කැබිනට් සංශෝධනය ඇතුළු ආණ්ඩුවේ ගමන්මග පිළිබඳ සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න සමග කළ කතාබහකි මේ.
මේ ආණ්ඩුව බලයට පත් වූ දා සිට කැබිනට්ටුව සංශෝධනය කරනවා. මේක දේශපාලන අර්බුදයට පැලැස්තර ඇලවීමක් ‍නෙවෙයිද?
පැලැස්තර ඇලවීමක් කියලා කියන කතාවට මම එකඟ නැහැ. ආණ්ඩුවක ඉන්නව නම් ඒකෙ සම්මුතිය පිළිඅරගෙන ‍පොදු එකඟතාවකින් කටයුතු කරන්න ඕනෑ. ආණ්ඩුව ඇතුළෙ ඉඳගෙනම රජය විවේචනය කරනවා නම් ඒක වැරදියි. මම මුල ඉඳල කිව්වේ එහෙම විවේචනය කරන අය ආණ්ඩුවෙන් එළියට දැමිය යුතුයි කියලා. මේ කැබිනට් සංශෝධනය කළේ ආණ්ඩුව විවේචනය කළ අය එළියට දමලා ආණ්ඩුවත් එක්ක යන්න පුළුවන් අයත් එක්කයි.

ආණ්ඩුව විද්‍යාත්මක ක්‍රමවේදයක් අනුව කැබිනට්ටුව සංශෝධනය කරනව කිව්වට එහෙම වෙලා නැහැ නේද?
සියයට සියයක් විද්‍යාත්මක විෂය වර්ගීකරණය අනුව ඇමැතිකම් පත් කරන්න බැහැ. ලෝකෙ එහෙම කරපු තැනකුත් නැහැ. කලින් කැබිනට් ඇමැතිකම්වල පැවති යම් යම් පරස්පරතා ඉවත් කරලා මෙවර බෙහෙවින් එකඟවිය හැකි විදියට කැබිනට් ඇමැතිකම් නම් කරලා තියෙනවා. නමුත් සමහර ගැටලු තැන් තියෙන්න පුළුවන්.

ඔබ කිව්වා ආණ්ඩුව ඇතුළෙ ඉඳගෙන විවේචනය කරන අය එළියට දාන්න ඕනෑ කියලා. නමුත් ආණ්ඩුව ප්‍රබලව විවේචනය කළ විජයදාස රාජපක්ෂට වගකිව යුතු ඇමැතිකමක් ලබා දී යළි ආණ්ඩුවට අරගෙන තියෙනවා. එතකොට මොකක්ද ඔය කතාවේ තේරුම?
ඔව්. ඔහු ආණ්ඩුව ප්‍රබලව විවේචනය කළ කෙනෙක් තමයි. අධිකරණ ඇමැතිවරයා වශයෙන් ඔහු පසුගිය ආණ්ඩුවේ දූෂණ වංචාවලට සම්බන්ධ වූවන්ට එරෙහිව ගත හැකි අධිකරණ ක්‍රියාමාර්ගවලට බාධා කළා. එයට එරෙහිව ප්‍රබල විරෝධයක් නැගුණු නිසයි ඇමැතිකම අතහැරලා විජයදාසට ගෙදර යන්න වුණේ.  නමුත් ඔහු විශ්වාසභංග යෝජනාවේ දී ඒකට එරෙහිව ඡන්දය දුන්නා.

ඒ කියන්නේ විජයදාස වැරදි හදාගෙන?
ඔව්. ඉදිරියේ දී ඔහු ආණ්ඩුවේ ‍පොදු එකඟතාව සමග වැඩ කරනවා.

ශ්‍රීලනිපය නියෝජනය කළ 16 දෙනෙක් ආණ්ඩුවෙන් එළියට ගියා. මැයි අටවැනිදා එයාලා වෙනම පාර්ලිමේන්තුවේ අසුන් ගන්නවා. මෙහෙම ආණ්ඩුවට ශක්තිමත් ගමනක් යන්න පුළුවන්ද?
ඔය ගිය අය ගියේ නැහැ. අපි එළියට දැම්මා. එයාලා ගියා කියලා ආණ්ඩුවට ප්‍රශ්නයක් නැහැ. කලින් ආණ්ඩුව පෙනුණේ සරම්ප රෝගියෙක් වගේ. දැන් සරම්ප රෝගය සනීප වෙලා. තැන් තැන්වල ලප කීපයක් තියෙනවා. ඒවත් ඉවත් වුණාම හරි.

