ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානියා සහ දැව සංස්ථාවේ සභාපති මෙරටට මුදල් ආයෝජනය කිරීමට සූදානම් වූ විදෙස් සමාගමකින් අල්ලස් ගනිද්දී අතටම හසු වූ බව මාධ්‍ය මගින් වාර්තා කෙරිණි. එම්.ජී. සුගර් ලංකා නමැති පෞද්ගලික සමාගමෙන් පෙර කී තැනැත්තන් රුපියල් මිලියන 546ක් ඉල්ලා තිබේ. පසුව ඔවුන් සමාගම සමග මිලියන 100කට එකඟ වී ඇත. එකී මිලියන 100න් මිලියන විස්සක් ලබාගැනීමට යාමේදී මෙසේ හසුකරගෙන තිබෙන බව මාධ්‍ය වාර්තාවල සඳහන් වේ. මෙරට ගහන ගැහිලි දෙස බලන විට එක් අතකින් මේවා පුදුමය දනවන පුවත් නොවේ. එසේ වුව ද මෙරට මුදල් ආයෝජනය කිරීමට ඉදිරිපත් වන විදෙස් සමාගම්වලින් අල්ලස් ලබාගැනීමට යාමෙන් පහර වදින්නේ රටේ ආර්ථිකයට පමණක් නොව කීර්තිනාමයටයි. එමගින් අපේ රට, මුදල් ආයෝජනය කිරීමට නුසුදුසු තැනක් සේ අපකීර්තියට ලක්වනු ඇත. ජය ලලිතා පාලනය කළ තමිල්නාඩුවට මුදල් ආයෝජනය කිරීමට ආයෝජකයෝ දැඩි අකමැත්තක් දැක්වූහ. එයට හේතුව ආයෝජකයන්ගෙන් ජයලලිතාගේ ගජමිතුරන් මහ පරිමාණයෙන් අල්ලස් ඉල්ලීමයි.

අවසානයේ අගමැති මෝදි, තමිල්නාඩු දේශපාලනයට අතගැසුවේ එහි අල්ලස් දූෂණවලට එරෙහිව පියවර ගැනීමටය. කොහොමනමුදු ජනාධිපතිවරායාගේ කාර්ය මණ්ඩල ප්‍රධානියා වුව ද තරාතිරම නොබලා අත්අඩංගුවට ගෙන ඔහුගේ වැඩ තහනම් කිරීම අගය කළ යුතු කරුණකි. වරදක් කළ විට තරාතිරම නොබැලිය යුතුය. අප බැලිය යුත්තේ රට හා එහි වැසියන්ගේ අනාගතය දෙස පමණි. ජනාධිපති යනු රටේ අංක එකේ පුරවැසියාය. ඔහුගේ කාර්ය මණ්ඩලයේ ප්‍රධානියා වුවද අත්අඩංගුවට ගැනීමට හැකිවීමෙන් පෙනෙන්නේ නීතිය ක්‍රියාත්මක කිරීමට ඉහළින් බලපෑමක් නොමැති බවය. අනෙක් අතට රටේ රාජ්‍ය නායකයාගේ කාර්ය මණ්ඩල ප්‍රධානියාත් මෙසේ අල්ලසට වංචාවට යොමු වන්නේ නම් ඉන් පහළ තැන් ගැන කවර කතා ද? එහෙයින් ජනාධිපතිවරයාගේ කාර්ය මණ්ඩල ප්‍රධානියා සහ අනෙක් තැනැත්තා අල්ලස් චෝදනාවලට ලක්වීමෙන් පෙනෙන්නේ රට ගරාවැටී ඇති තරමය.

