සියලු ජීවිතවලට ආදරයෙන් අවුරුද්දේ සතුට සමරමු යනුවෙන් වූ දැන්වීමක් මීට ටික කලකට ඉහතදී රූපවාහිනියේත්, සමාජ ජාල මාධ්‍යයේත් පළ විය. ඒ පණිවුඩය සමඟ දර්ශනය කෙරුණු රූපය වූයේ බියට පත් සුනඛ සුරතලෙකුගේ මුහුණකි. රතිඤ්ඤාවක ශබ්දයට බිය වී රැලි වැටුණු නළලින් යුතුව ඌ අසරණව හැංගී අප දෙස බලා සිටී. එතැන් පටන් අවුරුදු සතුට සමරන්නට රතිඤ්ඤාවක් අතට ගත් හැම විටකම මගේ හිත් මානයේ මැවී පෙනුණේ අර බියට පත් බලුපැටියාගේ මුහුණය.

මේ උදා වී තිබෙන්නේත් එවැනිම අවුරුදු සමයකි. අවුරුද්දේ මේ අලුත් පණිවුඩය සමාජගත කරන්නට අපි සොයා ගියේ කලකට ඉහතදී සිය වියදමින් අර දැන්වීම පළකළ තැනැත්තියවය. ඇය එම්බාර්ක් අධ්‍යක්ෂිකා ඔටාරා ගුණවර්ධනයි.
අවුරුද්ද උදාවෙන බවට ඉස්සර අපට පණිවුඩ අරන් ආවේ කොහා. නැකැත් වෙලාවල් ගැන අපිව දැනුවත් කළේ ගමේ පන්ස‍ලේ ඝණ්ඨාරේ. ඒ සද්දෙට තමයි ඉස්සර අම්මලා ළිප ගිනි මොලවන චාරිත්‍රය, ආහාර අනුභව චාරිත්‍රය ආදිය කළේ. ඒත් මේ සන්නිවේදන කටයුත්ත රතිඤ්ඤාවලට භාරදුන්නට පස්සෙ තත්ත්වය හුඟක් නරක් වුණා. අපි එදා ඉඳලම හිතුවෙ අපි ගැන විතරයි. සත්තු ගැන ‍පොඩ්ඩක්වත් හිතන්නේ නැතුව අපි මහ සද්දෙන් රතිඤ්ඤා පත්තු කරනවා. ඒක දැන් ලොකු ෆැෂන් එකක් වෙලා. නැකැතට එක දිගටම රතිඤ්ඤා පත්තු වෙනවා. අතරින් පතර නැකැත් නැති වෙලාවලටත් රතිඤ්ඤා සද්ද ඇහෙනවා. ඇත්තටම ඒ සද්ද සත්තුන්ව කොච්චර බය කරනවාද කියලා මට හරියටම තේරුණේ සත්තු වෙනුවෙන් පුර්ණ කාලීනව වැඩකරන්න පටන් ගත්තට පස්සෙයි. තමන්ගේ ජීවිත තුළින් උපයාගත් අත්දැකීම ගැන ඇය මේ විදියට වචන පෙළගැස්වූවාය.

ගෘහාශ්‍රිත සත්තු වෙනුවෙන් අපේ ආයතනය ගොඩක් වැඩ කරනවා. අවුරුදු කාලෙට, නත්තල් කාලෙට අලුත් අවුරුද්ද ලබන ජනවාරි පළමුවැනිදාට අපට ටෙලිෆෝන් කෝල් රාශියක් එනවා. ඒවායින් කියැවෙන්නේ අපේ බල්ලා වාහනයක හැපිල තුවාල වෙලා, අපේ පූසා ලෙඩ වෙලා, අපේ ගෙදර ඉඳපු සත්තු උත්සවය ඉවරවෙනකොට ආ ගිය අතක් නෑ වගේ පණිවුඩ. ඇයි මෙහෙම වෙන්නෙ? එකම හේතුව රතිඤ්ඤා.

