රනිල්-මෛත්‍රිට රහසින් එපා කී ඇමැති 6 දෙනා?

සුපුරුදු කැබිනට් හමුව පසුගිය අඟහරුවාදා උදෑසන 9ට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ‍ලේකම් කාර්යාලයේදී පැවැත්විණි.

මෙවර කැබිනට් හමුවේ විශේෂත්වය වූයේ පෙර දින මැදියම් රැය වනතුරු පැවැති ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභා රැස්වීමේදී ගත් තීන්දුවක් අනුව ශ්‍රීලනිපය කැබිනට් හමුව වර්ජනය කිරීමයි. ඒ නිසා ශ්‍රීලනිපයේ කිසිදු කැබිනට් ඇමැතිවරයෙක් මෙවර කැබිනට් හමුවට පැමිණ සිටියේ නැත. ශ්‍රීලනිපය එවැනි තීන්දුවක් ගත්තද ජනාධිපතිවරයා සුපුරුදු පරිදි කැබිනට් හමුව කැඳවා දිනට නියමිත අමාත්‍ය මණ්ඩල සංදේශ 56ක් සාකච්ඡාවට ගත්තේය. ඒ අතර ශ්‍රීලනිප ඇමැතිවරු ඉදිරිපත් කළ අමාත්‍ය මණ්ඩල සංදේශයන්ද වූයේය. එසේ වුවද ඒවාද බැහැර නොකර සාකච්ඡාවටගත් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ඇතැම් ඒවාට එජාප ඇමැතිවරුන්ගේ සහාය යටතේ අනුමැතිය ලබා දුන්නේය. කැබිනට් හමුව අතරවාරයේ කිසිදු උණුසුම් තත්ත්වයක් ඇති නොවුවත් ඊට එක්වු ඇමැතිවරුන්ගේ මුව අයා සිටි ප්‍රශ්නයක් වූයේ ශ්‍රීලනිප ඇමැති වර්ජනයයි.

අපි 14 වැනිදාට කලින් කැබිනට් සංශෝධනයක් කරන්න බලා‍පොරොත්තු වෙනවා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන පැවැසීය.

එසේ වුවද එජාප ඇමැතිවරුන් කිහිප දෙනෙක් අදහස් දක්වමින් අගමැතිට විරුද්ධව විශ්වාසභංග යෝජනාවට පක්ෂව ඡන්දය ප්‍රකාශ කළ කැබිනට් ඇමැතිවරු හය දෙනකුට නැවත ඇමැතිකම් ලැබෙනවාට අකමැති බව ප්‍රකාශ කළහ.
කෙසේ වෙතත් අලුත් අවුරුද්දෙන් පසු අමාත්‍ය මණ්ඩල සංදේශ සාකච්ඡා කිරීම සඳහා නැවත කැබිනට් මණ්ඩල හමුව පැවැත්වීමට නියමිතව ඇත්තේ ලබන 24 වැනි අඟහරුවාදාය. ඒ අනුව ලබන සතියේ කැබිනට් හමුවක් නොපැවැත්වෙනු ඇත. කෙසේ වෙතත් කැබිනට් හමුව අවසන් වූ වහාම ජනාධිපතිවරයා තමන්ගේ කාර්යාලයට ගියේය. මුලින්ම වජිර අබේවර්ධන ඇමැතිවරයා ජනාධිපතිවරයා හමුවීමට ජනාධිපතිගේ කාර්යාලයට ගිය අතර ඉන් මොහොතක් ගත වන විට අගමැති රනිල් වික්‍රමසිංහද ජනපති හමුවීමට පැමිණියේය.

