මීට හරියටම අවුරුද්දකට කලින් 2017 අප්‍රේල් 14 වැනිදා අපිට අපේ ජීවිතෙන් කොටසක් අහිමි වුණා ඒ බොහෝ අයට ඒ  අයගේ ජීවිතයම අහිමි වුණා. ගෙවල් ඉරිතැළීම් දිගටම තිබුණත් මිනිස්සු හිතුවේ ‍පොළොව බහිනවා කියලයි.
ඒත් අවුරුදු දවසේ හවස අපේ ජීවිතවලට කණකොකා හැඬුවා කියලා හිතෙනවා. කුණු කන්ද පෙරළිලා එනකොට අපේ ගෙදර තිස්හය දෙනෙක් හිටියා. අවුරුදු කෑමට ඇවිල්ලා.

අතට අහුවුණේ දරුවො විතරයි. දරුවෝ  උස්සගෙන දිව්වා විතරයි මතක. එහෙම දුවපු හුඟක් අයත් කුණු කන්ද නොදැකපු බොහෝ අයත් අද අපි අතර නැහැ.  අපිට අහිමි වුණේ ජීවිත විතරක් ‍නෙවෙයි.  අපි ‍පොඩි  කා‍ලේ ඉඳලම හැදී වැඩුණ පරිසරය, ගෙවල් දොරවල් පන්සල් පල්ලි කෝවිල් හැම දෙයක්ම අපිට නැතිවුණා. එහෙම වුණහම දැනෙන අසරණ හැඟීම වචනවලින් විස්තර කරන්න බැහැ”

මීතොටමුල්ල කුණු කන්ද නායගිය ස්ථානයේ කැඩීගිය ගෙවල් දොරවල් අසල සිට ඉතාමත් හැඟීම් බරව අප හා  එලෙස අදහස් දැක්වූයේ කුණුකන්ද නායයෑමෙන් විපතට පත්ව තම අයිතිවාසිකම් වෙනුවෙන් හඬ නගන කපිල තුෂාර මහතායි.
පසුගිය වසරේ අප්‍රේල් 14 වැනිදා  අනිත් හැමෝටම වගේම මීතොටමුල්ල ජනතාවටත් අවුරුදු ඉර  පෑවුවත් ඉර බැස ගියේ අතිශය ශෝචනීය තත්ත්වයක් ඔවුන්ට උදාකර දෙමින්.

මීතොටමුල්ල කුණු කන්ද නායයාමේ සිද්ධිය සුනාමිය වගේම රටේ ජනතාවට අදහාගත නොහැකි අනුවේදනීය තත්ත්වයක් නිර්මාණය කර තිබුණි.

තිස් දෙනකුට පමණ ජීවිත අහිමි කරමින් පවුල් එකසිය හතළිස් අටකගේ නිවාස විනාශ කරමින්, බොහෝ දෙනකුට තම අනාගතය නැති කරමින් කුණු කන්ද ඔවුන්ගේ ජීවිත පුරා සෝදාගෙන ගලා ගියා.

කුණු කන්ද නිසා ඉතාමත් අසරණ තත්ත්වයට පත්වුණේ සිය පවුලම අහිමිව ඉතිරි වූ දරුවන්. ඔවුන් මේ වන විට නැන්දා මාමා ඥාතීන් ළඟ ඇති දැඩි වුවත් තම දෙමාපියන්ගේ ආදරය සෙනෙහස වෙනුවෙන් කොතෙකුත් හඬා වැලපෙනවා නොවේද?

අලුත් අවුරුද්ද උදාවූ සිකුරාදා දිනය සෑම නිවසකම කිරිබත් කැවුම් කොකිස් සුවඳ ඉතිරුණ නෑදෑ හිතවතුන්ගෙන් පිරුණු සතුට ගලාගිය දවසක්.  අත්වීමට තිබූ දරුණු ඉරණම පිළිබඳව ඔවුන් හාංකවිසියක් දැන හිටියේ නැහැ. කුණු කන්දකට යටවී  මියයන්නට සිදුවෙතැයි හෝ ඇඳි වත පමණක් ඉතිරි වී  තනිවන්නට හෝ සිදුවෙතැයි තුන් සිතකවත් තිබුණේ නැහැ.