නමුත් ආණ්ඩුවට පනත් කෙටුම්පත් ආදිය සම්මත කරගන්න බහුතරයක් ඕනෑ නේද?
ජනතා විමුක්ති පෙරමුණ ආදී කණ්ඩායම් එවැනි අවස්ථාවලදී ආණ්ඩුවට සහයෝගය පළ කරනවා.

හැබැයි ජවිපෙ මේ දිනවල ආණ්ඩුව ප්‍රබලව විවේචනය කරනවා නේද?
එහෙම විවේචනය කරනවා තමයි. නමුත් අවශ්‍ය තැන්වලදී සහයෝගය දෙනවා.

මේ ආණ්ඩුව පත් කළ දා සිට නොයෙක් පැලැස්තර දානවා. ඇත්තටම ආණ්ඩුවට වැරදුණේ කොතැනද?
ප්‍රධාන පක්ෂ දෙක එකතු වෙලා සම්මුතිවාදී ආණ්ඩුවක් හැදීම අලුත් දේශපාලන අත්හදා බැලීමක්.  මතෛක් කල් ප්‍රධාන පක්ෂ දෙක කළේ දෙකට බෙදිලා වෛරයෙන් ගහ මරා ගැනීමයි. එකිනෙකා විවේචනය කර ගැනීමයි. ඒ සංස්කෘතියට වෙනස්ව තමයි සම්මුතිවාදී ආණ්ඩුවක් හැදුවේ.

අවුල මතුවුණේ කොතැනින්ද?
යහපාලන මූලධර්ම අනුව ආණ්ඩුව හැදුවත්, ඒකට එකතු වුණු බොහෝ අයට යහ පාලනය ගැන  කිසිදු අවබෝධයක් තිබුණේ නැහැ. ගොඩක් අය එකතු වුණේ මැති ඇමැතිකම් ආදී වරදාන ලබා ගන්නයි.

ඇයි එයාලට යහපාලනය ගැන ටියුෂන් නොදුන්නේ?
ටියුෂන් දුන්නා. සමහරුන්ට හරි ගියේ නැහැ. ජර්මනිය ඇතුළු ලෝකෙ රටවල් කීපයක් තමයි අපි හැදුවා වගේ ආණ්ඩුවක් හදලා තියෙන්නේ. ඒකෙන් පේනවා මේක අලුත් අත්හදා බැලීමක් කියලා.

නමුත් ආණ්ඩුව ගොඩක් කාලය කා දැම්මා නේද?
ඔබ කිව්වා හරි. අපි ගොඩක් කාලය කා දමා තිබෙනවා. ඉතාම දුෂ්කර වෑයමක තමයි අප නිරත වුණේ. 2015 ජනවාරි 10 වැනිදා පාර්ලිමේන්තුව විසුරුවා හැරියා නම් අපිට තනි ආණ්ඩුවක් හදාගන්න තිබුණා. මොකද ඒ වෙනකොට බැසිල් ලංකාව අතහැරලා ගිහිල්ලා. මහින්ද තංගල්ලට පසුබැහැලා. හොඳ අවස්ථාවක් තිබුණා. නමුත් අපි බැලුවේ සම්මුතිවාදී ආණ්ඩුවක් හදලා අලුත් දේශපාලන ගමනක් යන්න.

තනි ආණ්ඩුවක් හදලා වෙනම ගමනක් ගියා නම් හොඳයි කියලා හිතෙන්නේ නැද්ද?
ආණ්ඩුව පැත්තෙන් බැලුවාම නම් ඒක හොඳයි. නමුත් රට පැත්තෙන් හොඳ නෑ. අපේ දේශපාලන අත්හදා බැලීමෙන් ආණ්ඩුව දුර්වල වුණත් සමාජය ශක්තිමත් වුණා.

යහපාලන ආණ්ඩුවේ දේශපාලන අත්හදා බැලීමෙන් රටට මොකද වෙලා තියෙන්නේ?
දැන් රටේ මිනිස්සු බයක් සැකක් නැතිව ජීවත් වෙනවා. සුදු වෑන් පස්සේ පන්නන්නේ නෑ. උතුරු හා නැගෙනහිර දෙමළ ජනතාවත් ඉතාම නිදහසේ ජීවත් වෙනවා. ඔවුන්ට පාරට බැහැලා ආණ්ඩුවට එරෙහිව විරෝධය පළ කරන්න තරම් නිදහසක් ලැබිලා තියෙනවා. මාධ්‍ය නිදහසත් අපි තහවුරු කරලා තියෙනවා. මාධ්‍යවේදීන් පස්සෙ දැන් සුදු වෑන් එන්නේ නෑ. ඔවුන් අතුරුදන් වෙන්නේ නෑ. මේක තමයි අපි කරපු වෙනස.