අනතුරුව ජනපති මෛත්‍රිපාල සිරිසේන සහ අගමැති රනිල් වික්‍රමසිංහ අතර පැයකට ආසන්න කාලය ඉතා රහසිගත සාකච්ඡාවක් පැවැත්විණි. විශ්වාසභංග යෝජනාවට පක්ෂව ඡන්දය දුන් ශ්‍රීලනිප මැති ඇමැතිවරුන් 16 දෙනාගෙන් කැබිනෙට්ටුව නියෝජනය කරන ඩබ්ලිව්.ඩී.ජේ. සුසිල්, අනුර, එස්.බි, චන්දිම සහ දයාසිරිට නැවත ඇමැතිකම් ලබාදීමට එජාපයේ විරෝධතාවක් ඇතැයි රනිල් කීවේය. ශ්‍රීලනිප මධ්‍යම කාරක සභාව බදාදා රැස්වී ඒ සම්බන්ධයෙන් අවසන් තීන්දුවක් ගන්නා බව මෛත්‍රි රනිල්ට පැවසීය. ඒ අනුව බදාදා දහවල් හෝ බ්‍රහස්පතින්දා කැබිනට් සංශෝධනයක් සිදුකිරීමට අවශ්‍ය වටපිටාවක් සැකසෙමින් තිබිණි. කැබිනට් සංශෝධනයට මුල පිරුණේ ඒ අනුවය. ජනාධිපතිවරයා ‍පොදු රාජ්‍ය මණ්ඩල නායක හමුවට සති අන්තයේ ලන්ඩන් සංචාරයකට යාමට නියමිත වූ බැවින් එය තවත් ඉක්මන් විය.

නාමල්ගෙ උපන් දිනේ දා චානක අහපු රහස

පසුගිය ඉරිදා හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මීගමුව බන්ධනාගාරය බලා ගියේය. ඒ බන්ධනාගාරගතව සිටින ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රි සනත් නිශාන්තගේ සුව දුක් බැලීම සඳහාය.

මහින්ද එහි එන ආරංචියට රෝහිත අබේගුණවර්ධන, නිමල් ලන්සා, ඉන්දික අනුරුද්ධ මන්ත්‍රීවරුද පැමිණ සිටියහ.
ආ .. සනත් කොහොමද ? මහින්ද සනත් දුටු සැණින් ඇසුවේය.
අවුලක් නෑ සර් සනත් කීවේය.

ඔයා දිගින් දිගටම කෑ ගැහුවා නේ. ඒ හින්දා ඉතිං මේවා බලා‍පොරොත්තු වෙන්න සිද්ධ වෙනවා මහින්ද සනත්ට කීවේ ආණ්ඩුව විවේචනය කිරීමේ ආදීනව ගැනය. ආ මම අහන්න හිටියේ අර හලාවත ප්‍රාදේශීය සභාවට ඔයා පත් කරපු කෙනාට මොකද වුණේ කියලා යැයි මහින්ද ඇසුවේය.

සර් මම දැම්මේ හොඳම කෙනා සනත් කීවේය. මහින්ද ඊළඟට ඇසුවේ ඇප ඉල්ලා මෝසමක් ඉදිරිපත් කළාද නැද්ද කියාය.
මෝසමක් ඉදිරිපත් කරා සනත් කීවේය.
මේ වෙලාවේ අපෙන් පළිගන්නයි බලාගෙන ඉන්නෙ. ඒ නිසා අවුරුද්ද පහුවෙනකොට මේ අය අපේ මිනිස්සුන්ගෙන් තවත් පළිගන්න බලාවි. හැබැයි මිනිස්සු දන්නවා ජනමතය පළිඅරගෙන නවත්වන්න බැහැ කියලා මහින්ද කීවේය.
බන්ධනාගාර පරිශ්‍රයෙන් පිටතට එන මහින්දගෙන් මාධ්‍යවේදින් ප්‍රශ්න කිහිපයක් විමසුවේය.

මට තේරෙන්නෙ ජනපතිගෙ බලතලත් දැන් අගමැති අරගෙන කියලයි මහින්ද සිනාසෙමින් උත්තර දුන්නේය.
එදින උදෑසනම විජේරාම නිවසට බන්දුල, රංජිත්, වක්කුඹුර ඇතුළු ඒකාබද්ධ මන්ත්‍රීවරු පිරිසක් පැමිණ සිටියහ.
විශ්වාසභංගයට පක්ෂව ඡන්දෙ දෙන්න ආපු එජාපෙ මන්ත්‍රී කණ්ඩායමට අවසාන මොහොතෙ තීරණය වෙනස් කරන්න කිව්වෙ අපිමයි. මෛත්‍රී වෙනස් වුණේ නැත්නම් තීරණය වෙනස් වෙනවා මන්ත්‍රීවරු මහින්දට පැවැසූහ.
ඕක මම කලින්ම කිව්වා. විශ්වාසභංගෙ දිනවනවද පරද්දවනවද කියලා තීරණය තියෙන්නෙ මෛත්‍රී අතේ කියලා මහින්ද කීවේය.

