රුවන්මැලි මහා සෑයේ කොත පැලඳවීමේ උළෙලට සහභාගි වූ සද්ධාතිස්ස රජතුමා කොත මුඳුනට ළඟාවීමට තනා තිබුණු පලංචි පෙළේ කිසියම් අමුත්තක් දුටුවේය. සාමාන්‍යයෙන් පලංචියක දැකිය නොහැකි, නළ මාර්ගයක් බඳු, එකට ඇමුණූ උණබට පේළියක් තිසාවැව දෙස සිට පේසා වළලූ දක්වා එළා තිබේ. එ් නිරීක්ෂණය කරමින් කොත පැලඳවීමේ පුණ්‍යකර්මයට සහභාගි වූ රජතුමා, කොත දෝවනය කරන්නට සූදානම් වූයේ විස්මයාවහ සතුටින් ඉපිල ගියේය. දෝවනය පිණිස ජලය සැපයුණේ පහළින් බඳුනකට ගෙනෙන ලද පැන්වලින් නොවේ. පෙර කී උණබට නළ දිගේ තිසාවැවෙන් සැපයුණු පැන්වලිනි. අඩි 300ක් පමණ පහළ සිට චෛත්‍යය මුදුනට පැන් සැපයුණේ කෙසේද යන්න රජුගේ විමතියට හේතු විණි. පින්කමින් පසුව කොත මුදුනට පැන් සැපයූ ඉංජිනේරුවරයා කැඳවා එ් තාක්ෂණය පිළිබඳව කරුණු විමසා සතුටට පත් රජතුමා ඔහුට ‘රන්කොත්පේඩි’ නමින් නම්බුනාමයක් ප‍්‍රදානය කළේය. ජනශ‍්‍රැතියට අනුව ජලය සයපා ඇත්තේ ‘ජල යන්ත‍්‍රයක’ ආධාරයෙනි. (අදත් අප අතර වෙසෙන ‘රන්කොත්පේඩි’ලා එ් මහා ශිල්පියාගේ පරපුරේ ඇත්තෝය.)

රුවන්මැලි මහා සෑය බුදුන් වහන්සේගේ ධාතු ඇතුළත් අග‍්‍ර චෛත්‍යයයි. එහි කොත පැලඳවීමට ගිය රජතුමා එ් මත යොදා තිබුණු පලංචි දැක කෝප වූයේ නැත. පලංචි තනවා තිබුණේ කොත පැලඳීමේ පින්කමට සහභාගි වන්නන්ට පේසා වළලූ කෙළවරට ළඟාවීමේ පහසුව තනා දීමට මිස චෛත්‍යයට ශාරීරික පීඩා කිරීමට නොවන බව රජතුමා දනී. පලංචි අතර දුටු උණබට පෙළ ද රජුගේ උදහසට හේතුවක් නොවීය. මේ කවර නිමැවුමක වුව අරමුණ යහපත් බව රජතුමා දැන හුන්නේය. පින්කමේ පහසුව පිණිස විනා වෙනත් කිසිත් අරමුණක් එ් ඉදිකළවුන්ගේ සිත් තුළ නැති බව රජතුමාට විශ්වාසය. වඩාත් වැදගත් වන්නේ චේතනාවයි. චේතනාවම කර්මය වන බවයි, බුදුදහම පවසන්නේ. බුදුදහමේ ඉගැන්වෙන මෙත්තා, මුදිතා, කරුණා, උපේක්ෂා යන සතර බ‍්‍රහ්ම විහරණ යටතේ ජීවිතය දෙස බලන්නට යම් පුහුණුවක් ලද අයකු වටපිටාවේ සිදුවන දෑ දෙස බලන්නේ එපරිද්දෙනි.