ඔබ මාධ්‍ය නිදහස කතා කළාට ආණ්ඩුව සමහර වබේ අඩවි වාරණයට ලක් කළා. සමාජ මාධ්‍යවලට එරෙහිව ක්‍රියාමාර්ග ගත්තා?
ජාතිවාදය, ආගම්වාදය අවුස්සපු නිසා තමයි අපි සමහර සමාජ මාධ්‍ය ජාලවලට එරෙහිව ක්‍රියාමාර්ග ගත්තේ. එහෙම කළේ රටේ ‍පොදු යහපත ගැන බලලයි.

ලංකා ඊ නිව්ස් වැනි වබේ අඩවි තහනම් කළේ ජනාධිපතිගේ පවු‍ලේ අය විවේචනය කිරීම නිසා නේද?
ඊ නිව්ස් තහනම ගැන නම් මට කියන්න තියෙන්නේ අපට ආණ්ඩුව හැටියට ඊ නිව්ස් එකේ අයත් එක්ක කතා කරලා යම් ක්‍රියාමාර්ගයක් ගන්න තිබුණා කියන එකයි. මොකද මේ යහපාලන ආණ්ඩුව ගොඩනැගීමේදී ඊ නිව්ස් එක ලොකු වැඩක් කළා.

ආණ්ඩුවේ දේශපාලන අර්බුදය නිසා රට ආර්ථික වශයෙන් අර්බුදයකට ගිහිල්ලා. රුපියල නැත්තටම නැතිවෙලා. මොකක්ද විසඳුම?
රුපියල මහින්ද රාජපක්ෂ පාලන කලෙත් බාල්දු වුණා. ඒක අද ඊයේ වෙච්ච දෙයක් ‍නෙවෙයි. මේ ආණ්ඩුව ජාත්‍යන්තරය සමග සම්බන්ධතා ගොඩනගා ගැනීම නිසා ජීඑස්පී සහනය ලැබිලා තියෙනවා. ඒ නිසා ඩොලර් මිලියන 250 ක් වුණු අපේ මත්ස්‍ය අපනයනය ඩොලර් මිලියන 600 ක් වෙලා තියෙනවා. ඒ වගේම 2017 වසරේ තමයි අපේ රටට වැඩිම ආයෝජන ලැබුණේ. ඩොලර් බිලියන 4000 ඉක්මවා ගිය ආයෝජන ලැබිලා තියෙනවා.

මොන ආයෝජනය ලැබුණත් මිනිස්සු අතේ සල්ලි නෑ. සල්ලි පහළට ගලාගෙන යන්නෙ නැත්තේ ඇයි?
ඒ සඳහා යම් යම් ප්‍රමාද දෝෂ බලපානවා.

ජනාධිපතිවරයා නම් ඇඟිල්ල දිග් කළේ අගමැතිවරයාගේ මූලිකත්වයෙන් තිබුණු ආර්ථික කමිටුවට නේද?
එතැන යම් ප්‍රමාදයක් තිබුණා. මමත් ව්‍යාපෘති 42 ක් දැම්මා. ආර්ථික කමිටුවේ ප්‍රමාදය නිසා ඒ ව්‍යාපෘති ප්‍රමාද වුණා. ඒක අනවශ්‍ය ප්‍රමාදයක්. අන්තිමට මම තර්ජනය කරලා තමයි මගේ ව්‍යාපෘති පාස් කර ගත්තේ. මේකට බලපෑවේ නිලධාරිවාදය. කැබිනට්ටුවේ සම්මත කරගත් දේවල් මෙතැනදී හිර වෙනවා. මන්දගාමී නිලධාරිවාදය තමයි මේ රට විනාශ කරන්නේ.

මොනවද ඔය ව්‍යාපෘති?
සියලුම රෝහල්වල සූර්ය බලශක්තිය අනුව මෙහෙයවන්න අපි සැලසුම් කරලා තියෙනවා. ඒකට අපෙන් මුදලක් යන්නේ නැහැ. අදාළ සමාගම් මුදල් උපයා ගන්නවා. ඒ වගේම ටෙලිරේඩියෝ ලොජි තාක්ෂණය යොදා ගැනීමටත් සැලසුම් කර තිබෙනවා. ඒ වගේම සියලුම රෝහල් උපකරණ ඩිජිටල්කරණයට ලක් කිරීමේ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කරනවා. ඒ වගේම 2020 වෙනකොට ලංකාවේ හැම පුරවැසියකුටම ඊ හෙල්ත් කාඩ්එකක් ලබා දෙනවා. ඒකෙ හැම කෙනාගෙම රුධිර වර්ගය, යම් රෝගයක් තිබෙනවා නම් එහි ඉතිහාසය ආදී සියලු කරුණු ඇතුළත් වෙනවා. මේ නිසා හදිසියේ අතරමගදී හෝ අසනීප වෙලා රෝහලකට ගෙනාවම වෛද්‍යවරුන්ට ඉක්මනින් ප්‍රතිකාර කරන්න පුළුවන්.

