සිංහල හා හින්දු අලුත් අවුරුදු සමයේදී ඉල්ලුම ඉහළ යන ආහාර ද්‍රව්‍යයන් අතර මුල්තැන හිමිවන ආහාරයක් ලෙස ඉස්සන් හඳුන්වා දිය හැකිය. මේ හේතුව නිසාම ධීවර සංස්ථාව මගින් මෙවර ඉස්සන් මිල අඩු කරන ලදී. ඒ අනුව උත්සව සමය තුළ ඉස්සන් කිලෝවක් රුපියල් 1200 සිට 1500 දක්වා මිලක් දක්වා ඉහළ යනමුත් මෙවර එය රුපියල් 850 දක්වා අඩු කිරීමට ධීවර සංස්ථාව පියවර ගත් බව කියැවුණි.

ඉස්සන්ගේ මිල අඩු වීම හරහා වෙළඳ‍පොළ තුළ විශාල ඉල්ලුමක් ගොඩ නැගෙන්නට තිබූ වාතාවරණය බිඳ දමමින් විවිධ මාධ්‍ය මගින් පළවූයේ විස සහිත ඉස්සන් විශේෂයක් විදේශයකින් මෙරටට ආනයනය කර ඇති බවකි. මේ පුවතින් කියවුණ විස සහිත ඉස්සන් පිළිබඳව රිවිර කරුණු සොයා බැලුවේය.

අප්‍රේල් 8 වන දින උදෑසන 5.10ට කොරියන් එයාර්වේස් ම්ජ් 473 දරන ගුවන් යානයෙන් වනමි නමැති ඉස්සන් පිරවූ පෙට්ටි 20ක් ඇමෙරිකාවේ හවායි හි පිහිටි මව් සතුන් වගා කරන ආයතනයක් වන කෝනා බේයි  හි සිට මෙරටට ගෙන්වන ලද්දේ. තැ‍ප්‍රොබේන්. ෆෝසන් පෞද්ගලික සමාගම විසිනි.

මෙසේ ගෙන්වූ මව් ඉස්සන් 60 දෙනෙකු හා පිරිමි ඉස්සන් 60 දෙනෙකු ගුවන් තොටුපලින් පිටතට ගෙන එන ලද්දේ ‍පොලිස් ආරක්ෂාවක් මතිනි. මෙසේ ‍පොලිස් ආරක්ෂාව මත මෙම ඉස්සන් නයිනමඩමේ අභිජනනාගාරය වෙත ගෙන යන ලදී.

ඉස්සන් වගා කරන රටවල් අතර හවායි දූපත්වලට හිමි වන්නේ අද්විතීය ස්ථානයකි. ලෝකයේ බොහෝ රටවල් වෙත වගා කිරීම සඳහා ඉස්සන් ලබා ගන්නේ හවායිවලිනි. ඉන්දියාව, තායිලන්තය, නේපාලය, වියට්නාමය ඇතුළු රටවල් විශාල සංඛ්‍යාවක්  වනමි මව් ඉස්සන් වගා කිරීම සඳහා ලබා ගන්නේ හවායිවලිනි.

ජලජ ජීවින් තෝරා බේරාගෙන ඒවා රට පුරා ව්‍යාප්ත කරලීම සඳහා පෞද්ගලික ආයෝජකයින්ට ලබාදීම සිදු කරනුයේ ශ්‍රී ලංකා ජලජ ජීවී වගා සංවර්ධන අධිකාරියයි. ඒ අනුව ඔවුහු  මත්ස්‍ය වර්ග මෙරටට ගෙන් වීමට පෙර අදාළ රට වෙත ගොස් ජලජ ජීවී වගා බිම් පුළුල් ලෙස පරීක්ෂා කිරීමකට ලක් කරති. මෙසේ පරීක්ෂා කිරීමෙන් අනතුරුව එරට සත්ත්ව සෞඛ්‍ය අධිකාරිය විසින් එම සතුන් ශරීර සෞඛ්‍යයට අහිතකර නොවන බවට සහතිකයක් නිකුත් කරනු ලැබේ. මෙම සහතිකය ජාත්‍යන්තරව පිළිගන්නා එකකි. එම සහතිකයද අප රටට ආනයනය කළ වනමි මව් ඉස්සන් සඳහා ලැබුණද ඒවා මෙරට සත්ත්ව පරීක්ෂණාගාරයන් තුළදී තව දුරටත් රෝග කාරක වෛරසයන් සඳහා පරික්ෂාවකට ලක් කරනු ලැබේ.

ඒ සඳහා පේරාදෙණිය සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ හා ජල ජීවී වගා සංවර්ධන අධිකාරියේ බත්තුලුවේ රසායනාගාරය මගින් මෙම පරීක්ෂණයන් සිදු කරනු ඇත. එම පරීක්ෂණයන් මගින් කිසියම් රෝග කාරක වෛරසයක් හෝ බැක්ටීරියාවක් හඳුනා ගතහොත් එම ඉස්සන් සියල්ලම විනාශ කිරීමට කටයුතු කරන බව ජලජ ජීවී වගා සංවර්ධන අධිකාරියේ සභාපති උපාලි මොහොට්ටි මහතා සඳහන්  කළේය.

