මේ කතාවට දැන් වසර 31 ක් ඉක්ම ගොස් තිබේ. වසර 31 කට එපිට කතාවක් මේ වෙලාවේ ඇද ගන්නේ කුමටදැයි ඔබ සිතනු ඇත. එපමණ කලක් ගත වූ පැරණි කතාවක් යළි මතකයට එන්නට හේතු වූයේ රජය විසින් මෙවර මැයි දිනය කල් දැමීම නිසාය.

මෙවර මැයි දිනය කල් දමන්නට හේතු වූයේ වෙසක් සතිය ද මැයි දිනයට සමගාමීව යෙදුණු නිසාය. මහානායක හිමිවරුන්ගේ ඉල්ලීම පරිදි රජය මැයි දිනය මැයි 07 වැනිදාට කල් දැමුවේ එය හේතු කොට ගෙනය.

එහෙත් එදා මෙන් මැයි දිනය කල් දැමීම මෙදා බිහිසුණු එකක් වූයේ නැත. තහනම් නීතියක් තිබුණ ද තැන් තැන්වල විවිධ පක්‍ෂවල මැයි දින රැුලි හා රැුස්වීම් පැවැත්විණි.

ඉතිහාසයේ මැයි දින සමරුවක් කල් දැමීමේ ඉතාම තීරණාත්මක මෙන්ම බිහිසුණු කතාව එන්නේ 1987 වසරේ මැයි දිනය කල් දැමීම පිළිබඳවය.  එයට එදා හේතු වූයේ මෙවර සිදු වූවා මෙන් මෙවැනි සරල ආගමික කාරණාවක් නොවේ.

වසර 1987 ම යනු ශ‍්‍රී ලංකා භූමිය තුළ විවිධාකාර අර්බුද රැුසක් නිර්මාණය වෙමින් තිබූ කාල වකවානුවකි. ’83 කළු ජුලියේ සිදුවීම් දඩමීමා කර ගනිමින් ජේ. ආර්. ජයවර්ධන ආණ්ඩුව නීති විරෝධී ලෙස ජනතා විමුක්ති පෙරමුණ තහනම් කර තිබුණේය. රෝහණ විජේවීර, ගමනායක ඇතුළු එහි නායකයින් ප‍්‍රසිද්ධියේ අත්අඩංගුවට ගැනීමට හෝ රහසිගතව මරා දැමීමට නියෝග නිකුත් කර තිබිණ. ජවිපෙ ක‍්‍රියාත්මක වෙමින් තිබුණේ රහසිගත දේශපාලන ව්‍යාපාරයක් වශයෙනි. අනෙක් පැත්තෙන් උතුරේ එල්.ටී.ටී.ඊ ක‍්‍රියාකාරකම් ද ඒවා දකුණේ ආරක්‍ෂාවට කරන බලපෑම් ද උත්සන්න වෙමින් පැවැති කාල වකවානුවක් විය. කොටි ත‍්‍රස්තවාදයේ කෲරත්වය විසින් මිනිසුන් බිලි ගන්නා සමයක් විය.

ඔය වාතාවරණය යටතේ පිටකොටුව ජන ඝාතක කොටි බෝම්බය පුපුරා යන්නේ 1987 අප‍්‍රියෙල් 21 වැනිදා සවස 4.30 ට පමණය. අලූත් අවුරුද්දට ගම් බිම් බලා ගොස් එමින් සිටි ජනතාව ද රැුකියා සහ වෙනත් කටයුතු සඳහා පිටකොටුව ප‍්‍රදේශයේ රැුඳී හුන් ජනතාව ද අති විශාල විය. බස් නැවැතුම්පල සහ පිටකොටුව බෝ ගහ ආසන්නයෙන් මහා හඬක් නගමින් පුපුරා ගිය මේ කුරිරු බෝම්බයෙන් 122 දෙනකුට පමණ ජීවිත අහිමි විය. 150 කට වැඩි පිරිසක් බරපතළ තුවාල ලබා තිබිණ. කෝටි ගණනක අලාභයක් සමග රට ගිනි ජාලාවක් වූ අතර ආණ්ඩුව ද බලවත් අසීරුතාවකට පත්ව සිටියේය.

