කල්පිරෙන භාණ්ඩාගාර බිල්පත් සඳහා මුදල් ගෙවීම ශ්‍රීලංකා මහ බැංකුව පැහැර හැර ඇතැයි ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා ඊයේ (24) පැවසීය.
ඉතිහාසයේ කිසිදු දිනෙක මෙවන් තත්ත්වයක් වර්තා වී නැතැයි ද ඒ මහතා පැවසීය.

එසේම නව දේශීය ආදායම් පනත මගින් සීමාවකින් තොරව බදු පැනවීම නිසා සියලුම භාණ්ඩවල මිල ඉහළ යෑමේ අවදානමක් ඇතිව තිබෙන බව ද ඒ මහතා කීවේය.

නව බදු පනතින් කිසිවකුට හානියක් නොවන බවට රජය පළ කරන පුවත්පත් දැන්වීම් නිසා බදු ගෙවන ජනතාව නොමග යෑමක් සිදුව ඇති බව ද හෙතෙම සඳහන් කළේය.

නව බදු පනතින් ග්‍රන්ථ කර්තෘවරුන්ට ලැබෙන කර්තෘ භාගය සඳහා සියයට 14ක බද්දක් ගෙවිය යුතුව ඇති බවත් කටකතාවලට හැර අනෙක් සියලු කතාන්දර සඳහා බදු ගෙවිය යුතු බවත් හෙතෙම කීවේය.

ඉදිරියේ පත්වන නව රජයක් මගින් මේ බදු පනත සංශෝධනය කරන බව ද ඊයේ (24) පුංචි බොරැල්ල වජිරාශ්‍රමයේ පැවැති ඒකාබද්ධ විපක්ෂයේ ආර්ථික පර්යේෂණ ඒකකයේ මාධ්‍ය හමුවට එක්වෙමින් ඒ මහතා සඳහන් කළේය.

රන්මලී සෝමසිරි