අප්‍රේල් 14 වැනිදා හවස කුණු කන්ද කඩාගෙන ආවා. මට මතකයි අපි රෑ අටටත් අපේ අය බේරාගැනීමේ කටයුතු කරනකොට පණ තිබුණ අය මේ ‍පොළොව යට හිටියා. හිතන්න පැය කීයක් ඒ මිනිස්සු දුක් වේදනා විඳින්න ඇද්ද? ඒ අය එදා ‍පොළොව යට ඉඳගෙන ඉල්ලපු සාපය මේ කුණු කන්ද හදන්න මුල්වුණ නිලධාරීන්ට අනිවාර්යයෙන්ම වදිනවා. මේක මිනීමැරුමක්. මේකට ගෑවුණ හැම කෙනෙක්ම මේ සෝචනීය සිද්ධියට වගකිව යුතුමයි. කපිල තුෂාර එහෙම කියන ගමන්ම වල්වැදී කුණු කන්දට කොටසක් යටවී තිබෙන තමන්ගේ නිවස අපට පෙන්නුවා.

කොළඹ නගර සභාවේ අපද්‍රව්‍ය මීතොටමුල්ල කොළොන්නාව ප්‍රදේශයට බැහැර කිරීම ආරම්භ කරනු ලැබුවේ 2009 වසරේ අධිකරණ නියෝගයකට අනුවයි. එලෙස කසළ දැමීමට අධිකරණය නියෝග කොට තිබුණේ අක්කර විසිඑකක භූමි ප්‍රමාණයෙන් අක්කර දෙකක පමණයි.  නමුත් බලධාරීන්ගේ නොසැලකිල්ල නිසාම අක්කර දහඅටක වපසරියක් තුළ කසළ බැහැර කොට තිබුණා.

දිනකට ලොරි තුන්සියයකට ආසන්න ප්‍රමාණයකින්  මෙට්‍රික් ටොන් දහසකට අධික අපද්‍රව්‍ය ප්‍රමාණයක් මීතොටමුල්ල කුණු කන්දට බැහැර කෙරුණා.

ඉහළ යන කුණු කන්ද ප්‍රදේශයෙන් ඉවත් කර ගැනීමට ප්‍රදේශවාසීන් දැඩි උත්සාහයක් දරනු  ලැබුවත් ඔවුන්ට ලැබුණේ ‍පොලිස් ප්‍රහාරයන්ගෙන් පිළිතුරු ලැබිම පමණයි.

මගේ නම ශාන්ත ජයසිංහ කුණු කන්ද නායයෑමේ සිද්ධියෙන් අසරණ වෙලා අවුරුද්දක් ගත වුණත්  ප්‍රධාන වශයෙන් ආපදාවට ලක්වූවන්ට සහන ලැබිලා නැහැ.  අපි තවමත් ගෙවල් කුලිය ඉඩම් වන්දි වගේ ඉල්ලීම් පිළිබඳව බලධාරීන් පස්සේ දුවනවා.

මාස අටකින් ගෙවල් කුලී ලැබුණේ නැහැ. බොහෝ වෙහෙසක් දරලා එය නැවත සකස්කර ගැනීමට  උත්සාහ කළා. මේක රජය විසින්ම නිර්මාණය කළ ව්‍යසනයක්. ඒ නිසාම ජනතාවට සහන සැලසීම රජයේ වගකීමක්.

ආපදාවකදී සම්පූර්ණයෙන් සහන සහ වන්දි ලබාදීමට රජය පියවර ගත් අවස්ථාවක් ලෙස විවිධ ආණ්ඩු ප්‍රධානීන් පාරම් බෑවත් ඇත්තටම සිදුවුණේ ඉතාම අඩු පිරිසකට වන්දි සහ සහන ලබාදීම පමණයි.

