දකුණු ආසියානු කලාපීය කනිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලිය මේ සති අන්තයේ (5,6) කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වේ. වසර පහකට පසුව දකුණු ආසියානු කලාපීය කනිෂ්ඨ මලල ක්‍රීඩකයන්ගේ දක්ෂතාවන් උරගා බැලීමේ මෙම අවස්ථාවට සත්කාරකත්වය දෙමින් ශ්‍රී ලංකාව සුගතදාස ක්‍රීඩාංගණයේ ධාවන පථ ප්‍රතිසංස්කරණය කිරීමෙන් පසුව මුලින්ම පවත්වන මෙම තරගාවලිය සඳහා ක්‍රීඩක ක්‍රීඩිකාවන් 200කට වඩා දකුණු ආසියානු රටවල් හයක් නියෝජනයෙන් තරගවදී. ඒ අනුව සත්කාරක ශ්‍රී ලංකාව සමගින් ඉන්දියාව, පාකිස්තානය, බංග්ලාදේශ්‍ය, නේපාලය, භූතානය මෙම තරගාවලිය නියෝජනය කරයි.

දෙවැනි වරටත් මෙම තරගාවලියට සත්කාරකත්වය ලබා දෙන ශ්‍රී ලංකාව මීට පෙර ආරම්භක තරගාවලිය වසර 2007 දී පැවත්වීමද විශේෂත්වයකි. 2013 වසරේ ඉන්දියාවේ රංචිහි දෙවැනි වරටත් පැවැත්වූ මෙම කනිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලිය වසර 5ක් තිස්සේ සත්කාරකත්වයට රටක් ඉදිරිපත් නොවීම නිසා නොපැවැත්වූ අතර මෙවර එම අවස්ථාව ලබා ගැනීමට මලල ක්‍රීඩා සංගම් ප්‍රධානි මේජර් ජෙනරාල් පාලිත ප්‍රනාන්දු ප්‍රමුඛව ඉදිරිපත්වීම කැපී පෙනේ.
පසුගියදා නිමාවූ 55වැනි ජාතික කනිෂ්ඨ මලල ක්‍රීඩා උළෙ‍ලේ දක්ෂතා පෙන්වූ ක්‍රීඩකයින් 84ක් ශ්‍රී ලංකාව වෙනුවෙන් මෙම තරගාවලියට එක්වන අතර ඉන්දියාවෙන් 68ක් ද, පාකිස්තානයෙන් 16ක් ද, මාලදිවයිනෙන් 13ක් ද, බංග්ලාදේශයෙන් 11 ක් ද, භූතානයෙන් 7ක් ද ලෙස ක්‍රීඩකයින් සටන්වදිනු ඇත. කෙසේ වුවත් ඇෆ්ගනිස්තානය මෙවර ඉදිරිපත් නොවීම ද විශේෂත්වයකි.

වීර කැප්පෙටි‍පොළ ජාතික පාස‍ලේ අවු 20න් පහළ මීටර් 200, 400 ඉසව්හි පසුගියදා නව තරගාවලි වාර්තා තැබූ අරුණ දර්ෂණ, මෙවර ශ්‍රී ලංකා පිලට නායකත්වය ලබාදෙන අතර කළමනාකරු ලෙස අනිල් වීරසිංහ මහතා එක්වේ.
ශ්‍රී ලංකා මලල ක්‍රීඩා ප්‍රධානී මේජර් ජෙනරාල් පාලිත ප්‍රනාන්දු පවසන්නේ මෙම තරගාවලියට සත්කාරකත්වය අවම වියදමකින් යුතුව ලබාදෙමින් වඩා සාර්ථකත්වය ලබා දීමට සැලසුම් කර ඇති බවයි. කෙසේ වුවත් ශ්‍රී ලංකාවට රන් පදක්කම් 10ක් ලබාගැනීමට හැකියාව ලැබෙනු ඇතැයි මලල ක්‍රීඩා ප්‍රධානී පවසයි.

ධම්මික රත්නවීර