මේ බෝම්බය පිපිරීමත් සමග රට පුරා උග‍්‍ර ආණ්ඩු විරෝධයක් ගොඩනැගෙමින් තිබිණ. ඒ නිසාම ආණ්ඩුව තීන්දු තීරණ කීපයක් ම ගත්තේය. ඒ අතරින් බරපතළම තීරණය වූයේ 1987 මැයි දින නොපැවැත්වීමට ගත් තීරණයයි. මැයි 01 වැනිදා මැයි දින සමරුවට කොළඹ නගරයට එක්වන ජනතාවගේ ආරක්‍ෂාව සහ සුරක්ෂිතභාවය උදෙසා යැයි කියමින් මැයි දිනය 1987 මැයි 22 වැනිදාට යෙදෙන ජාතික වීර දිනයට කල් දැමූ බව ආණ්ඩුව ප‍්‍රකාශයට පත් කළේය.
මෙම තීරණයට විරුද්ධව දේශපාලන පක්‍ෂ සිය විරෝධය දක්වන්නට විය. ආණ්ඩුවේ තහනම නොතකා ඔවුහු විවිධ තැන්වල සිය මැයි දින සැමරුම් පැවැත්වීමට තීරණය කර තිබුණේය. ඔවුන් විවිධ අයුරින් සිය මැයි රැුලි සහ පෙළපාලි පැවැත්වීමට උත්සාහ ගනිමින් තිබුණේය.

ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය සිය මැයි රැුලිය එහි නායිකා සිරිමා බණ්ඩාරනායක මහත්මියගේ ප‍්‍රධානත්වයෙන් ඩාර්ලි පාර පක්‍ෂ මූලස්ථානයේ දී පැවැත්වූ අතර සමසමාජ හා කොමියුනිස්ට් පක්‍ෂ මැයි රැුලිය යුනියන් පෙදෙස සමසමාජ පක්‍ෂ මූලස්ථානය අබියසදී පවත්වන්නට තීරණය කර තිබිණ. මේ රැුලි දෙකට ම බරපතළ පොලිස් ප‍්‍රහාර එල්ල වූයේය.
මේ ප‍්‍රහාරවලින් දරුණු ලෙස කඳුළු ගෑස් වැදී ආචාර්ය කොල්වින් ආර් ද සිල්වාගේ පාදය දැඩි ලෙස පිලිස්සීමට ලක්ව තිබිණ. පසු කාලයක ඔහු සිය මරණය දක්වාම මේ පිලිස්සීමෙන් පීඩා විඳි බව සමසමාජ පක්‍ෂයේ සහකාර ලේකම්වරයකු වූ අනිල් සොයිසා මා සමග පවසා තිබිණ.

මේ මැයි රැුලි අතරින් උත්කර්ෂවත් මෙන්ම උද්යෝගිමත්, ආණ්ඩු විරෝධය බරපතළ ලෙස එල්ල වූ මැයි රැුස්වීම වූයේ නාරාහේන්පිට අභයාරාමයේ පැවැති මවුබිම සුරැුකීමේ සංවිධානයේ මැයි රැුලියයි.

ඇත්ත වශයෙන්ම මවුබිම සුරැුකීමේ සංවිධානය සමන්විතව තිබුණේ අන්තර් විශ්වවිද්‍යාල භික්ෂු බල මණ්ඩලය, අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය පෙරටු කර ගෙනය. එහි නායකයන් හැටියට පූජ්‍ය හැඩිගල්ලේ පඤ්ඤාතිස්ස නාහිමි, පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමි, බලහුරුවේ සෝම හිමි, මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි හා පාර්ලිමේන්තු මන්ත‍්‍රි දිනේෂ් ගුණවර්ධන පෙනී සිටිය ද ජවිපෙ බලවේගය රහසිගත ලෙස ඒ පිටුපස නොතිබුණා නොවේ. ඒ නිසාම පොලීසියේ වැඩි අවධානය ඒ කෙරෙහි යොමු විය. තහනම් ජවිපෙ සාමාජිකයන් මෙන්ම හිතවතුන් ඊට සහභාගි වන බවට පොලීසිය ගණන් බලා තිබිණ.

1987 මැයි දින ප‍්‍රහාරයේ දරුණුම සහ මෘග පොලිස් ප‍්‍රහාරය එල්ල වූයේ අභයාරාමයේ මේ මැයි රැුලියටය. විශාල පොලිස් භට හමුදාවක්, කඳුළු ගෑස්, වෙඩි ප‍්‍රහාර මැද බිහිසුණු තත්ත්වයක් ඇති වූ එදා එහිදී ජයවර්ධනපුර සරසවියේ කිත්සිරි රණවක සොයුරා සහ ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ කාර්මිකයකු වූ ලෙස්ලි ආනන්ද ලාල් සොයුරා මෘග ලෙස මරා දමන ලදී.