පසුගිය වෙසක් පෝයදා නවීන තාක්ෂණය භාවිත කරමින් රුවන්මැලි මහා සෑයට ආලෝක පූජා පවත්වන්නට කටයුතු කළ සංවිධායකයන් මුහුණ පෑයේ මීට හාත්පසින්ම වෙනත් අත්දැකීමකටය. නොයෙකුත් පුද්ගලයන් ඔවුන්ට විරුද්ධව ප‍්‍රකාශ කළ දැඩි විවේචන සමාජ ජාලා ඔස්සේ මෙන්ම වෙනත් මාධ්‍ය මගින්ද ප‍්‍රචාරය කෙරිණි. ලේසර් ආලෝක ධාරා එල්ල කරමින් නොයෙකුත් විකාර සිතුවම් පළ කර රුවන්මැලි සෑයට නිගරු කළ බව චෝදනාවල මූලික හරය විණි. විවිධ අංක සහ කොටු, ධර්මචක‍්‍රය, සැරසිලි මෝස්තර ආදියෙන් වැසුණු රුවන්මැලි සෑයේ ඡුායාරූප කිහිපයක්ද සමාජ ජාලාවල පළ කොට තිබුණි. එ් ඡුායාරූප දුටු අපිද වික්ෂිප්ත වීමු. රුවන්මැලි සෑයට නූතන තාක්ෂණය ආධාරයෙන් ෂඞ් වර්ණයෙන් හා ධවල වර්ණයෙන් ආලෝක පූජා පැවැත්වෙන ඡුායාරූපද සමාජ ජාලාවල පළව තිබෙනු අප දුටුවේ එ් අතරය. එසේ ආලෝක පූජාවට විපක්ෂව මෙන්ම පක්ෂවද මැදහත්වද විවිධ පුද්ගලයෝ අදහස් දක්වන්නට වූහ. එහි සිදුවූයේ කුමක්දැයි නිවැරදිව නොදැන හරි වැරැුද්ද සිතාගත නොහැකි බැවින් අපි රුවන්මැලි මහා සෑය විහාරාධිපති පල්ලේගම හේමරතන හිමියන් ඇමතුවෙමු. දහමත්, කලාවත් හොඳින් දන්නා උන්වහන්සේ, කිසි කලෙකත් රුවන්මැලි මහා සෑයට නිගරුවක් කෙරෙන කාර්යයකට අවසරයක් නොදෙන බවට විශ්වාසයක් අප තුළ තිබේ.

”ඔය මාධ්‍යජාලාවල පළ කරලා තියෙන ඡුායාරූප, පූජාව අවස්ථාවේ ගත්ත එ්වා නෙවෙයි. මේ ආලෝක පූජාව කළේ නව තාක්ෂණය යටතේ ප්‍රොජෙක්ටර් පාවිච්චි කරලයි. ඇත්තටම එ්වා ලේසර් කිරණත් නෙවෙයි. චෛත්‍යයට කිසිම ශාරීරික පීඩාවක් නොවෙන විදිහට චෛත්‍යයෙන් අඩි ගණනාවක් ඈත ඉඳලයි මේ ආලෝක ධාරා චෛත්‍යයට එල්ල කෙරෙන්නෙ. එ් නිසා එ් ආලෝක ධාරා නියමිත ස්ථානවලටම පතිත කරවීමට කල් ඇතිව පෙරහුරු පරීක්ෂණයක් පැවැත්වුණා. මොකද නිවැරදි ඉලක්කයට එල්ල කළේ නැතිනම් ආලෝක පූජාව සාර්ථක වෙන්නෙ නැහැ. පෙරහුරු පරීක්ෂණයේදි ඔවුන් නියමිත ස්ථානවල ප්‍රොජෙක්ටර් යන්ත‍්‍ර තබා එ්වායෙ අවශ්‍ය සීරුමාරුකිරීම් කරගත්තා.