ඉඩම් තක්සේරුව ආරම්භ කිරීමට තවම හිතලාවත් නැහැ. අපි අදත් අසරණ වෙලා.  කුණු කන්ද ඉවත් කිරීම සහ රාහුල විද්‍යාලය  නැවත ආරම්භ කරන ලෙස අපි රජයෙන් ඉල්ලා සිටිනවා”

කුණු කන්දේ ඛිෙදවාචකය වෙනුවෙන් හඬ නගමින් ආපදාවට ලක්වූවන්ට සහන සැලසීම සඳහා කොළොන්නාව කුණු කන්දට එරෙහි ජනතා ව්‍යාපාරය මූලිකත්වය ගෙන තිබෙනවා. එම ව්‍යාපාරයේ සභාපති රුවන් බෝපගේ මහතා මෙලෙස අප සමග කරුණු දැක්වූවා.

“මේ ව්‍යසනය නිසා තිස් දෙදෙනෙක් මියගියා. නිවාස සියයක් පමණ පූර්ණ හානිවලට ලක්වුණ තවත් නිවාස සියයක් අවදානම් කලාප සහ අර්ධ හානි නිසා ඉවත් කළා.

ඒ අවස්ථාවේ ඇතිවූ මහජන විරෝධයත් එක්ක අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ‍පොරොන්දු වුණා මාස තුනක් ඇතුළත වන්දි ලබාදී ජනතාව සාමාන්‍ය තත්ත්වයට ගෙන එන බවට.

මේ ඉඩම් තිබෙන්නේ කොළඹට ඉතා ආසන්නවයි. ස්ථිර ඔප්පු තිබෙන අයට පමණක් වන්දි ලබාදෙන බවට රජයේ නිලධාරීන් පසුව ප්‍රකාශ කළා.

නිවාස සඳහා පමණක් වන්දි ලබාදීමට පියවර ගනු ලැබුවා. බොහෝ පිරිස ප්‍රායෝගිකව ජීවත් විය නොහැකි වුවත් මහල් නිවාසවල පදිංචි වුණා. මධ්‍යම පාන්තික පාරම්පරික පදිංචිකරුවන් හැත්තෑවක් පමණ වන්දි නැතුව අසරණ වෙලා ඉන්නවා.  ඔවුන් අවුරුදු හැටකට වඩා ප්‍රදේශයේ ජීවත් වූ පිරිසයි.  ඇමැතිවරු රටට ගෙන්වන කෝටි ගණනක  වාහන දෙකක්  ගෙන්වන එක නවත්වලා ඒ සල්ලිවලින් අපේ වන්දි දෙන්න කියලා අපි ඉල්ලනවා. කබලෙන් ළිපට වැටිලා ඉන්න ජනතාවට  නැවත පාරට බැසීමට ඉඩ නොතබා වන්දි මුදල් ලබාදීමට පියවර  ගත යුතුයි.

කොළොන්නාව කුණු කන්දේ ඛිෙදවාචකයෙන් ජීවිත අහිමි වූ අය සිහිපත් කරලා ලබන දොළොස් වෙනිදා අපි එම ස්ථානයේ  ගුණ සමරු ඵලකයක් නිරාවරණ්‍ය කර ආගමික වතාවත් සිදුකිරීමට කටයුතු සංවිධානය කර තිබෙනවා.
මෙවන් බරපතළ ඛිෙදවාචකයක් සිදුවුවත් අද වන තුරුත් කුණු කන්ද ඉවත් කිරීමට කිසිදු පියවරක් ගෙන නොමැති වීම කනගාටුවට කරුණක්”

වසරකට පසුව මීතොටමුල්ල කුණු කන්දේ ඛිෙදවාචකය පිළිබඳ විස්තර සෙවීම සඳහා කොළොන්නාවට ගිය අප නැවත පැමිණියේ කඳුළු පිරි දෙනෙතින්. තවත් වසර ගණනාවක් ඉක්ම ගියද සුනාමි ව්‍යසනය සේම මෙම ඛිෙදවාචකයත් ශ්‍රී ලාංකික ජනතාවගේ මතකයේ අඳුරු සිතුවමක් සේ රැඳී තිබෙනු ඇත.

නෙරන්ජලා වික්‍රමසිංහ
ඡායාරූප: ඒෂාන් දසනායක

Untitled-2 Untitled-3 Untitled-4