නව පාර්ලිමේන්තු සැසිවාරය ආරම්භයේදී ජනාධිපතිවරයා විසින් ලබන 08 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරෙන ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය සම්බන්ධයෙන් ලබන 10 දින විශේෂ එක්දින විවාදයක් පැවැත්වීමට පක්ෂ නායකවරු තීරණය කර ඇත.

කථානායක කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේ දී ඊයේ (03) පැවැති පක්ෂ නායක රැස්වීමේදී මෙම තීරණය ගෙන ඇත.

අදාළ පාර්ලිමේන්තු විවාදය ලබන 10 දින පෙරවරු 10.30 සිට පස්වරු 6.30 දක්වා පැවැත්වීමට ද පක්ෂ නායකවරු තීරණය කළ බව දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රීවරයා ‘රිවිර’ට ඊයේ (03) සඳහන් කළේය. පාර්ලිමේන්තු සැසිවාරය ආරම්භයේදී ජනාධිපතිවරයා විසින් ආණ්වේ ඉදිරි ප්‍රතිපත්ති සම්බන්ධයෙන් ප්‍රකාශයක් කිරීමට නියමිතව තිබේ.

මෙම ප්‍රතිපත්ති ප්‍රකාශය පිළිබඳව විවාදයක් පවත්වන ලෙස ඒකාබද්ධ විපක්ෂය විසින් කළ යෝජනාවට මෙසේ පක්ෂ නායකවරු එකඟත්වය පළ කළ බව දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රීවරයා පැවසීය.

එළැඹෙන 08 වැනි දා ආරම්භ කෙරෙන නව පාර්ලිමේන්තුවේ සැසිවාරයේ න්‍යාය සම්බන්ධයෙන් ද මෙම පක්ෂ නායක රැස්වීමේ දී දීර්ඝ වශයෙන් සාකච්ඡාවට බඳුන් වූ බව ද මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේය.

පැතුම් වික්‍රමරත්න