ගෘහාශ්‍රිත සත්තු හැටියට හඳුන්වන බල්ලො, පූසෝ හැමෝටම ස්ථිරව ඉන්න තැනක් තියෙනවා. ගෙවල්වල ඉන්න බල්ලො වගේම පාරෙ තැන් තැන්වල, කඩපිල්වල හෝ කොහේ හරි පුරුදු තැනක් එයාලා හදාගෙන ඉන්නවා. අපට වඩා හුඟක් වැඩියෙන් සත්තුන්ට කන් ඇහෙනවා. එතකොට මේ රතිඤ්ඤා සද්දෙ එයාලට දරාගන්න බැරි තරම් ලොකු විශාල එකක්.

ඉතින් රතිඤ්ඤා පත්තු කරද්දී එයාල බයවෙලා සිහියක් නැතිව ඔළුව හැරුණු අතේ දුවනවා. සමහර සත්තු බයේ හැංගෙන්න ගෙවල් ඇතුළට රිංගනවා. ඒත් ගෙදර අයිති කෙනා සතාට එන්න දෙන්නෙ නැතුව දොර වහල එයාව ආපහු එළියට දානවා නම් සතා බයේ හැංගෙන්න තැන් හොය හොයා වේගෙන් දුවනවා. එහෙම දුවද්දි වාහනවල හැප්පිලා මැරෙනවා. අනික ආපහු ගෙදර එන්න පාර මතක තියාගෙන නමෛයි ඒ දුවන්නෙ. හිතුණ හිතුණ පැත්තට දිව්වම එයාලට එන්න මතක නෑ.

මං එක උදාහරණයක් කියන්නම්කො. අම්බලන්ගොඩ පැත්තෙ කඩපිලක තුවාල වෙච්ච බල්ලෙක් ඉන්නව කියල අපට ටෙලිෆෝන් කෝල් එකක් ආවා. ඉතින් එයාව සනීප කරන්න අපි තකහනියෙම කොළඹ ඉඳලා අම්බලන්ගොඩට ගියා. ඒ යනකොට එයා ඒ කියපු තැන හිටියෙ නෑ. හතර වටේ හැමෝගෙන්ම ඇහුවත් බල්ලා හොයාගන්න බැරිවුණා. ඒ තරම් තුවාල තියාගෙන ඒ තරම් වේදනාවක් එක්ක සතා යන්න ගියේ කොහොමද කියන එක හැමෝම හුඟක් පුදුමයට පත් කළා. අන්තිමේ අපි හේතුව හොයාගත්ත. අම්බලන්ගොඩ ඉස්කෝලෙක ක්‍රිකට් මැච් එකක් තිබිල තියෙනව එදා. ළමයි මැච් එක දිනපු සතුටට රතිඤ්ඤා පත්තු කරල. ඒ සද්දෙට බයේ තමයි අර මරණාසන්න බල්ල කොහේ හරි දුවලා තියෙන්නෙ. ඉතින් අන්තිමේ එදා අපට එයාට බෙහෙත් දෙන්න බැරිවුණා. මට ඒ සිද්ධිය ගැන හරියට දුක හිතුණා.
බල්ලො, පූසො වගේම කුරුල්ලොත් මේ ලොකු සද්දවලට හරිම බයයි. මම නම් හැමදාම හිතන්නෙ මනසින් උසස් අපි ඇයි මේ විදියට සත්තුන්ව බය කරන්නෙ කියලයි.