එදා ඒ අවස්ථාවට තරුණයකු ලෙස මම ද සහභාගි වීමි. පොලිසිය රැුස්වීමට සහභාගි වූ පිරිසට ඉතා අමානුෂික ලෙස පහර දෙනු ලැබිණ. බැටන් ප‍්‍රහාර, කඳුළු ගෑස්, රබර් උණ්ඩ පමණක් නොව අවසානයේ ජීව උණ්ඩ ද උපයෝගී කර ගැනිණ. අභයාරාමයට එල්ල කළ කඳුළු ගෑස් ප‍්‍රමාණය ම ගණන් කළ නොහැකිය. මුළු ප‍්‍රදේශයම විලාපයකින්, දැඩි ඝෝෂාවකින් මෙන්ම දුමාරයකින් වැසී ගියේය. රැුස්වීමට සහභාගි වූවන්ට ආරක්‍ෂාව පතා දිව යන්නට පවා තැනක් නොතිබිණ. අපි සී සී කඩ දිව ගියෙමු. පොලිසිය, පාර පැත්තේ සිට ඉවක් බවක් නැතිව වෙඩි තැබුවේය. පුද බිමේ සිටියවුන්ට බරපතළ තුවාල සිදුවිය. මෘරුග ප‍්‍රහාරය දියත් කළේ එවක පොලිස් අධිකාරි ගපූර් ගේ මූලිකත්වයෙනි. කිසියම් සංවිධානාත්මක පිරිසක් පොලිසිය කුපිත කිරීමේ අරමුණින් ගල් ගසා තිබිණ. එදා යූ.එන්.පී. ආණ්ඩුව මේ මරණ දෙක සම්බන්ධයෙන් සාධාරණ පරීක්‍ෂණයක් දුන්නේ නැත.

අභයාරාමයේ ඔය සිදුවීම දා මේ ලියුම්කරු එයට සහභාගි වීම පිළිබඳව ද අපූරු කතාවක් හෙළිදරව් කරමි. එවකට ජවිපෙට සම්බන්ධ මානව හිතවාදී භික්‍ෂු සංවිධානය විසින් ‘විනිවිද’ නමැති සඟරාවක් රහසේ ප‍්‍රකාශයට පත් කරමින් සිටියේය. එහි අත්පිටපත් ටයිප් කිරීමට තරම් ජවිපෙ හිතවතකු හැටියට මා තෝරා ගත්තේ එකල අන්තර් විශ්වවිද්‍යාල භික්ෂු බල මණ්ඩලයේ ක‍්‍රියාකාරි තරුණ හිමිනමක වූ එගොඩබැද්දේ ගුණසිරි හිමියන් විසිනි. ජවිපෙ රහසිගත නායකයකු වූ නන්දතිලක ගලප්පත්ති සොයුරාත් කලාතුරකින් පැමිණියේය. මමත් මාධව වික‍්‍රමසිංහ නමැති මගේ මිතුරකුත් කිසිදු ප‍්‍රතිලාභයකින් තොරව කුඩා ඇපල් කොම්පියුටරයකින් සඟරාවේ සියලූ ලිපි ඔවුන්ට ටයිප් කර දුන්නේ ඉතා සහෝදරත්වයෙනි. අද මෙන් කොම්පියුටර් ‘ලේඅවුට්’ නොතිබුණු එකල පිටු සකස් කළේ කපා අලවාය.

එගොඩබැද්දේ හාමුදුරුවන් වෙනත් රහසිගත තැනක තවත් සගයකු සමග ඒ කාරිය කර ගෙන ගියේය. අද මතක් වන විට රසවත් සිද්ධියක් වුවත් එදා එය ඉතා අවදානම් සහගත බියජනක කාර්යයක් විය. ඊටත් වඩා අපූරු කතාව එය නොවේ.

අපි සඟරාව ටයිප් කළේ එකල බොරැුල්ල වෝඞ් පෙදෙසේ ජනාධිපති ජේ. ආර්. ජයවර්ධනගේ නිවෙස අසල තැනක සිටය. අද එලායන්ස් ෆිනෑන්ස් ඉදිරිපිට කින්සි රෝඞ් හන්දියේ ජනාධිපති ජේ. ආර්. ජයවර්ධන වෙනුවෙන් එස්.ටී.එෆ්. මුරකාවල් දමා තිබුණු බැරියර් එක ඉදිරිපිට අංක 85 නිවෙසේය. එම නිවසේ මේ කටයුත්ත කිරීමට මඟපෑදුණු තවත් හේතුවක් විය. ඒ කාලයේ ලංකාවට ගෙනා මුල්ම කුඩා ඇපල් කොම්පියුටර්වලින් එකක් ගෙන්වා තිබුණේ ඔතැනටය. කෙසේ හෝ නිවස ඉදිරිපිට පාරේ ජේ. ආර්. ගේ ආරක්‍ෂාවට මුරකාවල් දමා සිටින එස්ටීඑෆ් භටයින් සමග සිනාසෙමින් ගෙතුළට යන අපි මහ රාත‍්‍රිය එළිවන තුරු එක දවසට දෙකට විනිවිද සඟරාව ටයිප් කර එගොඩබැද්දේ ගුණසිරි හිමියන් අතට දුන්නෙමු. මෙය ටික කාලයක් කර ගෙන ගියේය.