මේ රටේ රාජ්‍ය දේහයට වින කරන මාරාන්තික වෛරසයක් සේ අල්ලස, දූෂණය හා වංචාව දැක්විය හැකිය. පහළින් එය නතර කිරීමට පෙර ඉහළින් නතර කළ යුතුය. එයට හේතුව ඉහළ තිබෙන වංචා, දූෂණ, අල්ලස් පහළට ද ගැලීමය. එහෙයින් ජනාධිපතිවරයා මෙකී දූෂිතයන්ට එරෙහිව දැඩි ස්ථාවරයක සිටීම විය යුත්තක්මය. අල්ලස් ගනිමින්, වංචා කරමින් රට අගාධය කරා ගෙන යන්නේ සුදු කරපටිකාරයන්ය. තවම මේ සුදු කරපටිකාරයන්ගේ කෙරුවාවන් නතර කිරීමට අප රටක් හැටියට සමත් වී නැත. නමුත් තවම අපට දේශපාලන හා ආර්ථික නිදහස ලබා ගැනීමට හැකි වී නැත. එයට ප්‍රධාන හේතුවක් වූයේ රාජ්‍ය තන්ත්‍රය අල්ලසට, වංචාවට, දූෂණයට ගොදුරු වීමය. සිංගප්පූරුව, මැ‍ලේසියාව ආදී රටවල් අප පසුකරගෙන සැතපුම් දස දහස් ගණනක් ඈතට ගොස් තිබෙන්නේ අල්ලසට, දූෂණයට වංචාවට එරෙහි රාජ්‍ය තන්ත්‍රයක් ගොඩනගා ගැනීම නිසාය. කවර කයිවාරු ගැසුවද එවැනි තැනකට ළංවීමට හෝ තවම අප රටක් හැටියට සමත් වී නැත. දේශපාලන නායකත්වයේ සිට හැමතැනම අල්ලස නමැති ඉහඳ පණුවන් දැකිය හැකිය. මේවාට එරෙහිව පියවර ගන්නේ කවදාද? මතුපිටින් පියවර ගත්තාට ප්‍රමාණවත් නැත. දැඩි දඬුවම් දීමේ ක්‍රමවේදයක් සේම වළක්වා ගැනීමේ ශක්තිමත් යාන්ත්‍රණයක් තිබිය යුතුය. යහපාලන ආණ්ඩුව බලයට පත් වූ කාලයේ එවැනි යාන්ත්‍රණයක් ගොඩනැගීම ගැන නොයෙක් ආකාරයෙන් කතාබහ කළ බව පෙනේ. ඒ සඳහා විදෙස් විශේෂඥයන්ගේ උපදෙස් ලබාගන්නා බව වරෙක සඳහන් විය. එසේ වුවද අල්ලසට දූෂණයට එරෙහිව හැදූ යාන්ත්‍රණයක් නැත. අප දුටුවේ යහපාලන ආණ්ඩුව බලයට පත් වූ විගසම මහ බැංකු බැඳුම්කර ගනුදෙනුව නිසා මූල්‍යමය වශයෙන් අස්ථාවර වන රටකි. තවම ඒ මුල්‍යමය අස්ථාවරත්වයෙන් මිදීමට අපට හැකි වී නොමැත.

ජනාධිපතිවරයාගේ කාර්ය මණ්ඩලයේ ප්‍රධානියා අත්අඩංගුවට ගත් ආකාරයට අයථා මහ බැංකු බඳුම්කර ගනුදෙනුවට වගකිවයුතු හිටපු මහ බැංකු අධිපතිවරයා ද අත්අඩංගුවට ගැනීමට නොපමාව නිසි පියවර ගත යුතුය. නිල් නිවේදන, රතු නිවේදන නිකුත් කිරීමෙන් වෙන වැඩක් නැත. ඒ විගඩම් බලා සිටියා දැන් ඇතිය. මෙහිලා පැනනගින තවත් ගැටලුවක් තිබේ. ඒ නිලධාරීන්ගේ අල්ලස් ගැනිලි, දූෂණ වංචා පිටුපස නොව ඒවා ඉදිරිපසම සිටින දේශපාලන නායකයන් පිළිබඳ ගන්නා ක්‍රියාමාර්ගය කුමක්ද යන්නය. හැමවිටම මැති ඇමැතිවරු සහ ඊට ඉහළ සිටින්නෝ නිලධාරීන්ගේ ගිණුමට සියල්ල බැර කර අත හෝදා ගනිති. එහෙත් මේ දේශපාලනඥයන්ට එරෙහිව ක්‍රියාමාර්ග නොගෙන නිලධාරීන්ගේ අල්ලස්, දූෂණ ගැනිලි නතර කළ නොහැකිය. පළමු වැට බැඳිය යුත්තේ දේශපාලනඥයන්ටය. අල්ලස් දූෂණවලට සම්බන්ධ බව තහවුරු වූ දේශපාලනඥයන්ට දේශපාලනය තහනම් කළ යුතුය. ඔවුන් අයථා විදියට උපයා ගත් චංචල, නිශ්චල දේපළ රාජසන්තක කළ යුතුය. එසේ වුවද තවම එවැනි එඩිතර පියවරක් ගැනීමට කිසිම ආණ්ඩුවක් සමත් වී නැත. එවැනි තැනකට එළඹි කල මේ රට ඉදිරියට ඇදෙනු ඇත. දේශපාලනඥයන් අල්ලස් ගැනීමට පෙලඹෙන විට ඉහළ නිලධාරීහු ඊට කිසිදු බයක් නැතිව පෙලඹෙති. ඉහළ නිලධාරීන් අල්ලස් ගැනීමට පෙලඹෙන විට පහළ සිටින්නෝ කිසිදු බයක් නැතිව අල්ලසට, වංචාවට යොමුවෙති. එහෙයින් අගින්, මැදින් නොව මුලින්ම අල්ලසට, දූෂණයට එරෙහිව දැන්වත් සියලු පියවර ගැනීමට ආණ්ඩුව යොමු විය යුතුය.