අලුත් අවුරුද්දේ ඊළඟ චාරිත්‍රය නෑගම් යාමය. නෑගම් යන විට ගෙදර ඉන්න හිතවතා අමතක නොකරන්නැයි ඔටාරා ඉල්ලා සිටින්නීය.
ගෙදර අය නෑගම් ගියාම ගෙදර බල්ලා පූසා බඩගින්නෙ. මේ ගැන අපි හිතන්න ඕන. එයාව බලාගන්න කාට හරි පවරල යන්නම ඕනෑ.
මොකද අපි නැති අතරේ රතිඤ්ඤා සද්ද ඇහෙනකොට සත්තු හොඳටම බයවෙනවා. මගේ ගෙදර බලු පැටියෙක් ඉන්නවා. එයා අවුරුදු කාලෙට දවස් 10ක් විතර එක දිගට වෙවුලනවා. ඒ බයට. ඉතින් මම අවුරුදු දවසෙ කොහේවත් යන්නෙ නැතුව එයාගෙ ළඟට වෙලා ආරක්ෂාව සලසනවා.
රතිඤ්ඤා සද්දෙ එන වෙලාවට සුරතල් සතාට ගේ ඇතුළෙ ආරක්ෂිතව ඉන්න තැනක් අපි හදල දෙන්න ඕනෑ. එයාලා කැමැති ඒ වෙලාවට අඳුරු මුල්ලකට වෙලා හැංගෙන්නයි. එහෙම හැංගිලා ඉන්න සතෙක්ව බලහත්කාරයෙන් එළියට ඇදලා ගන්න නරකයි. ගෙදර දොර ජනෙල් වැහුවොත් ඇතුළට එන සද්දෙ අඩුවෙනවා. ඒ වගේම මම නම් රතිඤ්ඤා සද්දෙ බල්ලන්ට ඇහෙන්නෙ නැතිවෙන්න ටිකක් වැඩි සද්දෙන් ටී.වී.එක හෝ රේඩියෝව අහනවා. එයාලගේ අවධානය වෙනතක හරවන්න එයාල එක්ක සෙල්ලම් කරනවා.
වැරදිලා හරි කොහේ හරි දිව්වොත් හොයාගන්න බැරිවෙන නිසා බල්ලො පූසො හැමෝගෙම කරපටිය දාල කරාපිටියේ ගෙදර ලිපිනය එල්ලා තිබිමත් වැදගත්. එතකොට ආ ගිය අතක් නැතුව ඉන්න සතාව ගෙදරට භාරදෙන්න කාට වුණත් පුළුවන්නෙ.

ඇය එලෙස පවසන්නේ සතුන්ගේ ආරක්ෂාව වෙනුවෙනි.
මේ ඉල්ලීම් සියල්ලම මනසින් උසස් මිනිසාගෙන් කරන ආයාචනාය. මේ අලුත් අවුරුද්ද අලුත් ආරෙන් කරුණාබරිතව සමරන රතිඤ්ඤා හඬ අඩු එකක් වනු දැකීම අපේ බලා‍පොරොත්තුවයි. අධික ශබ්ද රතිඤ්ඤා වෙනුවට ඕනෑම නම් නිලා කූරු, බඹර චක්‍ර ආදී බොහෝ විසඳුම් අපට තිබේ. ඒත් ගෘහාශ්‍රිත හුරතලෙකුට ගෙදර හැර වෙන යන්නට තැනක් නැත.
අවුරුද්දේ රතිඤ්ඤා සද්දය සහ ගෙවල්වල සුරතලුන් ගැන කොච්චිකඩේ ජ්ධභප නචඹඵ සත්ත්ව රෝහ‍ලේ පශු වෛද්‍ය රොෂාන් ප්‍රනාන්දුපුල්‍ලේ මහතා පවසන්නේ මෙවැනි කරුණකි.

ගෘහාශ්‍රිත සතුන්ගේ කන් ඇසීම මිනිසුන්ගේ කන් ඇසීමට වඩා ගොඩක් වැඩියි. සාමාන්‍යයෙන් අපි කියන්නේ මිනිසාට මෙන් දෙතුන් ගුණයක් වැඩිපුර සතුන්ට කන් ඇහෙනවා කියලයි. ශබ්දයට හොඳින් සංවේදී වීම සඳහාම සුනඛයෙකුගේ කනේ විශේෂිත මාංශ පේශි 18ක් පිහිටල තියෙනවා. මේ නිසා අවුරුද්දේ රතිඤ්ඤා ශබ්දයට ඔවුන් විශාල ලෙස බයවෙනවා. කන් බෙරය ඔවුන්ට දරාගන්න බැරි තරමට දෙදරනවා. ඒක සුරතලාට අපි නොහිතන තරම් ලොකු වේදනාවක්.

උත්සව සමයක් එළැඹෙනකොට අපේ සත්ත්ව සායනවලට රැගෙන එන සතුන් ප්‍රමාණය වැඩියි. ඒ කියන්නෙ ඔවුන් ලෙඩ වෙනවා වැඩියි. උත්සව සමයේ රතිඤ්ඤා පත්තු කරද්දී සත්තු ලොකු මානසික ආතතියකට ලක්වෙනවා. මානසිකව දුර්වල වෙන ඕනෑම කෙනෙක් වෙනත් ලෙඩකට ගොදුරු වෙන්න තියෙන ඉඩ වැඩියි. මොකද මානසික ආතතිය නිසා ප්‍රතිශක්තිය දුර්වල වෙලා සත්තුන්ට විවිධ ලෙඩ රෝග වැලඳෙනවා.

