ශ්‍රී ලංකා ක්‍රීඩා ක්‍ෂේත්‍රයේ අලුත්ම වාර්තාවක් තබමින් ප්‍රථම වතාවට ක්‍රීඩා රාජ්‍ය අමාත්‍යවරිය ලෙස ශ්‍රියානි විජේවික්‍රම අද (03) උදෑසන ක්‍රීඩා අමාත්‍යාංශයේ දී වැඩ භාර ගැනීම විශේෂත්වයකි.

නව රජයේ ප්‍රථමවරට ක්‍රීඩාවට රාජ්‍ය අමාත්‍යවරියක ලෙස වැඩ භරගත් නීතිඥ ශ්‍රියානි විජේවික්‍රම “රිවිර”ට විශේෂ ප්‍රකාශයක් කරමින් ක්‍රීඩා විෂයට නියම සාධාරණයක් සිදු කිරීමටත් රටේ සිටින ක්‍රීඩකයන් නැගිටවීමටත් තමා වැඩි කැපවීමකින් ක්‍රියාකරන බව පැවසුවාය. අපේ වගකීම ක්‍රීඩාවේ ප්‍රගතියක් ඇතිකර රට ඉදිරියට ගෙන යාම. ඒ සඳහා රටේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඇතුළු අමාත්‍ය මණ්ඩලය ලොකු පිටිවහලක් වෙනවා. අනෙක් අතට මට ලැබි සිටින ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාෆා මහතා සමග හොඳ අවබෝධයකින් ක්‍රීඩාවේ හෙට දවස සාර්ථක කර ගැනීමට කටයුතු කිරීමට පුළුවන් යැයි නව ක්‍රීඩා රාජ්‍ය අමාත්‍යවරිය පැවසුවාය.

නීතිඥ ශ්‍රියානි විජේවික්‍රම මීට පෙර කොළඹ විශ්වවිද්‍යාලයෙන් බිහි වූ ප්‍රථම මන්ත්‍රීවරිය වීම, අම්පාර දිස්ත්‍රික්කයෙන් බිහි වූ ප්‍රථම සිංහල නීතිඥවරිය වීමට අමතරව අද රටේ ප්‍රථම ක්‍රීඩා රාජ්‍ය ඇමැතිනිය වීමේ භාග්‍යය උදාකරගෙන තිබිම ද කැපී පෙනේ.

ධම්මික රත්නවීර