බක්මහ ලබත්ම ගහ කොළ පමණක් නොව සතා සිව්පාවාගේ මෙන්ම මිනිසාගේත් වෙනස්වීමක් සිදු වේ. ගහකොළ දලු ලා මලින් බර වනවා සේම ඒ අතුපතර ඔබමොබ යන කලාතුරකින් දැකිය හැකි පක්ෂීහු ද එළිබසිති. මේ අතර සිංහල හා දෙමළ ජනවර්ගයා සිය නිවසේ සිට අනෙකුත් දෑ ද අලුත්වැඩියා කර සිංහල දමිළ අලුත් අවුරුද්දට මුහුණදීමට කටයුතු කරයි.

එහිදී කන්නය කපාගත් අස්වැන්න අග්‍ර කොටස බුදු රජුන්ට පූජා කොට අලුත් අවුරුද්ද දා කිරිබතක් පිස ගැනීම සැමගේම ප්‍රාර්ථනයකි. එහෙත් මෙවර වැඩි දෙනකුට එම ප්‍රාර්ථනය ඉටුකර ගැනීමට හැකි වූයේ ද යන්න ගැටලුවකි. ඊට හේතුව වැඩි දෙනකුට කිරිබතට අවශ්‍ය සහල් හා ‍පොල් ගිනි ගණන් දී මිලට ගැනීමට සිදු වීමයි. පාලන මිලක් නියම කර තිබුණ ද සහල්වල හා ‍පොල්වල මිල ඇසූ විට එලොව ‍පොල් පෙනෙන්නට ඇත. මීට හේතුව පාලන මිලට කිසිම වෙළෙඳසලක සහල්, ‍පොල් අලෙවි නොවීමයි.

මෙම තත්ත්වය මත මෙවර අවුරුද්දේ ‍පොල් ගා කිරි මිරිකා ගෙන කිරිබතක් පිස ගැනීම වෙනුවට පිටි කළ ‍පොල්කිරිවලින් කිරිබත් උයා ගත් පිරිස වැඩි බව වෙළෙඳසල් හිමියෝ පැවසූහ. එදා අපනයන භෝගයක් වූ සහල් හා ‍පොල් අද ආනයන භෝගයක් බවට පත්ව ඇත. මෙහිදී අප විශේෂ අවධානයක් යොමු කරනු ලබන්නේ ‍පොල් සම්බන්ධයෙනි.
ලෝකයේ හොඳම හා රසවත් ‍පොල් ඇති ශ්‍රී ලංකාවේ ‘කප්රුක’ නමින් විරුදාවලිය ලත් ‍පොල් කර්මාන්තයට මෙවැනි තත්ත්වයකට පත්වීමට සිදු වූයේ කෙසේද යන්න විමසා බැලිය යුතුය.

මෙරට ඒක පුද්ගල ‍පොල් පරිභෝජනය වාර්ෂිකව ගෙඩි 109කි. එය සමස්ත පරිභෝජනය මිලියන 1800-2000 අතර වේ. 1982 ඉඩම් සංශෝධනයට අනුව ‍පොල් ඉඩම් හෙක්. 416251ක්ව පැවැති ඉඩම් ප්‍රමාණය 2002 දී හෙක්. 394836කි. එය වසර 20ක කාලයකදී හෙක්ටයාර් 21415ක අඩුවීමක් වන අතර එම ප්‍රමාණය 5.4ක ප්‍රතිශතයකින් අඩු වීමකි. 1980 දී ගෙඩි මිලියන 2026ක් ආදායමින් පැවැති අතර 1990 වන විට එය ගෙඩි මිලියන 2531 දක්වා වැඩි වී ඇත. 2000 දී ගෙඩි මිලියන 3096ක් ද, 2015 වන විට ගෙඩි මිලියන 3100 දක්වා වර්ධනය වී තිබේ. එහෙත් මේ වන විට 1980ට සාපේක්ෂව ජනගහන වර්ධනය අනුව ‍පොල්වලින් ස්වයං‍පෝෂිත වීමට ගෙඩි මිලියන 3500-3700 අතර ප්‍රමාණයකට පැමිණීය යුතුය. ‍පොල් වගා කළ හෙක්ටයාරයකින් ගෙඩි 6500ක් වාර්ෂිකව ආදායමක් ලබන අතර ඉන්දියාවේ එම ප්‍රමාණය ගෙඩි 9500කි. එහෙත් ඉන්දියාවේ ‍පොල්වලට වඩා මෙරට ‍පොල් ගෙඩි විශාලත්වයෙන් හා මදය ගණකමින් ද, කිරි ප්‍රමාණය අතින් ද වැඩිය.

