මතෛක් ඉතිහාසයේ අල්ලසක් ලබාගත්ත අවස්ථාවේදී අල්ලස් කොමිසමේ අත්අඩංගුවට පත්වුණු ඉහළම රාජ්‍ය නිලධාරියා ලෙස දැන් සැලකෙන්නේ ජනපති කාර්ය මණ්ඩල ප්‍රධානී ආචාර්ය ඉදිකැටිය හේවගේ කුසුම්දාස මහනාමය.

වත්මන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ කාර්ය මණ්ඩල ප්‍රධානියා වන ඔහු අල්ලස් කොමිසම මගින් අත්අඩංගුවට ගන්නේ රුපියල් කෝටි දෙකක අල්ලස් මුදලක් ලබාගන්නා අවස්ථාවේදීමය. ඒ ඉකුත් 03 වෙනිදා සවස ටාජ් සමුද්‍රා හෝටලයේ රථවාහන අංගණයේදීය. එකී අල්ලස් මුදල ලබාගැනීමට ඔහු සමග තවත් රාජ්‍ය සේවකයෙක් සම්බන්ධව සිටියේය. ඔහු රාජ්‍ය දැව සංස්ථාවේ සභාපතිවරයා වන පියදාස දිසානායකය. හිටපු ජනපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියගේ ‍ලේකම්වරයා ලෙසද ඔහු සේවයේ නිරතව සිටියෙකි.

මේ දෙදෙනා එකී අල්ලස ලබාගන්නේ ඉන්දියානු ජාතික ආයෝජකයකුගෙනි. ඒ කන්ත‍ලේ සීනි සමාගමේ ආයෝජනයක් සම්බන්ධයෙනි. මේ වන විට කොළඹ 07 රොස්මිඩ් පෙදෙසේ පදිංචිව සිටින එම ඉන්දියානු ජාතික ආයෝජකයා එම්.ජී. ෂුගර් නම් වූ සමාගමේ ප්‍රධානියාය. වසර කිහිපයකට පෙර ඔහු ලංකාවට එන්නේ ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය හරහා කන්ත‍ලේ සීනි කර්මාන්තශාලාවේ ආයෝජනයන් සඳහාය. නීත්‍යනුකූලව සියලු ආයෝජනයන් ඔහු විසින් කරන්නට සූදානම්ව සිටියදී එකී ආයෝජන කටයුත්තට අකුල් හෙළන්නේ ආචාර්ය මහනාමය. එකල ඔහු ඉඩම් හා පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශයේ ‍ලේකම්වරයාය. ආයෝජකයාගේ ඉලක්කය වන්නේ සීනි කර්මාන්ත ශාලාවේ යන්ත්‍ර සූත්‍ර ඇතුළු පැරණි යකඩද සිය සමාගම සතුකර ගන්නටය. ඊට මුල සිටම මැදිහත්වන ආචාර්ය මහනාම උත්සහ දරන්නේ එකී පැරණි යකඩ සහ යන්ත්‍ර සූත්‍ර වෙනුවෙන් ආයෝජකයාගෙන් අල්ලසක් ලබාගන්නටය. ඒ එහි ඇති යකඩවල වටිනාකම පමණක් කෝටි ගණනක් වන බව ඔහු දැන සිටි බැවිනි. ආයෝජකයාද යකඩ තොගයට බැල්ම හෙළුවේ එහි වටිනාකම හොඳින්ම දැන සිටි බැවිනි.

ආචාර්ය මහානාම ජනපති කාර්ය මණ්ඩල ප්‍රධානියා බවට පත්වන්නේ ඔය අතරතුරදීය. ජනපති කාර්යාල තොරතුරු සඳහන් කරන ආකාරයට අනුව ඔහු එම තනතුරට පත්ව තවමත් මාසයක් දෙකක්වත් ගතවී නැති තරම්ය. සිය තනතුරේ බලපරාක්‍රමය යොදාගෙන නැවත වරක් ඔහු උත්සහ දරන්නේ ඉන්දියානු ආයෝජකයාගෙන් අල්ලස ලබා ගන්නටය. එය සුළුපටු අල්ලස් මුදලක් නොව. රුපියල් කෝටි 54 කි. එකී අල්ලස නොදෙන්නේ නම් සීනි කර්මාන්තශාලාවේ ආයෝජන අවස්ථාවට අවසර නොදෙන බව ඔහු කියා සිටියේ ඊට පෙර අවස්ථා තුනකදීම කැබිනට් අවසරයකින් එය ඔහුට හිමිවන්නට තිබුණූ අවස්ථාව අහිමි කළ ආකාරය ගැනද ඉඟි කරමිනි.