ජවිපෙ කලා සංගමයට ද සම්බන්ධව කටයුතු කළ නන්දතිලක ගලප්පත්ති සොයුරා ’89 මුලදී මර්දන බළකාය විසින් ම්ලේච්ඡු අන්දමින් මරා දැමුණු අතර එගොඩබැද්දේ ගුණසිරි හිමියන් අද කොහි සිටිනවාදැයි මම නොදනිමි. එදා මා නාරාහේන්පිට අභයාරාමයේ මැයි රැුස්වීමට ගියේ ද මේ කටයුත්තෙහි යෙදීමෙන් අනතුරුවය. එතැනදී මට අර එගොඩබැද්දේ ගුණසිරි හිමියන්ද හමු විය.

එදින මේ සිද්ධියෙන්් කිරිබත්ගොඩ ලෙස්ලි ආනන්ද සොයුරා මිය ගියේ අභයාරාමයේ බුදු කුටිය තුළදීමය. වෙඩි කාගෙනම ඔහු ආරක්‍ෂාව පතා බුදු කුටිය තුළට වැදී තිබිණ. එහෙත් දරුණු වෙඩි පහරින් ඔහු මිය ගොස් සිටියේය. ජපුර විද්‍යා පීඨයේ කිත්සිරිමෙවන් රණවක සොයුරා මිය ගියේ බරපතළ තුවාල ලබා කොළඹ මහ රෝහලේ ප‍්‍රතිකාර ලබමින් සිටියදී මැයි 02 වැනිදා අලූයමය. මේ ඊයේ පෙරේදා අපෙන් වියෝ වූ එවකට ‘දිවයින’ පුවත්පතේ විශේෂාංග කර්තෘ චන්ද්‍රසිරි දොඩන්ගොඩ සොයුරා මේ සිදුවීම අළලා එදා කවි පන්තියක් ලීවේය. එවකට මා ද වැඩ කළේ දිවයින පත්තරයේය. මැයි 01 වැනි සිකුරාදා රාත‍්‍රියේ ඉරිදා පත්තරයට වැඩ කරන ගමන් මේ සිදුවීම අළලා දොඩන්ගොඩ ලියූ කවි පන්තිය ’87 මැයි 03 වැනි ඉරිදා දිවයින පත්තරයේ පළ විය. තවමත් මා ළඟ තිබෙන වසර 31 ක් පැරණි කහ ගැසුණු දුර්වර්ණව ගිය පත්තර කැබැල්ලෙහි තිබෙන දොඩංගොඩගේ ඒ මැයි කවිය මෙසේය.

මලසුනෙහි සුවඳ හමනා
බුදු ගෙයට වැදී සැඟවී
බුදු හිමිගෙ මුහුණ බලමින්
සරණක් ද සෙව්වෙ සොයුරේ

දස මාර සෙනඟ විලසින්
උන් පැමිණ සතුරු අවියෙන්
වෙඩි උණ්ඩ මුදා හැරියෙන්
පුපුරන්න නුඹේ සිරසා

පණ කෙන්ද සිඳෙනු කලියෙන්
නුඹෙ දෝතෙ ප‍්‍රාණෙ වී නම්
හිස වැදුණු උණ්ඩෙ ගලවා
බුදු හිමිගෙ දෝතෙ තබමින්
පවසාවි මෙලෙස වදනින්

‘‘බුදු හාමුදුරුවනේ මාගේ
නොකෙළෙමිය කිසිදු වරදක්
කරගැටින් පිරුණු අත්වැල්
සිප ගන්න ආමි මෙදිනේ
තහනම් ද ඒක අපටා
අපි වෙම්හ මෙලොව දුගියෝ
ඒ වරද නිසා මෙදිනා
උන් මාව මරා දැමුවා
පවසන්න මගේ සමිඳේ
වරදක් ද මගෙන් වූයේ

බුදු මැඳුර පුරා ගැලූ ලේ
සෝදන්න නොහැක කිසිදා
නුඹෙ සිරුරෙ රුධිර ධාරා
සෝදන්න බැරිය කිසිදා…’’

තිස්ස කොරතොට
tissakorathota@gmail.com