පරීක්ෂණයේ අවශ්‍යතා සඳහා තමයි ධර්ම චක‍්‍ර, ඉලක්කම් වගේ දේවල් ප‍්‍රක්ෂේපණය කරලා තියෙන්නෙ. ඔය පෙරහුරු පරීක්ෂණය පැවැත්තුවෙ පෝයට දවස් දෙකකට කලින් මහ? සෙනග ගැවසෙන්නෙ නැති වෙලාවකයි. එ්ත් ඉතිං කවුරු හරි මේක දැකලා ඡුායාරූප අරගෙන ප‍්‍රසිද්ධ කරලා තියෙනවා. මේක චෛත්‍යයට කිසිම හිංසාවක් පීඩාවක් නින්දාවක් කෙරෙන කාර්යයක් නෙවෙයි. සාමාන්‍ය විදුලි ආලෝක පූජාවක් පවත්වද්දි වගේ චෛත්‍යය එක්ක ගැටීමක්වත් හානියක්වත් මේකෙදි සිද්ධ වුණේ නැහැ. එ් නිසා ඕවා ඔය කරුණු කාරණා හරිහැටි නොදැන කරන විවේචන. පෝයදා පූජාව අවස්ථාවේ ෂඞ් වර්ණය හා ධවල වර්ණය විනාඩි පහ බැගින් මාරුවෙන් මාරුවට නිකුත් කරමින් විනාඩි 15ක් ආලෝක පූජාව පැවැත්වුණා.”

හේමරතන හිමියෝ උපේක්ෂාවෙන් යුතුව අප හා පැවසූහ.
ගෞතම බුදු සසුනේ චිරස්ථිතිය පිණිස යුද වැද රට එක්සේසත් කළ දුටුගැමුණු රජතුමා, රුවන්මැලි මහා සෑය ඉදිකරවූයේ, මිහිඳු මහරහතන් වහන්සේ විසින් කරන ලද අනාගත වාක්‍යයකට අනුව බව පැවසේ. රුවන්මැලි මහා සෑයට අප සංස්කෘතියේ මේ තරම් වැදගත්කමක් හිමිවන්නට එයද හේතුවකි. එහෙයින් රුවන්මැලි මහා සෑය සිංහල බෞද්ධ සංස්කෘතියේ අග‍්‍ර නිර්මාණයකි. අග‍්‍ර සංකේතයකි. ඊට නින්දා අපහාස කරනු ඉවසන කිසිදු බෞද්ධයකු සිටිය නොහැකිය. අප ද එසේය. එහෙත් පසුගිය වෙසක් පොහොය දා පැවැත්වුණු ආලෝක පූජාව නිසා රුවන්මැලි සෑයට නිගරුවක් වූයේද? යන්න මැදහත්ව කල්පනා කළ යුත්තකි.

රටේ විවිධ චෛත්‍යයන්ට ආලෝක පූජා පැවැත්වීම කාලයක පටන් පැවත එන් චාරිත‍්‍රයකි. එ් හැම පූජාවකදීම භාවිත කෙරෙන්නේ විදුලි බුබුළුය. එ් සඳහා බොහෝ විට සුදු පැහැ විදුලි බුබුළු හෝ ෂඞ් වර්ණ විදුලි බුබුළු භාවිත කෙරෙයි. වෙසක් පොහෝදා රුවන්මැලි සෑය වෙනුවෙන් පැවති ආලෝක පූජාවේදී අමුත්තකට සිදුවූයේ විදුලි බුබුළු වෙනුවට ප‍්‍රක්ෂේපිත ආලෝකය භාවිත කිරීමයි. චෝදනාවට මුල් වූයේ, සැබෑම ආලෝක පූජාවද නොව පෙරහුරු පරීක්ෂාවේදී භාවිත කෙරුණු විවිධ රූ රටාවන් බවද මෙහිදී අපගේ අවධානයට යොමු විය යුතුව තිබේ. සිද්ධිය නොදැන එම දර්ශන පමණක් දකින සැදැහැවතකු තුළ යම් කම්පාවක් ඇතිවීමට ඉඩ ප‍්‍රස්ථා තිබෙන බවද අප පිළිගත යුතුය. එසේ වුවත් එ් පිළිබඳව සමාජයට අදහස් පළ කළ යුත්තේ කාර්යයේ අරමුණ හා තාක්ෂණික කාරණා පිළිබඳවද අවබෝධයකින් යුතුවය.