ඉන්දියානු ආයෝජකයා මෙහිදී පිහිට පතන්නට යන්නේ අල්ලස් කොමිසම වෙතය. ඒ මෙරට සිටින සිය ව්‍යාපාරික හිතවතුන්ගේද සහාය ඇතිවය. අල්ලස් කොමිසම හමුවේ සියල්ල හෙළි කළ ඔහු එතැන් සිට හැසිරෙන්නට ගත්තේ අල්ලස් කොමිසමේ උපදෙස්වලට අනුවය. ඉල්ලා සිටි රුපියල් කෝටි 56 අල්ලස් මුදල අඩුකර ගැනීමට ඔහු ඒත් එක්කම ආචාර්ය මහානාම සමග දැඩි සටනක නිරතවන්නට ගත්තේය. ඒ තමන් අල්ලස් මුදල ලබාදීමට කැමැත්තක් දක්වන බව ඉඟියක් පාමිණි. ඊට ආචාර්ය මහනාම හසුවිය. මුදලට කෑදර කමින් ඔහු අවසානයේදි රුපියල් කෝටි දෙකක අල්ලසකට එකඟත්වයක් දක්වන්නේ එකවර එම මුදල ලබාදෙන ලෙස ඉල්ලීමක්ද කරමිනි.

අල්ලස් ඉල්ලා සිටීමක් සම්බන්ධයෙන් යම් පැමිණිල්ලක් ලද විට අල්ලස් කොමිසම ක්‍රියාත්මක වන්නේ ඔවුන් සතු මුදල් පැමිණිලිකරුට ලබාදෙමින් එය අල්ලස් ඉල්ලා සිටින නිලධාරියාට ලබාදෙන්නට සලස්වමිනි. එම මුදල් සටහන් තැබූ ඒවාය. අල්ලස් කොමිසමට සාමාන්‍යයෙන් වාර්තා වන්නේ ‍පොඩි ගණන්වලින් අල්ලස් ගැනීම්ය. එබැවින් කෝටි ගණනක මුදලක් අල්ලස් කොමිසමේ රැඳී තිබෙන්නේ නැත. මෙරට ඉතිහාසයේ  ලොකුම අල්ලස බව කියැවෙන රුපියල් කෝටි දොළහමාරේ අල්ලස රේගු නිලධාරීන් පිරිසක් විසින් බස් රථ අමතර කොටස් ව්‍යාපාරිකයකුගෙන් ඉල්ලා සිටි අවස්ථාවේදී අල්ලස් කොමිසමේ බලධාරීන්ට සිදුවන්නේ එකී මුදල මහා බැංකුවෙන් ඉල්ලා ගන්නටය. ඒ දේශපාලන මැදිහත්වීමක්ද සමගිනි.

පසුගිය 2015 වසරේ ඔක්තෝබර් 15 වෙනිදා කෝටි දොළහාමාරේ අල්ලස් මුදල ලබාගන්නා අවස්ථාව්දීම රේගුවේ ඉහළ නිලධාරීන් දෙදෙනෙක් අත්අඩංගුවට ගැනීමෙන් පසු තවත් එවැනිම විශාල අල්ලස් ඉල්ලීමක් ගැන කොමිසමට පැමිණිල්ලක් ලැබෙන  මෙම ඉන්දියානු ආයෝජකයාගෙනි. ඔහුගෙන් ඉල්ලා සිටි අල්ලස් මුදල තරම් විශාල මුදල් ප්‍රමාණයක් කොමිසම සතුව නොමැති වූ බැවින් එවරත් කොමිසම සැලසුම් කරන්නේ මහා බැංකුවෙන් එකී මුදල ලබාගැනීමටය. එහිදී දෙවරක් ඒ ගැන කල්පනා කිරීමට කොමිසමේ බලධාරීන් පසුව තීරණය කළේය. ඒ අල්ලස් ඉල්ලා සිටි රාජ්‍ය නිලධාරියාට රාජ්‍ය තන්ත්‍රය ඇතු‍ලේ ඇති සම්බන්ධකම් හේතුවෙනි. අවසන් එකඟතාවට පැමිණි රුපියල් කෝටි 10ක අල්ලසින් අත්තිකාරමක් ලෙස මුලින් රුපියල් කෝටි දෙකක් ලබා ගැනීමට ඉන්දියානු ආයෝජකයා සමග මහාචාර්ය මහනාම එකඟතාවකට එන්නේ ඔය අතරතුරදීය. එකී මුදල අල්ලස් කොමිසම සතුව පැවැති බැවින් දෙවරක් කල්පනා නොකරමින් කොමිසම තීරණය කරන්නේ වැටලීමක් සංවිධානය කරන්නටය. එකී වැටලීම සිදුවන්නේ ජනාධිපතිවරයාගේ කාර්ය මණ්ඩල ප්‍රධානියාව අල්ලසක් ගන්නා අවස්ථාවේදීම බැවින් වැටලීම අවසන් වන තුරු උපරිම රහස්‍යභාවය ආරක්ෂා කරන්නට වග බලා ගැනීමට කොමිසම ගත හැකි උපරිම පියවර ගත්තේය.