ඒකෙන් රෝගීන් මිය යාම ගොඩක් අඩුකරගන්න පුළුවන්. සමහර විට 2020ට කලින් අපිට මේ කාඩ්පත ලංකාවේ හැම පුරවැසියකුටම ලබා දෙන්න පුළුවන් වෙයි.

ඒ විතරක් ‍නෙවෙයි ටෙලි මෙඩිසින් ක්‍රමය හැම රෝහලකම ආරම්භ කරනවා. ඒ ටෙලි මෙඩිසින් ක්‍රමය අනුව වෛද්‍යවරයකුට යම් රෝගියකු රෝහ‍ලේ නොසිටින විශේෂඥ වෛද්‍යවරයකුට සම්බන්ධ කරන්න පුළුවන්. එහෙම සම්බන්ධ කරගෙන රෝගියාට ප්‍රතිකාර කිරීමට විශේෂඥ වෛද්‍යවරයාට උපදෙස් ලබා ගන්න පුළුවන්.

නමුත් ඔබ ඔහොම කිව්වට රෝහල්වල බෙහෙත් නැහැ. සැත්කමකදී භාවිත කරන නූල් පවා රෝගියාට පිටතින් ගේන්න වෙලා. මේවාට පිළියම් යොදන්නේ නැද්ද?
කව්ද එහෙම කියන්නේ. රෝහල්වල කිසිම බෙහෙත් හිඟයක් නැහැ. ඒ වගේම රෝගීන්ට පිටින් බෙහෙත් ආදිය ගේන්න කියලා කියන්න බැහැ. එහෙම කියනවා නම් අපිට දන්වන්න. මොකද හැම රෝහලකටම හදිසි අවශ්‍යතා සඳහා මිලියන  දහයක් ලබා දී තිබෙනවා. ජාතික රෝහලට මිලියන පනහක් ලබා දී තිබෙනවා. රෝහල් අධ්‍යක්ෂවරයා හිඟ බෙහෙත් ආදිය බලලා ඒවා ගන්න ඕන. ළඟ තිබෙන රෝහලකින් හෝ ඒවා ගෙන්වා ගන්න ඕනෑ. ලෝක සෞඛ්‍ය සංවිධානය, යුනිසෙෆ් ආයතනය ලෝකෙ හොඳම සෞඛ්‍ය පහසුකම් තියෙන රටක් හැටියට අපේ රට පිළිගෙන තිබෙනවා.

ලෝක සෞඛ්‍ය දිනය ලංකාවේ සැමරුවේ ඇයි?
ඒක තීරණය කළේ ලෝක සෞඛ්‍ය සංවිධානය. එහි අධ්‍යක්ෂ ජනරාල්වරයා ප්‍රකාශ කළා ඒ දිනය සමරන්න හොඳම තැන ලංකාව කියලා. මතෛක් ඒක සැමරුවේ ජිනීවාවල විතරයි. අඩු ආදායම්ලාභී ජනතාවට ඉහළම සෞඛ්‍ය පහසුකම් සැලසීම නිසා තමයි අපේ රටට මේ වගේ තැනක් ලැබුණේ.

යළි රටේ දේශපාලන සෞඛ්‍ය ගැන කතා කළොත් දැන් හැමෝම බලාගෙන ඉන්නේ 2020 දිහා. ඔබත් 2020 තරග කරනවා කියලා ආරංචියක් තියෙනවා. ඒක ඇත්තද?
ඔව්. මගෙන් ඉල්ලීමක් කළොත් මම ‍පොදු අපේක්ෂකයා වෙනවා. ඒ වගේම වෙනත් අපේක්ෂකයකු දිනවන්නත් සූදානම්. අපිට 2020 ප්‍රශ්නයක් නැහැ. පසුගිය පළාත් පාලන ප්‍රතිඵල අනුව මහින්ද රාජපක්ෂ දැගලුවට බහුතර බලය තියෙන්නේ තවම අපිට.

අනෙක් පැත්තෙන් ගෝඨාභය රාජපක්ෂ වගේ කෙනෙක් දැම්මොත්?
ඇත්තෙන්ම ගෝඨාභය රාජපක්ෂ දාන එක තමයි අපිට තියෙන හොඳම වාසිය. මොකද එයාට දෙමළ, මුස්ලිම් ඡන්ද ලැබෙන්නේ නැහැ. සිංහල බෞද්ධ ඡන්ද විතරයි ලැබෙන්නේ.
වරුණ අබේසේකර