මෙහිදී කරුණු කිහිපයක් පිළිබඳව අපගේ අවධානය යොමු විය යුතුව තිබේ. ආලෝක පූජාවක් පැවැත්වීමේ යහපත් අරමුණ පෙරදැරිව කෙරුණු මේ පෙරහුරුව මගින් රුවන්මැලි සෑයට නිගරුවක් සිදු වීද යන්න පළමුව සිතා බැලිය යුතු කරුණයි. රුවන්මැලි සෑයට ආලෝක පූජා පැවැත්වීම, සෑයේ හුනු ආලේප කිරීම වැනි කාර්යයන් සඳහා එ් මත රැුහැන් ඇදීම, පලංචි බැඳීම වැනි කාර්යයන් සිදු කරන බව රහසක් නොවේ. එහිදී සැලකිය යුතු කාලයක් මුළුල්ලේ චෛත්‍යයට ශාරීරික හිංසාවන්ද සිදු වෙයි. චෛත්‍යයේ බාහිර පෙනුම විරූප වෙයි. දින ගණනාවක් මුළුල්ලේ සිදු කෙරෙන එවැනි හිංසාවන්, විරූප කිරීම් දැක කම්පා නොවන අප, සද්භාවයෙන් යුතුව, විනාඩි කිහිපයක් පමණක් චෛත්‍යය මතට එල්ල කෙරෙන අපගේ සංස්කෘතියට අනුගත සිතුවම් බහුතරයකින්ද යුතු රූපාවලියක් දැන නොපහන් සිත් ඇති කරගත යුතුද? කරුණු නොදැන ක්ෂණිකව දකින දසුනක් මත සිතේ කම්පාවක් ඇතිවීම සාධාරණ වුවද කරුණු අවබෝධ කරගත් පසුවත් දිගින් දිගටම එ් මතයේම එල්බ සිටීම සාධාරණද යන්න දෙවරක් සිතා බැලිය යුතු කරුණකි.

එසේම පෙරහුරු පර්යේෂණ සඳහා වෙනත් රූපාවලි භාවිත නොකර ෂඞ් වර්ණය පමණක් භාවිත කිරීමේ හැකියාව නොතිබුණේද යන්නද සිතා බැලිය යුතු කරුණකි. අංක සහ කොටු ප‍්‍රක්ෂේපණය, චෛත්‍යයේ පිහිටීමට අනුව අලෝක ධාරා ප‍්‍රක්ෂේපනය කිරීමේ අරමුණින් කළ බවට සැක නැත. එසේ වුවද අනෙකුත් රූපාවලි නොමැතිව සුදු ආලෝකය සහ ෂඞ් වර්ණ පෙරහුරුව සඳහාද භාවිත කළේ නම් මේ තරම් විරෝධයක් සමාජයෙන් එල්ල නොවන්නට තිබුණි. ලේසර් කිරණ භාවිතය නිසා සෑයේ ධාතු ගර්භයට හානි සිදුවිය හැකි බවටද මත පළ වී තිබුණු නමුත් අපට දැනගන්නට ලැබුණු ආකාරයට එහිදී ලේසර් කිරණ භාවිත වී නැත. මෙය අලූත් අත්දැකීමක් නිසා සංවිධායකයන්ටද මෙය සිතන තරම් පහසු කටයුත්තක් නොවූ බවට සැක නැත. රුවන්මැලි සෑයේ පලංචි පවා සවි කර තිබෙනු දැක පුරුදු නිසා මෙය මේ තරම් බරපතළ තත්ත්වයක් නිර්මාණය කරන්නට හේතුවක් වනු ඇතැයි ඔවුන් නොසිතුවා වන්නටද පුළුවන.

