මෑතකාලීනව අන්තර්ජාතික ක්‍රීඩා තරගාවලියන්හිදී තේරීම් සඳහා දේශපාලන බලපෑම් සිදුවීමෙන් බොහෝ අක්‍රමිකතා සිදුවීම දක්නට ලැබෙන හෙයින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා නව ක්‍රීඩා නීතියක් හඳුන්වාදීමේ අවශ්‍යතාව පෙන්වාදී තිබේ.

ඒ අනුව ජාත්‍යන්තර තරග සඳහා ක්‍රීඩකයන් තේරීමේදී ක්‍රීඩා අමාත්‍යවරයාගේ අනුමැතිය නැතිව සිදුකරන ක්‍රමවේදයක් හඳුන්වාදීමට යයි. පසුගියදා ‍පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙ‍ලේ පදක්කම්ලාභීන් ඇගයීමේ උළෙල අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදී පැවැත්වීමේදී මෙම පුවත ජාතික ඔලිම්පික් කමිටු සභාපති සුරේශ් සුබ්‍රමනියම් වෙත අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා දන්වා ඇත.

ප්‍රතිපත්තියක් ලෙස ශ්‍රී ලංකාව නියෝජනය කරමින් අන්තර් ජාතික තරගවලට සහභාගිවීමේදී ක්‍රීඩා අමාත්‍යවරයා විසින් කණ්ඩායම් සඳහා අනුමැතිය ලබාදිය යුතුය. මේ ක්‍රමය තුළ මෑතකාලීනව නොයෙකුත් දේශපාලනික බලපෑම් සිදුවීම තේරීම්වලදී බොහෝ ගැටලුවක්ව පැවතුනි. නව ක්‍රීඩා තේරීම් ක්‍රමවේදය යටතේ කණ්ඩායම් තේරීම් සිදුකරනු ලැබිමෙන් පසුව ක්‍රීඩාවේ ප්‍රවීණයන්ගෙන් යුත් කමිටුවකට එම නම යවා ක්‍රීඩකයන්ගේ දක්ෂතා සැලකිල්ලට ගෙන තේරීමේ ක්‍රමවේදය සිදුකිරීමට නියමිත බව ජාතික ඔලිම්පික් කමිටු සභාපති සුරේශ් සුබ්‍රමනියම් පවසයි.

නව ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාපා මෙම නව තේරීම් ක්‍රමවේදය ගැන යෝජනාව අග්‍රාමාත්‍යවරයා වෙත යොමුකර ඇති අතර ඊට සුභවාදි ප්‍රතිචාරයක් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ වෙතින් ලැබි ඇත. මෙම ක්‍රමවේදය 2002, 2003 හඳුන්වාදීමට සැලසුම්කර තිබුණද එවකට පැවති රජය වෙනස්වීම නිසා එය ක්‍රියාත්මක කිරීමට නොහැකි වී ඇත. එවකට ක්‍රීඩා ප්‍රවීණයකු වන ජගත් ප්‍රනාන්දු ප්‍රමුඛ කමිටුවක් මෙම යෝජනාව සැලසුම් කර ඇති බව වාර්තා වේ.
නව ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාපා වැඩ භාර ගැනීමත් සමග ක්‍රීඩා ව්‍යවස්ථාව සංශෝධනය කිරීමට පියවර ගනු ඇතැයි බලා‍පොරොත්තු වේ. වත්මන් ක්‍රීඩා අමාත්‍ය මුස්තාෆා මහතා වෘත්තියෙන් නීතිඥයකු වන හෙයින් හොඳ අවබෝධයකින් ඔහු සමග එක්ව ජාතික ඔලිම්පික් කමිටුවට වැඩ කළ හැකිබවද ඔලිම්පික් ප්‍රධානී සුරේෂ් සුබ්‍රමනියම් පැවසීය.
මේ අතර මෙවර ‍පොදුරාජ්‍ය මණ්ඩලීය පදක්කම්ලාභීන්ට නිවසක් තනා ගැනීමට ඉඩම් ද, ජාතික ඔලිම්පික් කමිටුවට නව ඉඩමක් ලබා දීමටත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා එකඟවූ අතර එම ඉඩමේ ජාතිකක්‍රීඩා සංගම් සඳහා නිවහන් ඉදිකිරීමට හැකි බවද ඔලිම්පික් ප්‍රධානි පැවසීය. මේ අතර මෙවර ‍පොදුරාජ්‍ය මණ්ඩලීය පදක්කම්ලාභීන්ට මුදල් ත්‍යාග ලබාදීමට ද ජාතික ඔලිම්පික් කමිටුව එකඟතාව පළකොට ඇත. ඒ අනුව රිදී පදක්ම්ලාභී ඉන්දික දිසානායක වෙත රුපියල් එක් ලක්ෂ පනස්දහසක් ද අනෙක් ලෝකඩ පදක්කම්ලාභී පස් දෙනා වෙත රුපියල් ලක්ෂය බැගින් ද ලබා දීම කැපී පෙනේ.

ධම්මික රත්නවීර