මියගිය තම සැමියා නමින් සිදුකර ඇති මහා පරිමාණ වංචාවක් ගැන අමුතු පැමිණිල්ලක්. රහස් ‍පොලිසියට ලැබෙන්නේ රජයේ වෛද්‍යවරියකගෙනි.

එම පැමිණිලිකාර වෛද්‍යවරියගේ සැමියා වතුපිටිවල රෝහ‍ලේ සේවය කළ පුෂ්පකුමාර හේරත් නමැති මනෝ වෛද්‍යවරයෙකි. වෛද්‍ය හේරත් මහතා නුවර පාරේ නිට්ටඹුවේදි තම මෝටර්රථය අනතුරට ලක්වී හදිසියේම මියයන්නේ පසුගිය වසරේ සැප්තැම්බරයේදීය.

මියගිය තම සැමියාගේ මහ ගෙදර ලිපිනයට යූනියන් බැංකුවෙන් එවූ ලිපියක් දිගහැර බලද්දී වෛද්‍යවරියට දෑස් අදහාගත නොහැකි විය.ඒ තම සැමියා මියගොස් මාස ගණනකට පසුව ඔහුගේ නමින් බැංකු ණයක් ලබාදී ඇති බව එම ලිපියෙන් තහවුරු වෙද්දීය.

කොතැනක හෝ වරදක් සිදුවී ඇතැයි සිතා වෛද්‍යවරිය අදාළ බැංකුව වෙත යන්නේ රිය අනතුරෙන් මියගිය තම සැමියා නමින් බැංකු ණය ලබාදුන් ආකාරය සොයන්නටය.

බැංකු නිලධාරීන් වෛද්‍යවරියගේ පැමිණිල්ලෙන් තක්කු මුක්කු වන්නේ ඒ වන විටත් බැංකු නිලධාරීන් රැවටී ඇති වග හෙළිවීමත් සමගය. මියගිය වෛද්‍යවරයා නමින් ව්‍යාජ හැඳුනුම්පතක් සැකසූ අයකු පෙනීසිට මෙම බැංකුවෙන් රුපියල් ලක්ෂ පනහක මුදලක් ලබාගෙන ඇති වග හෙළිවන්නේ ඒ අනුවය. වෛද්‍යවරයකු නමින් ලබාදුන් පුද්ගලික ණය මුදල වෙනුවෙන් ඇපයට අත්සන් තබා ඇත්තේ ද වෛද්‍යවරුන් දෙදෙනකු බවද බැංකු නිලධාරීන්ගේ ලිපිගොනු අනුව තහවුරු වන්නේය.

බැංකු නිලධාරීන්ගේද සහාය මැද ලබාගත් තොරතුරු රැගෙන වෛද්‍ය හේරත් මහතාගේ බිරිඳ වන වෛද්‍යවරිය රහස්  ‍පොලිසිය වෙත පැමිණිල්ලක් දමන්නට එන්නේ ඒ සමගය.

රහස් ‍පොලිසිය භාර ‍‍‍ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය ‍පොලිස්පති රවී සෙනවිරත්න, රහස් ‍පොලිසිය භාර නියෝජ්‍ය ‍පොලිස්පති සුදත් නාගහමුල්ල, ‍‍‍ජ්‍යෙෂ්ඨ ‍පොලිස් අධිකාරී ශානි අභයසේකර යන මහත්වරුන්ගේ නියෝග මත මුදල් ලෙස විශුද්ධිකරණ විමර්ශන සිදුකරන මූල්‍ය විමර්ශන අංශය වෙත පැමිණිල්ල යොමු කෙරෙන්නේය.

මූල්‍ය විමර්ශන අංශයෙන් ‍පොලිස් අධිකාරී පී. අම්පාවිල මහතාගේ මෙහෙයවීමෙන් එම අංශයේ ස්ථානාධිපති ‍පොලිස් පරීක්ෂක ජේ.එම්.එම්. ජයසුන්දර යටතේ වූ කණ්ඩායමක් විමර්ශන ඇරඹූහ.