මෙය අප කාටත් හොඳ පාඩමක් කියා දෙන සිදුවීමකි. ශ‍්‍රී ලංකාව වැනි සංස්කෘතික උරුමයන් පිළිබඳ දැඩි සැලකිල්ලක් දක්වන, අතීතකාමීන් හා සාම්ප‍්‍රදායිකත්වයෙන් බැහැර නොයන පුද්ගලයන් බහුතරයක් වෙසෙන රටක මෙවැනි කාර්යයන් සංවිධාන කිරීමේදී ඉතා ගැඹුරින් සිතා බලා කටයුතු කිරීම අත්‍යවශ්‍ය බව මේ සිදුවීම අප කාටකාටත් අනතුරු අඟවයි. අනාගතයේදී මීට වඩා සැලකිල්ලෙන් මෙවන් සද්කාර්යයන් කිරීම ඔවුන්ගේ වගකීමකි. යමක් ඇසට කනට වැටුණු පමණින්, ලෝකය පෙරළෙනවෝයි කෑගසමින් දිවූ හාවා සිහි කෙරෙන පරිදි කටයුතු නොකර, උපේක්ෂාවෙන් (මැදහත් සිතින්* කටයුතු කිරීමේ අගයද මේ සිදුවීම අපට පහදා දෙයි. වැරදි දහසක් කරන පුද්ගලයකු කරන එක් යහපත් කාර්යයක් අගය කිරීම මගින්, එ් පුද්ගලයා වැරදි පන්සියයකින්, හත්සියයකින් හෝ සියලූ වැරදිවලින් මුදාලිය හැකි බව අප සිහිපත් කළ යුතුය. බුදු දහමේ වැදගත්ම ලක්ෂණයක් වන්නේ වරදින් මිදෙන්නට ලබාදෙන අවකාශයයි. නිවනට මඟ පෑදෙන්නේද එමගිනි. දහසක් පුද්ගලයින් ඝාතනය කළ අංගුලිමාල රහත්වීම හොඳ නිදසුනකි.

රුවන්මැලි සෑ වෙසක් ආලෝක පූජා සංවිධායකයන් වෙසක් උළෙල අවස්ථාවේ ඉතා යහපත් කාර්යයක් කළද එය කිසිවකුගේ ඇගැයීමට ලක්වූ බවක් සමාජ ජාලාවල දකින්නට නොලැබුණි. එ්, දිවා කාලයේදී රුවන්මැලි සෑයේ සලපතල මළුව රත්වීම නිසා බැතිමතුන් පත්වන අපහසුතාව මගහැරවීමට සලපතල මළුවේ ලණු පළසක් එළීමේ සද්කාර්යයයි. එය දහස් සංඛ්‍යාත බැතිමතුන්ට මහත් සහනයක් වූ පින්කමක් බවට සැක නැත. එය ඇගැයීමට ලක් නොකොට වරදම අල්ලාගෙන දෙස් තැබීම සාධාරණ නොවේ. බුදු දහමේ මූලික හරය අනුව බලන කල, ඕනෑම කාර්යයක වඩාත් වැදගත් වන්නේ චේතනාවයි. ආලෝක පූජාව පැවැත්වූවන් මෙන්ම එය විවේචනය කරන්නවුන්ද නැවත නැවතත් සිහිපත් කළ යුත්තේ එ් එ් කාර්යයන් උදෙසා තමන් මෙහෙයවූ චේතනාවයි. බුදු දහම අපට කියන්නේ තමන් ගැන, තම චේතනාවන් ගැන සොයන්නට මිස අනුන් ගැන, අනුන්ගේ චේතනාවන් ගැන සොයන්නට නොවේ.

නාරද කරුණාතිලක