හවායි හී පිහිටි සත්ව ආයතනය මගින් කරන ලද පර්යේෂණයන් මගින් රෝග කාරක විස බිජයන් අන්තර්ගත නොවන බව තහවුරු වූ පසුව මෙරටට ආනයනය කළ වනමි නමැති ඉස්සන් සම්බන්ධයෙන් මෙතරම් අසත්‍ය ප්‍රවෘත්තියක් නිර්මාණය වූයේ ඇයිද යන්න පිළිබඳව  අපි ශ්‍රී ලංකා ජලජ ජීවී වගා සංවර්ධන අධිකාරියේ සභාපති උපාලි මොහොට්ටි මහතාගෙන් විමසීමක් කළේය.
ඔහු සඳහන් කළේ මෙවන් අදහසකි.

මේ ඉස්සන් ලංකාවට ආගන්තුක නැහැ. වර්ෂ 2012 දී මෙරට තුළ මෙම ඉස්සන් වගා කළා. නමුත් එය දිගටම කරලා නැහැ. ඉන්දියාව, තායිලන්තය, වියට්නාමය ඇතුළු ලෝකයේ බොහෝ රටවල්  වගා කරන ඉස්සන්ගෙන් සියයට 70ක්ම මේ වනමි කියන වර්ගයන්. අපේ රටේ වැඩි හරියක් වගා කළේ බ්ලැක් ටයිගර් කියන ඉස්සන් විශේෂය.

කොහොම නමුත් ශ්‍රී ලංකා ජලජ ජීවී වගා සංවර්ධන ආයතනය හෙවත් සාඩා ආයතනය වසර 2015 මාර්තු මාසයේදී ව්‍යාපෘති වාර්තාවක් මගින් මගෙන් ඉල්ලීමක් කළා වනමි මෙරටට ගෙන්වන්න කියලා. එම ඉල්ලීමට අනුව අග්‍රාමාත්‍ය කාර්යාලයේ තිබෙන ආර්ථික කමිටුවේදී ප්‍රතිපත්තිමය තීරණයක් ගත්තා මෙම ඉස්සන් මෙරටට ගෙන්වීමට. ඒ සඳහා අපි කටයුතු කළා ඒ අනුව හවායිවල වනමි ඉස්සන් වගා කරන ව්‍යාපෘති බලන්න අපි ගියා. ඒ ගමනට සාඩා ආයතනයේ සභාපතිවරයා සමග තවත් නිලධාරියෙක් සහභාගි වුණා. ඔවුන් ඒ සියලුම කටයුතු නිරීක්ෂණය කළා. ඔවුන් කැමැති වුණා වනමි මෙරටට ගෙන්වීමට ඒත් අද වන විට ඔවුන්ම තමයි පුවත්පත්වලට වැරදි ප්‍රවෘත්ති දීලා මිනිසුන්ව බය කරලා තියෙන්නේ. මටනම් මේක හරිම ප්‍රශ්නයක්

කොහොම නමුත් මෙම ඉස්සන් මෙරටට ගෙනාවත් මුලින්ම බෝකිරීම  සඳහා කටයුතු කරන්න ජලජ ජීවි අධිකාරිය තීරණය කළේ මන්නාරම ප්‍රදේශයේ. මොකද මන්නාරම ජලාශවල මීට පෙර ඉස්සන් බෝකර නොමැති බැවින් යම් හේතුවකින් රෝග කාරක වෛරසයක් තිබේද යන්න පිළිබඳ මෙහිදී හොඳින්ම නිරීක්ෂණය කළ හැකිව තිබු බැවිනි. යම් හේතුවකින් වෛරස් ආසාදනයක් මතු වුවහොත් එම මව් ඉස්සන් සියල්ල විනාශ කිරීම සඳහාද ජලජ ජීවී අධිකාරිය තීරණය කර තිබුණි.

එහෙත් සාඩා ආයතනයේ තීරණය වූයේ එම ඉස්සන් බෝකිරීමේ ව්‍යාපෘතිය පුත්තලම ප්‍රදේශයේ ආරම්භ කරන ලෙසය. මෙම තීරණයන් අතර පැවති මතභේදය හේතුවෙන් අසත්‍ය ප්‍රචාරයක් පතුරුවාලීමට ඔවුන් කටයුතු කළේද යන්න පිළිබඳ දිගින් දිගටම පරික්ෂණ පවත්වන බවද ජලජ ජීවී, වගා සංවර්ධන අධිකාරිය සඳහන් කරන්නේය.

කෙසේ නමුත් ඉස්සන් පිළිබඳව මිනිසුන් තුළ ඇති වී තිබෙන රෝග කාරක බිය එක් දිනකින් හෝ එක් ලිපියකින් හෝ වෙනස් කළ නොහැකිය. එහෙත් ගුවන් තොටුපළේ නිරෝධායන ආයතනයේ වෛද්‍යවරයෙක් සඳහන් කළේ ලෝකයේ කිසිදු තැනක ඉස්සන් මගින් සුව කළ නොහැකි රෝග තත්ත්වයක් මිනිසුන්ට වැළඳෙන බවට මතෛක් කිසිදු තොරතුරක් වාර්තා වී නොමැති බවය.

ශ‍්‍රියානි විජේසිංහ