ඒ වගේම රතිඤ්ඤා ශබ්දවලට බයවුණාම සත්තුන්ගේ කෑම රුචිය අඩුවෙනවා. බයවුණු සතෙක්ව හඳුනාගන්න පුළුවන් ඒ සතාගේ ඇස් දිහා බැලුවාම. ඇස් ලොකු කරගෙන කන් කෙළින් කරගෙන කලබල වෙලා අඳුරු මුල්ලක හැංගෙන්න ඌ උත්සාහ කරනවා නම් අපි ඊට ඉඩ දෙන්න ඕනෑ. රතිඤ්ඤා ශබ්දය වැඩි වෙලාවට සතා ඉන්න තැනට ආරක්ෂාව සැපයීම හරිම වැදගත් දෙයක්.

මානසික ආතතිය සහ බිය වැඩිවෙලා මුල්ලක පැත්ත වැටිලා යම් සතෙක් ඉන්නවා නම් ඌට කැමැති විදිහේ දියර වර්ගයක් ‍පොවන්නට වුවමනායි. ග්ලූකෝස් වතුර ඉතා හොඳ විසඳුමක්.
ඒ වගේම කිසියම් සුරතලෙක් බිය වැඩිකමට කලබල කරනවා නම් ඔහු ගැන හොඳ අවධානයෙන් ඉන්න ඕනෑ. මොකද නැකැත් වෙලාවට අපේ අවධානය වෙනතක යොමුවෙලා තියෙද්දි සතා පුළුවන් තරම් වේගයෙන් දුවනවා. ඒ දුවද්දි වාහනවල හැප්පිලා, අනතුරු වෙනවා වගේම ගෙදර එන්න පාර හොයාගන්නත් බැරි වෙනවා.
රතිඤ්ඤා සහ බඹර චක්‍ර වැනි ගිනිකෙළි කටින් අල්ලා සපන්නත් සමහර සත්තු ඉක්මන් වෙනවා. ඇඟ සහ මුළු කටම පිච්චිලා ප්‍රතිකාරවලට ගෙනාපු සත්තු ඕනෑ තරම් ඉන්නවා. මේ නිසා හොඳම විසඳුම රතිඤ්ඤා, ගිනිකෙළි භාවිතය අවම කිරීමයි.

අධික ශබ්දය සහ ගිනිකෙලි සෙල්ලම් අනතුරු ගෙන එන්නේ සතුන්ටම පමණක් නොවේ. උත්සව සමය අවසානයේ ගිනිකෙලි අනතුරුවලින් රෝහල්ගතවන මිනිසුන් ප්‍රමාණය සුළුපටු නැත. මේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ බෝ නොවන රෝග ඒකකයේ ප්‍රජා සෞඛ්‍ය විශේෂඥ වෛද්‍ය සමිත සිරිතුංග මහතා, ගිනිකෙලි භාවිතය ගැන අපව දැනුවත් කල අයුරුය.

රතිඤ්ඤා සහ ගිනිකෙළිවල අවදානම කොටස් කිහිපයකට බෙදා පෙන්වන්න අපට පුළුවන්. එකක් අධික ශබ්දය නිසා සිදුවන අනතුරු, ආලෝකය නිසා සිදුවන අනතුරු. ගින්දර නිසා සිදුවන අනතුරු සහ අනෙක් එක පිපිරීමේදී සිදුවන අනතුරු. උත්සව සමයේ සතුටුවීමට ගිනිකෙළි සහ රතිඤ්ඤා භාවිතා කරනවා නම් මේ අවදානම් ගැන ඉතාම පරික්ෂාකාරී වීම අත්‍යවශ්‍යයි.

සාමාන්‍යයෙන් ඩෙසිබල් 85ට වැඩි ශබ්දවලදී තාවකාලික බිහිරි බවක් ඇතිවෙන්න පුළුවන්. ශබ්දය අවසාන වී ටික වේලාවකින් යළි කන් ඇසීමට පටන් ගන්නවා. නමුත් ඊට වඩා ලොකු ශබ්දයක් නිසා ඇතැම් විට කන් බෙරයට පවා හානි සිද්ධ වෙන්න පුළුවන්. නිතර නිතර ශබ්දයට නිරාවරණය වීමෙන් සදාකාලික බිහිරි බව ඇතිවීමට පවා ඉඩකඩ තිබෙනව.