අල්ලස් මුදල ලබාගැනීමට ඒ වන විටත් ස්ථානයක් වේලාවක් මෙන්ම දිනයක් පවා වෙන්ව තිබුණේය. අල්ලස් කොමිසමේ නිලධාරීන් කල්තියාම එකී ස්ථානය වටකර සිටියේ තාක්ෂණික උපකරණවලින්ද සන්නද්ධවය. නියමිත වේලාවට ටාජ් හෝටලයේ රථ ගා‍ලේදී ඉන්දියානු ආයෝජකයා මුණගැසීමට ආචාර්ය මහනාම එන්නේ මෙම අල්ලස් ගනුදෙනුවේ ඒ වන විට ඔහු සමග බද්ධ වී සිටි රාජ්‍ය දැව සංස්ථාවේ සභාපති පියදාස දිසානායක සමගිනි. ඔවුන් දෙදෙනා රුපියල් කෝටි 10ක නෝට්ටු පුරවා තිබුණූ බෑගය එහිදී අතට ගන්නා විට ඒ අසල සිටි අල්ලස් කොමිසමේ විමර්ශන අංශයේ නිලධාරීන් ඔවුන්ව වටකර ගන්නේ පලා යාමට කිසිදු ඉඩක් නොතබමිනි. මෙම වැටලීම ගැන අදාළ බලධාරීන් දැනුවත් කිරීමට කොමිසම පියවර ගන්නේ ඉන් අනතුරුවය. ඒ යුතුකමක් ලෙස සලකමිනි. විවිධාකාර ප්‍රතිචාර ඊට බලධාරීන්ගෙන් අල්ලස් කොමිසමේ නිලධාරින්ට ලැබුණත් අවසානයේදී සිදුවන්නේ ඔවුන් දෙදෙනාව එදින රාත්‍රියේම අලුත්කඩේ මහේස්ත්‍රාත් ලාල් රණසිංහ මහතා හමුවට ඉදිරිපත් කිරීමය. එහිදී ඔවුන් දෙදෙනාට සිදුවන්නේ ලබන 09 වෙනිදා දක්වා බන්ධනාගාරගත වන්නටය. ඒ අල්ලසක් ලබාගන්නා අවස්ථාවේදීම අත්අඩංගුවට ගත් ඉහළම රාජ්‍ය නිලධාරීන් ලෙස ඉතිහාසයට එක්වෙමිනි.

ගයාන් කුමාර වීරසිංහ

SHARE

1 COMMENT

  1. මේ බෝබිල මහාචාර්ය කෙනෙක් කීමටත් ලජ්ජා සහගතය.අවංක පුරවැසියන් හැටියට ඔබ , අප දැන් මොන නිලදාරියාද මොන දේශපාලුවාද විස්වාස කරන්නේ ???? මේ කාලකන්නි අපගේ මාතෘබුමිය උලා කන්නේ ඉතාමත්ම නින්දිත විදියට නොවේද ??? එකක් පැහැදිලිව මතක තියාගනිව් නිලදාරීන් යයි කියාගන්නා කාලකණ්නි සහ දේශපාලුවෝ යයි කියාගන්න “මුසල පර බල්ලනේ” මේ හොරා කන්නේ මහජන දේපොළ බැවින් තොපි පමණක් නොව තොපේ “ආදරණිය භාර්යාවන් , දෙමවුපියන් ජීවත්ව සිටිනම් ඔවුන් මෙන් තොපේ දු දරුවන් ද අකාලේ මේ පාපකාර්ම වෙනුවෙන් වන්දි ගෙවනු “ඉරහදමෙන්” විස්වාස බව. තොපි සියලු දෙනාගේ පවුල් විනාශවී නන්නත්තාර වෙනු නියතය.

LEAVE A REPLY

Previous articleඅභයාරාමය ලෙයින් නහවපු ’87 තහනම් මැයි දිනය ගැන ඔබ නොදන්න කතාවක්
Next articleඅටවැනි පාර්ලිමේන්තුවේ අලුත් ආසන පැනවෙන හැටි