මේ පිරිස ගෙනා තවත් වැදගත් පණිවුඩයක් වූයේ අලුත් අවුරුද්දෙන් පසු පාර්ලිමේන්තුවට ඉදිරිපත්වීමට යන විපක්ෂ නායක ආර්. සම්බන්ධන්ට එරෙහි විශ්වාසභංග යෝජනාවය.

එහා පැත්තෙන්ම සම්බන්ධන්ට විශ්වාසභංගයක් එන්න යනවා යැයි මන්ත්‍රීවරු මහින්දට කීහ.
සතිය ආරම්භයේදීම මහින්ද සිය පවු‍ලේ සාමාජිකයන් සමග ගම්බිම් බලා ගියේය. නාමල්, රෝහිත පුතාලා සමග මහින්ද තංගල්ල මුහුදු වෙරළේ පසුගිය සඳුදා විවේකීව ගත කළේය. මහින්ද සමග රැල්ල පාගන නාමල්, සහ මිතුරු මිතුරියන් සමග රෝහිත සෙල්ෆි ඡායාරූපයක් ද ගත්තේය.  එදින රාත්‍රියේ කාල්ටන් නිවස ලක ලෑස්ති වෙමින් තිබුණේ පසුදිනට යෙදෙන නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයාගේ තිස් දෙවැනි උපන් දිනය සඳහාය. සඳුදා මැදියම් රැය නිමා වී අඟහරුවාදා උදාවෙත්ම කාල්ටන් නිවසේ මැද සාලයට රැස්වූ නාමල්ගේ ඥාතින් සහ මිතුරෝ කේක් ගෙඩියක් කපා උපන් දිනය සැමැරීමට නාමල්ට ඇරයුම් කළහ. මහින්ද මෙන්ම ශිරන්ති මෙම උපන්දින සාදයට එක්ව සිටියහ. නාමල් සියලු දෙනාට කේක් කැව්වේය.

අරක මේ අවුරුද්දෙවත් වෙයිද? ඩී.වී චානක නාමල්ගෙන් ඇසුවේ විවාහය ගැනය.
උඹටනේ කලබ‍ලේ උඹ කරගනින්කො නාමල් සිනාසෙමින් කීවේය. මම නම් ඔයාට පස්සෙ ඩී.වී කීවේය.  මහින්දත් මේ සංවාදය දෙස බලා සිනාසෙමින් එතැනින් ඉවත්ව ගියේය.

වජිර අජිත් හැප්පුණේ ඇයි?

විශ්වාසභංග යෝජනාව ඉදිරිපත් වූ අවස්ථාවේ අගමැතිට එරෙහිව එජාපය තුළම ඇති වූ කැරැල්ල මැඬපැවැත්වීමට හැකිවූයේ පූර්ණ පක්ෂ ප්‍රතිසංවිධානයක් අප්‍රේල් 7 සහ 08 දෙදින තුළ සිදුවන බවට ඉදිරිපත් වූ ‍පොරොන්දු නිසාය.

ඒ අනුව පසුගිය 07 වැනිදා අරලියගහ මන්දිරයේදී අගමැති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් අදාළ පක්ෂ ප්‍රතිසංවිධාන හමුව පැවැත්විණි. පක්ෂ නායකත්වය සම්බන්ධයෙන් මෙහිදී කතාබහක් ඇතිවූයේ අජිත් පී. පෙරේරාගේ අදහස් ඉදිරිපත් කිරීමත් සමගය. මංගල සමරවීර ද ඒ සම්බන්ධයෙන් අදහස් පළ කළේය. නමුත් එජාප ව්‍යවස්ථාව අනුව අගමැති ධුරය දරන පුද්ගලයා පක්ෂ නායකයා ලෙස කටයුතු කරන බව දක්වා තිබෙන නිසා ඉන් අනතුරුව මෙම හමුවේ අවධානය යොමු වූයේ පක්ෂ මහ ‍ලේකම් ධුරය ඇතුළු සෙසු තනතුරු වෙනස් වන ආකාරය ගැනය. ඒ අනුව පක්ෂ මහ ‍ලේකම් පත් කිරීම සම්බන්ධයෙන් සංවාදයක් කරළියට ආවේය. දේශපාලන මණ්ඩලයක් පත් කොට ඒ ඔස්සේ පක්ෂ මහ ‍ලේකම් තනතුරට තෝරාපත් කර ගත යුතුයැයි අජිත් පී. පෙරේරා කීවේය. ඊට ළඟින් යන අදහසක් ඉදිරිපත් කරමින් හරින් ප්‍රනාන්දුද එය තහවුරු කළේය.