මෙම තත්ත්වය නිසා මෙරට ‍පොල්වලට ඊජිප්තුවේ (18), ඩුබායි (20), සෞදියේ (20), ජර්මනියේ (51) වැනි රටවලින් ඉහළ ඉල්ලුමක් පවතියි. මෙරට ‍පොල්තෙල්වලට බංග්ලාදේශය, ඇමෙරිකාව, ජපානය වැනි රටවල ඉහළ ඉල්ලුමක් ඇත.

එහෙත් ‍පොල් ගස යනු සුබ මෙන්ම අසුබ කටයුත්තේ සිට ඉරටුවේ සිට කෙඳි දක්වාත් මිනිසාට ප්‍රයෝජනය ලබාදෙන කප්රුකක් බවට පත්ව ඇත. මෙවන් වූ වටිනා ගස ආරක්ෂා කිරීම, ඒ පිළිබඳව පර්යේෂණ කිරීම සඳහා ආයතන තුනක් තිබේ. ඒ ‍පොල් වගාකිරීමේ මණ්ඩලය, ‍පොල් පර්යේෂණ ආයතනය හා ‍පොල් සංවර්ධන අධිකාරිය වැනි ආයතනයන්ය. එසේ තිබියදී ‍පොල් වගාව, ආරක්ෂා කර දියුණු කිරීමට කටයුතු කරනවා වෙනුවට ඔවුන්ට සිදුව ඇත්තේ රටේ පරිභෝජනයට අවශ්‍ය ‍පොල් පිටරටින් ගෙන ඒමට උපදෙස් දීමටය.

තේ, රබර් හා ‍පොල් එදා අපනයන භෝගයක් ලෙස ‍පොත්පත්වල සඳහන් වුව ද අද ‍පොල් ආනයන භෝගයක් වීමට බලපෑ හේතු රාශියකි. ඉවක්බවක් නොමැතිව ‍පොල් ඉඩම් වෙන්දේසි කිරීම, ඒ තුළින් ‍පොල් ගස් කැපීම, වන සතුන්ගෙන් වන හානිය (අලියා, වඳුරා, දඬු‍ලේනා, ‍පොල් කුරුමිනියා ආදීන්ගෙන්) ජල හිඟය, ඉඩම් නිසරුවීම, යටි වගාව නඩත්තු නොකිරීම ආදී කරුණු මේ සඳහා බලපා ඇත. මේ සම්බන්ධයෙන් සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක පළාත් සභා මන්ත්‍රී නාමල් කරුණාරත්න මහතා පවසන්නේ ‍පොල් ගස් සම්බන්ධයෙන් පවතින නීතිවල අඩුවක් තිබිම නිසා මෙවැනි තත්ත්වයක් උදා වී ඇති බවයි.

“ඉවක් බවක් නැතිව ‍පොල් ගස් කපලා ‍පොල් වතු කැබලි කරලා වෙන්දේසි කරනවා. මේකෙන් විශාල පරිසර හානියක් සිදු වෙනවා. පර්චස් 10*10 ඉඩම් කැබලි කඩනවා කියන්නේ එක වත්තක හිල් දෙකක් හැදෙනවා. ළිඳ වගේම වැසිකිළි හැදෙනවා. මේකෙන් වෙන පරිසර හානිය මහා විශාලයි. දැන් බලන්න බත් ගහ ලෙස හඳුන්වන කොස් ගහ කපන්න බලපත්‍ර ගන්න ඕනෑ. දෙල් හා තල් ගහ කපන්න බලපත්‍ර ගන්න ඕනෑ. හැබැයි කප්රුක වශයෙන් හඳුන්වන ‍පොල් ගහ හිතු හිතු ආකාරයට කපනවා. මතෛක් ‍පොල් හිඟය විතරක් ‍නෙවෙයි ඒ ආශ්‍රිතව ආරම්භ වෙලා තියෙන කර්මාන්තයන් නතර වෙනවා. ‍පොල්තෙල්, කොහුබත්, ඉදල්, කොසු, ඉරටු ආදී කර්මාන්තවලට ‍පොල් කර්මාන්තය විනාශ වීම නිසා දැඩි බලපෑමක් එල්ල වී තියෙනවා. ඒ වගේම දැනට තියෙන පෙල් වගාවන්වල අවුරුදු 50 ඉක්මවූ වගාවන් 60ක් විතර තියෙන නිසා පලදාවත් අඩුවෙලා.” යැයි නාමල් කරුණාරත්න මහතා සඳහන් කළේය.