වෛද්‍යවරියගේ පැමිණිල්ල මත විමර්ශන අරඹා රහස් ‍පොලිසියේ විශේෂ කණ්ඩායමක් අනුරාධපුරය බලා යන්නේ මෙම පැමිණිල්ලට අදාළව අනුරාධපුරය කේන්ද්‍රකරගෙන සිදුවූ වංචාවන් අනාවරණය කරන්නටය. බැංකුවේ නිලධාරීන්ගෙන් ප්‍රකාශ ලබාගැනීමේදී අනුරාධපුර මූලික රෝහ‍ලේ වෛද්‍යවරුන් දෙදෙනකුද ප්‍රධාන සැකකරුට ණය ගැනීමට ඇපකරුවන් සේ ඉදිරිපත් වී  ඇතැයි හෙළිවූයේය.

වෛද්‍ය පුෂ්පකුමාර හේරත් මහතාගේ නමින් 701070194ම දරන ජාතික හැඳුනුම්පතක්, බි 2646527 ඩී දරන රියදුරු බලපත්‍රයක් ද ව්‍යාජ ලෙස සකස්කර බැංකු ණය  සඳහා ඉදිරිපත් කර ඇති වග මූලික විමර්ශනවලදී හෙළිවිය.
ව්‍යාජ හැඳුනුම්පතේ ප්‍රධාන සැකකරුගේ ඡායාරූප ඇතුළත් කර තිබුණේ සැකකරු කව්දැයි තහවුරු කිරීමට සාක්ෂියක් විය. බැංකු නිලධාරීන් බැංකු ණය ලබාදීමට පූර්ව විමර්ශනයක් කිරීමට මෙම වෛද්‍යවරයා අනුරාධපුර නව නගරයේ පවත්වාගෙන යන බවට බැංකුවට  දැන්වූ ඩිස්පැන්සරිය වෙත යද්දී බෙහෙත් ගැනීමට රෝගීන් ද පැමිණ සිටියහ. බැංකු නිලධාරීන් එය විමර්ශනය කිරීමට යද්දී වෛද්‍යවරයකු ලෙස පෙනීසිටි ජාවාරම්කරු බෙහෙත් දෙන අයුරෙන් රෝගියා  ලෙස පරීක්ෂා කරමින් සිට ඇත්තේ බැංකු ඇපයට අත්සන් තැබූ අනුරාධපුර රෝහ‍ලේ එම්.බි.බි.එස්. වෛද්‍යවරයකු බවට හෙළිවන්නේය.

බැංකු ණය ඇපයට අත්සන් තබන්නට ආ වෛද්‍යවරයා බැංකු නිලධාරීන් ඉදිරියේ රෝගියකු ලෙස හොර වෙදාගෙන් බෙහෙත් ගන්නා අයුරු කැමරාවල සටහන්ව තිබියදී රහස් ‍පොලිසිය සොයා ගත්තේය. මෙහිදී බැංකු නිලධාරීන් රවටන්නට රෝගියකු මෙන් පෙනීසිටි අනුරාධපුර රෝහ‍ලේ වෛද්‍යවරයා පවත්වාගෙන ගිය ඩිස්පැන්සරියට බැංකු නිලධාරීන් එද්දී වෛද්‍ය හේරත් නමින් නාම පුවරු පවා වෙනස් කර තිබුණු වග මෙහිදී හෙළිවන්නේය.
වෛද්‍යවරුන් දෙදෙනා අත්අඩංගුවට ගැනීමට පෙර  ප්‍රකාශ ලබාගැනීමට රහස් ‍පොලිසියට කැඳවීමට නිලධාරීන් කටයුතු කරන්නේ වෛද්‍ය වෘත්තියට නිගා දුන් මෙවන් හොරුන් නිසා රෝහ‍ලේ අනෙක් වෛද්‍යවරුන්ටද නින්දා අපහාස විඳින්නට සිදුවන බැවිනි.