මේ අනතුරු හැම එකකම බලපෑම වයසත් එක්ක වැඩිවෙනව. ඒ කියන්නේ පටක හා ඉන්ද්‍රියන් හරියට වැඩි නැති දරුවෙකුට අධික ශබ්දයෙන් ඇතිවන හානියේ ප්‍රමාණය වැඩියි. අධික ආලෝකයෙන් සිද්ධවෙන්න පුළුවන් හානියේ ප්‍රමාණය වැඩියි. ඒ වගේම අවදානම් ගැන දරුවන්ගේ තිබෙන අවබෝධය අඩුකම නිසාත් දරුවන් අනතුරට භාජනය වීමේ සම්භාවිතාව වැඩියි.

උදාහරණයක් හැටියට රතිඤ්ඤාවක් පත්තු කරන වැඩිහිටියෙක් අනිවාර්යයෙන්ම තමන්ගේ ආරක්ෂාව ගැන හිතල ඊළඟට තමයි තමන්ගේ අරමුණ ගැන හිතන්නේ. නමුත් දරුවන්ට එහෙම අත්දැකීම් සමග එන අවබෝධයක් නැහැ. ඒ මොහොතේ ඔවුන්ගේ හිතේ තිබෙන එකම අරමුණ රතිඤ්ඤාව පත්තු කිරීම විතරමයි. මේ නිසා දරුවන්ට ගිනිකෙළිවලින් විනෝද වෙන්න අවස්ථාව සලසන්න නරකයි. ඔවුන් බලා සිටියදී වැඩිහිටියෙක් එය සිදුකිරීම නුවණට හුරුයි.

ගිනිකෙළි අනතුරු නිසා මතුපිට සම පිලිස්සෙන්න පුළුවන් වගේම ඇතැම් විට ඇතුළත පටක පවා පිලිස්සෙන්න අවදානම තිබෙනවා. ඇතැම් අයට අවසානයේ අත් පා අහිමි වෙන අවස්ථාත් තිබෙනවා. කන් බිහිරිවීමට වගේම ඇස්වලට කෑලි ගියොත් අන්ධවීම දක්වාම වූ අනතුරකට මුහුණ දෙන්න සිද්ධ වෙන්න පුළුවන්.
හදිසි අනතුරක් සිද්ධවෙන්නේ අපේ අනුදැනුමක් ඇතුව නමෛයි. ඕනෑම තැනක ඕනෑම වෙලාවක අනතුරක් හැංඟිලා තිබෙන්න පුළුවන්. අවදානමට සූදානම්ව සිටීම වඩාත්ම වැදගත් දෙය යැයි අපි කියන්නේ ඒ නිසයි.
කිසිම පිලිස්සුම් තුවාලයකට දත් බෙහෙත්, කෝපි කුඩු, ශාඛ යුෂ ගල්වන්න යන්න එපා. ඒවා තුවාලයේ ඇලීම නිසා තත්ත්වය දරුණු වීම විතරයි වෙන්නෙ. සිසිල් ජලයට විනාඩි 20ක් අල්ලාගෙන ඉඳල වහාම වෛද්‍ය ප්‍රතිකාර කරා යොමුවෙන්න ඕන.

සාමාන්‍යයෙන් අපි කියන්නෙ අනතුරකට පසු එළැඹෙන පළමු පැය ස්වර්ණමය පැය කියලයි. ඒ කියන්නේ ට්ධතඤඥද ඩ්ධභප. මේ පැය ජීවිතය පිළිබඳ තීරණාත්මක හෝරාවක්. මේ පැය කල් යල් බලන්නට මඟ හැරියොත් නොහිතනා විනාශයක් සිද්ධ වෙන්න පුළුවනි. ඉස් ඉස්සෙල්ලා අවුරුද්දේ ඉස්පිරිතාලෙ යන්න හොඳ නැහැ වගේ අනුවණ චින්තනයෙන් වැඩ කරන්න නම් එපා කියලයි අපි ඉල්ලන්නෙ.

සාවිත්‍රි විතානගේ