1958 අංක 2 යටතේ තේ හා රබර් ඉඩම් කැබලි කිරීම සීමා පනවා ඇති අතර 2005 දී ඊට සංශෝධනයන් ගෙන එමින් ‍පොල් වතු කැබලි කිරීමට අවශ්‍ය නීති පනවා ඇත. ඒ අනුව හෙක්ටයාර් 4කට අඩු ඉඩම් (අක්කර 10) කැබලි කිරීමට පනත සංශෝධනය කර තිබේ. කෙසේ වෙතත් පසුගිය මාර්තු 07 වැනි දින ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ගේ ප්‍රධානත්වයෙන් කුරුණෑගල දිස්ත්‍රික් ‍ලේකම් කාර්යාලයෙ පැවැති දිස්ත්‍රික් සංවර්ධන කමිටු රැස්වීමේදී මේ සම්බන්ධයෙන් ඉදිරිපත් වූ කරුණු අනුව ‍පොල් ඉඩම් කැබිලි කිරීම තාවකාලිකව තහනම් කිරීමට කටයුතු කළේය. ඒ අනුව වයඹ පළාත් මහ ඇමැතිවරයා සමග සමස්ත ලංකා ගොවිජන සම්මේලනය පසුගිය 02 දින පැවැති සාකච්ඡාවේදී වයඹ පළාතේ ‍පොල් ඉඩම් කැබලි කිරීම සඳහා වූ ප්‍රඥප්තිය සංශෝධනය කිරීමට එකඟ වූ බව එම සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න මහතා සඳහන් කළේය.

දැනට ‍පොල් කර්මාන්තයේ ඇති ඛිෙදවාචකය සම්බන්ධයෙන් වැවිලි කර්මාන්ත ඇමැති නවින් දිසානායක හා එම අමාත්‍යාංශයේ නිලධාරීන් සමග පසුගිය 03 දින සාකච්ඡා කර ඇති අතර එහිදී ‍පොල්ගස් සම්බන්ධයෙන් වැදගත් තීරණ රැසක් ගැනීමට හැකි වූ බව කරුණාරත්න මහතා සඳහන් කළේය.

“මතෛක් අක්කර 10ක්ව තිබුණ ‍පොල් ඉඩම් කට්ටි කිරීම අක්කර 5 දක්වා අඩු කරගන්න ඒ සාකච්ඡාවෙන් හැකි වුණා. වැදගත්ම කාරණය තමයි ‍පොල් ඉඩම් යළි ‍පොල් ඉඩම් ලෙස ලියාපදිංචි කරලා වෙනත් වගාවන්ට හෝ වෙනත් ව්‍යාපෘතිවලට ඒ ඉඩම් යොදාගැනීමට අවශ්‍ය නීති අණපනත් ගේන්න තීරණය කළා. මොකද කුඹුරු ඉඩම්වල වෙනත් කටයුතුවලට යොදා ගන්න බැහැනේ.

ඒ වගේම තල් ගස, දෙල් ගසට හා කොස් ගස කැපීමට බලපත්‍ර ගැනීමට තියෙන නීතිය ‍පොල් ගහටත් ඇතුළු කිරීමට තීරණය කළා. මීට අමතරව ‍පොල් ඉඩම්වලින්, ‍පොල් ගස් ඉවත් කරලා මුඩු ඉඩම් බවට පත් කරලා වාණිජ කටයුතුවලට ව්‍යාජ ලෙස සකස් කිරීමේ කටයුතුවලට වැට බඳින්න නීති ගේන්න එකඟ වුණා. ඒ නීති මාස 2ක් ඇතුළත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා සම්මත කරන්නත් තීරණය කළා.” යැයි කරුණාරත්න මහතා පැවසීය.

ඊට අමතරව ‍පොල් අස්වැන්න වර්ධනය කිරීම සඳහා පැරණි ගස් තුළ යටි රෝපණයන්, කාබනික ‍පොහොර, ජල පහසුකම් ආදිය ලබාදීමත්, කෘමි රෝග මෙන්ම වන සත්ත්වයන්ගේ හානිය අවම කිරීමට අවශ්‍ය කටයුතු කිරීමටත් වැවිලි කර්මාන්ත ඇමැති නවින් දිසානායක මහතා එකඟ වූ බව ඒ මහතා පැවසීය.

චමින්ද සේනාරත්න
chaminda.news@gmail.com