මෙම ජාවාරමට සම්බන්ධ ප්‍රධාන ජාවාරම්කරු සොයා රහස් ‍පොලිස් කණ්ඩායම් මේ වනවිටත් පුළුල් විමර්ශනයක් අරඹන්නේය. මූල්‍ය බුද්ධි ඒකකය (ජ්) කරන ලද විමර්ශනවලදී වෛද්‍ය පුෂ්පකුමාර හේරත් නමින් යූනියන් බැංකුවට අමතරව, කාගිල්ස් බැංකුවෙන් හා එන්.ටී.බි. බැංකුවෙන් ගත් ව්‍යාපාරික ණය ගැන ද හෙළිවන්නේය.

මෙම බැංකු තුනට පමණක් වෛද්‍ය හේරත් නමින් පෙනීසිට ලබාගත් ණය මුදල රුපියල් කෝටි තුනකි. පසුගිය වසරේ දෙසැම්බරයේ හා මෙම වසරේ මුල් භාගයේ මෙම ණය මුදල් ලබාගෙන තිබුණේය. මේ අයුරින් බැංකු හා මූල්‍ය ආයතනවලට වෛද්‍ය හේරත් නමින් පෙනීසිට බැංකු ණයවලට අමතරව වාහන සඳහා මූල්‍ය පහසුකම් ද ගෙන ඇති බව අනාවරණය වන්නේය.

බැංකුවලට ව්‍යාජ තොරතුරු ලබාදෙමින් මියගිය වෛද්‍ය හේරත් නමින් පෙනීසිටිමින් කෝටි ගණන් බැංකු ණය ගත් මහ හොරා එම මුදල්වලින් හා ෆිනෑන්ස් පහසුකම්වලින් ලොරි, බස්, වෑන්, කාර් පවා ගෙන විවිධ ආයතනවලට  කුලියට යොදවා තිබුණේය. කාගිල්ස් ආයතනය වෙත කුලියට දුවන්නට  ලොරි ද දමා තිබුණේය.

හම්බන්තොටින් හෝටලයක්ද මිලදී ගෙන ඇති වගත් රහස් ‍පොලිස් කණ්ඩායම් සොයාගත්තේය. වෛද්‍ය හේරත් නමින්ම පෙනීසිටිමින් ගණේමුල්‍ලේ මීට මාස දෙක තුනකට පෙර පවත්වාගෙන තිබූ ෆාමසියක්ද විමර්ශන කණ්ඩායමට හමුවිය.

මෙම තොරතුරු ඔස්සේ ප්‍රධාන ජාවාරම්කරු සොයා යන රහස් ‍පොලිස් කණ්ඩායම් ගම්පහට යන්නේ මොහු ගැන ලද තොරතුරකටය. මූල්‍ය බුද්ධි ඒකකයේ නිලධාරීන් ගම්පහ ප්‍රදේශයේ  තැනින් තැන පීරද්දී සැකකරු මෝටර් රථයක යන බවට හෙළිවන්නේය.

මේ වනවිටත් රහස් ‍පොලිස් කණ්ඩායම් සැකකරුගේ ෆාමසිය ඇතුළු යන එන තැන්වලට ගොස් තිබූ නිසා ජාවාරම්කරුද සිටියේ විමසිලිමත්වය. රහස් ‍පොලිසියේ මූල්‍ය බුද්ධි ඒකකයේ නිලධාරීන් දෙදෙනකු ගම්පහදී  ජාවාරම්කරුගේ වාහනය ලුහුබඳිද්දී මෙම ජාවාරම්කරු උඩුගම්පල වටරවුමේදී බියට පත්ව වාහනය ප්‍රති විරුද්ධ පැත්තට පදවා එම නිලධාරීන් දෙදෙනා යටකර පලායන්නටද උත්සාහ කළේය.  යටකර පලායන තැත වරදින්නේ රහස් ‍පොලිස් නිලධාරීන් උපක්‍රමශීලී වූ නිසාය. රහස් ‍පොලිස් නිලධාරීන් යටකර පලායන්නට තැත්කර  බැන්ඩියමුල්ල දෙසට පලායද්දී ‍පොලිස් හදිසි ඇමතුම් අංශය සමග එක්ව කළ මෙහෙයුමකදී වාහනයද සමග කොටුකර ගත්තේය.

