේෂ ආරාධිතයා ලෙස සහභාගි වූයේ ඉන්දීය කොමියුනිස්ට් පක්ෂයේ (මාක්ස්වාදී* මධ්‍යම කාරක සභික සමස්ත ඉන්දීය වෘත්තීය සමිති සම්මේලනයේ තමිල්නාඩු ප‍්‍රාන්ත සභාපති ඒ. සවුන්දර් රාජන්ය. යාපනයේ පැවැති එකම මැයි දින පෙළපාළියයි. ජාතික සමගිය වෙනුවෙන් කටයුතු කළ හැක්කේ ජවිපෙට පමණක් යැයි සවුන්දර් රාජන් රැුලියේදී කීවේය.

”ජාතික සංහිඳියාව ඇති කිරීම වෙනුවෙන් ජවිපෙ යාපනයේ මැයි රැුලියක් තියපු එක ගැන අපි සතුටු වෙනවා” රූපවාහිනී සංවාදයක් අතරතුර මනෝ ගනේෂන්ද හ`දුන්නෙත්තිට කීවේය.

මේ අතර ජවිපෙ නායකයෝ ආණ්ඩුවේ කැබිනට් මණ්ඩල සංශෝධනය සහ 20 වැනි සංශෝධනය ගැන පසුගියදා සාකච්ඡුා කළහ.

”රටේ ජනතාවට ජනාධිපතිවරයා එක එක වෙලාවෙ එක එක දේවල් කියනවා. කැබිනට් එක විද්‍යාත්මකව හදනවා කියලත් ජනාධිපතිවරයම කිව්වා. ඒත් දැන් වෙලා තියෙන්නේ ඔළුගෙඩි මාරුවක් විතරයි. දුමින්දගේ ඇමැතිකම, මහින්ද අමරවීරට දීලා. අමරවීරගෙ ඇමැතිකම සොයිසට දීලා. සොයිසාගෙ ඇමැතිකම දුමින්දට දීලා. මේක කොහොමද විද්‍යාත්මක වෙන්නේ.” විජිත හේරත් කීවේය.

”මොන විද්‍යාවක්ද? මෛත‍්‍රී කණ්ඩායමේ කට්ටිය ආණ්ඩුවෙන් ඉවත් වුණාට පස්සේ ඇමැතිකන් ටික කාට කාට හරි දෙන්න කැබිනට් සංශෝධනයක්  ඕන වුණා. ඒකට විවිධ කතා කිව්වා. අන්තිමේදී කැබිනට් එකෙන් අයින් කරපු අයටත් ඇමැතිකම් දීලා. දෙන අයට ලැජ්ජත් නැහැ. ගන්න අයට ලැජ්ජත් නැහැ.” සුනිල් හඳුන්නෙත්ති කීවේය.

”විද්‍යාත්මකව ඇමැති ධුර බෙදනව නම් මේ තරම් ඇමැතිකම් දෙන්න  ඕන නැහැ. කෘෂිකර්ම, ඉඩම්, වාරිමාර්ග හා පශු සම්පත් කියලා තිබුණ අමාත්‍යාංශය දැන් කීයකට කඩලද? අපි අමාත්‍යාංශය කරනකොට ඇමැතියි නියෝජ්‍ය ඇමැතියි විතරයි. දැන් ඒකට ඇමැතිලා 10ක් විතර ඉන්නවා. මේ ආණ්ඩුවට විද්‍යාත්මකව වැඩක් කරන්න පුළුවන්ද කියලා තේරුම් ගන්න පුළුවන් විද්‍යා හා තාක්ෂණ ඇමැතිකම දුන්න එකෙන්ම. ඒක දීලා තියෙන්නේ ලක්ෂ්මන් සෙනෙවිරත්නට. අන්තිමට ආණ්ඩුවේ අර්බුදය වහගන්න ගෙනාපු සංශෝධනයෙන් අර්බුදය තවත් වැඩිවෙනවා.”
ලාල්කාන්ත කියා සිටියේය.

”ගෑස්මිල වැඩිවෙලා. රුපියල බාල්දු වෙලා ආනයන භාණ්ඩ මිල වැඩිවෙනවා. උපාධිධාරීන් පාරේ. මේ කිසි ප‍්‍රශ්නයකට ආණ්ඩුවට උත්තර නැහැ. අවුරුදු 03ට ඇමැති මණ්ඩලය හතර පාරක් වෙනස් කළා. අවුරුදු 5කට ඇමැති මණ්ඩලයක්, වැඩපිළිවෙළක් හදාගන්න බැරි අගමැතිලා ජනාධිපතිලා රටකට මොකටද?” ටිල්වින් සිල්වා කියා සිටියේය.

20න් රට බෙදෙන එක ගැන, විධායක අගමැති ධුරයක් හදන එක ගැන, එජාපයේ කොන්ත‍්‍රාත් කරන එකක් ගැන ඇතැම් පක්ෂවල අය කතා කරනවා. 20 වැනි සංශෝධනයේ කරුණු දැක්කාම ඒ අයටම තමන් කියපු කතා අකුළ ගන්න සිදුවෙනවා. 13වැනි සංශෝධනයට බලපාන බලතල කිසිවක් ජනාධිපතිවරයාගෙන් ඉවත් වෙන්නේ නැහැ.

අනෙක ජනාධිපතිවරයාගේ බලතල අගමැති ඇතුළු කැබිනට් මණ්ඩලයට, පාර්ලිමේන්තුවට සහ ව්‍යවස්ථාදායක සභාවට පැවරෙන නිසා විධායක අගමැති කෙනෙක් නිර්මාණය වෙන්නේ නැහැ ” බිමල් රත්නායක කීවේය.

රමේෂ් වරෙල්ලගම