සැකකරු අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමේදී ව්‍යාජ හැඳුනුම්පත් පහක්, ගුවන් ගමන් බලපත්‍ර 15ක්, ව්‍යාජ රියැදුරු බලපත්‍ර ද සොයා ගන්නේය. හැඳුනුම්පත් අංක 651760874ම, 620364550ම 196517600874ම දරන හැඳුනුම්පත් ජාවාරම්කරුගේ නියම උපන්දිනය යොදා ව්‍යාජ ලෙස සකස් කර තිබුණේය. 641884014ම නමින්  සැකකරුගේ එක් හැඳුනුම්පතක් විය. ගීගන්ගේ සනත් ගාමිණි වීරසූරිය හා වීරසූරිය සනත් ගාමිණි නමින් සැකකරු පෙනී සිට තිබුණේය. වෛද්‍ය පුෂ්පකුමාර හේරත් නමින් 701070194ම අංකයෙන් ව්‍යාජ ලෙස ජාතික හැඳුනුම්පතක් සකස්කරගෙන තිබිණි.

මෙම ව්‍යාජ හැඳුනුම්පත සකස් කිරීමට වතුපිටිවල රෝහ‍ලේ සේවය කරමින් සිටියදී රිය අනතුරෙන් මියගිය වෛද්‍යවරයාගේ තොරතුරු ලබාදී තිබුණේ  ද වෛද්‍යවරයෙකි. මේ අනුව ජාවාරමට වෛද්‍යවරුන් දෙදෙනකු එක්වී තිබුණු බව දැනට හෙළිවී ඇත. මෙම ජාවාරමට උදව් දුන් වෛද්‍යවරුන්ට රුපියල් ලක්ෂ විසිපහ බැගින් දී ඇතිවගද හෙළිවිය.

මේ අයුරින් ජාවාරම්කරු රටපුරා මූල්‍ය වංචාවන්වලට මෙන්ම විදෙස් රටවලට යවන බව හඟවා මූල්‍ය වංචාවන් රැසක් කර ඇතැයි ඔහුගේ කුලී නිවසේ තිබූ ලිපි‍ලේඛනවලින් තහවුරු වන්නේය. වෛද්‍යවරුන්ගේ නමින් සෑදූ ව්‍යාජ මුද්‍රා පවා නිවස තුළ විය. සැකකරු කුලී නිවාසවල සිටිමින් වංචාකළ මුදල්වලින් සුඛෝපභෝගී ලෙස ජීවත්වූවකු විය.

පැය විසිහතරක් තුළ සැකකරු අධිකරණයට ඉදිරිපත් කළ යුතු නිසා  වැඩිපුර ප්‍රශ්න කිරීමට නොහැකි වූයෙන් මොහු කළ ජාවාරම් සියල්ල අනාවරණය කරගත නොහැකිවිය. කෙසේ වුවද රහස් ‍පොලිස් නිලධාරීන් විමර්ශනවලින් සොය ගත් තොරතුරු ඔස්සේ මෙම ජාවාරමට හවුල් වූ වෛද්‍යවරුන් දෙදෙනා හා අනෙකුත් ජාවාරම්කරුවන් කොටු කළ විට මහා පරිමාණ වංචාවන් රැසක් අනාවරණය කරගත හැකි වන්නේය. බැංකු නිලධාරීන්ද මෙයට සම්බන්ධ වූවාද යන්න පිළිබඳවද සොයා බලන්නේය.

උතුම් වෛද්‍ය වෘත්තියට නිගා දෙමින් මියගිය වෛද්‍යවරයකුගේ නමින් ජාවාරම් කළ වෛද්‍යවරුන්ටත් අද හෙටම මහ උලුගෙයි තපින්නට සිදුවන්නේ තම වෘත්තියේ නම්බුවවත් නොතබා කළ වංචාවන් නිසාය.

‍පොලිස් අධිකාරි පී. අම්පාවිල මහතාගේ අධීක්ෂණයෙන් ක්‍රියාත්මක මූල්‍ය විමර්ශන අංශය තවදුරටත් මෙම ජාවාරමේ සැඟවුණු තොරතුරු සොය විමර්ශන අරඹා ඇත්තේද සැඟවුණු ජාවාරම්කරුවන් සොයන්නටය.

තිස්ස රවීන්ද්‍ර පෙරේරා