කෙසේ වෙතත් තවත් මැති ඇමැති පිරිසකගේ අදහස වූයේ දේශපාලන මණ්ඩලය රහස් ඡන්දයකින් පත් කළ යුතු බවය. රනිල් එය පැහැදිලි කළේ කමිටුවක් ඔස්සේ කළ යුතු බවයි. කෙසේ වෙතත් ඒ අනුව මුලින්ම දේශපාලන මණ්ඩලයක් පත් කර ගැනීමට මන්ත්‍රීවරුන් අතර ඡන්ද විමසීමක් සිදු කළ යුතු බවට අදාළ හමුවේදී ඒකමතිකව තීරණය කෙරිණි. මංගල සමරවීර සහ වජිර අබේවර්ධනගේ අදහස වී තිබුණේ පක්ෂයේ මහ ‍ලේකම් තනතුර පක්ෂ නායකයාට තෝරා ගැනීමට අවස්ථාව සැලසිය යුතු බවයි.

පක්ෂයේ මහ ‍ලේකම් පත්කරන එක පක්ෂ නායකයාගෙ අයිතියක්. එදා ජේ.ආර්. ජනාධිපතිතුමා තමන්ගෙ ‍ලේකම් විදියට තෝරාගත්තෙ ආනන්ද තිස්ස අල්විස්, දහම් විමලසේන, හර්ෂ අබේවර්ධන කී වජිර, එසේ ප්‍රේමදාස, ඩී.බි සහ රනිල් දක්වාම පක්ෂ මහ ‍ලේකම්වරු තෝරාගත් හැටි විස්තර කළේය.

නායකකමයි අගමැතිකමයි බෙදෙන්න බැහැ වජිර කී කතාව මංගල නැවත තහවුරු කළේය. මෙම කතාවේදී වජිර, අජිත් පී. පෙරේරාට චෝදනාවක් කළේය. පළාත් පාලන මැතිවරණය අජිත් පීලට භාරදුන්නානේ. පක්ෂෙට වෙච්ච දේ පේනවනේ. මේක චෝදනාවක් නමෛයි. වෙච්ච දේ මම කියන්නෙ යැයි වජිර කීවේය. මේ කතාවට කේන්ති ගිය අජිත් පී. පෙරේරා වහාම වජිරට උත්තර බැන්දේය.

ඒකෙ වගකීම මම නමෛයි ගන්න ඕන. ඒකෙ වගකීම ගන්න ඕන අගමැතිතුමායැයි අජිත් පී පෙරේරා කීවේය.
වැරදුණාම නායකතුමා. හරිගියාම භාරගත් කෙනා යැයි පසුපෙළ සිටි මන්ත්‍රීවරයෙක් කෑ ගැසුවේය.  මේ අවස්ථාවේ වජිර තවත් වැඩක් කළේය. ඒ පක්ෂ ප්‍රතිසංවිධානයට අදාළ වාර්තාවක් මංගලට සහ ඉරාන්ට භාරදීමය. නිහඬව සිටි සජිත් ප්‍රේමදාස එකවරම අදහස් පළකරන්නට වූයේ සවස 4ට පමණය.  නියෝජ්‍ය නායකයෝ කීප දෙනෙක් පත්කරනවා නම් මම ඉල්ලා අස්වෙනවා සජිත් කීවේය.  අනතුරුව ඊට කිසිවෙකුත් අදහස් පළ කරන්නට ගියේ නැත.

අවසානයේ දේශපාලන මණ්ඩලය පත්කිරීම සඳහා ඡන්ද විමසීම පැවැත්විණි. අරලියගහ මැදුරට පැමිණි සියලු එජාප මැති ඇමැතිවරුන්ට නාම ‍ලේඛනයක් ලකුණු කළ ඡන්ද පත්‍රිකාවක් ලැබිණි. එක් මන්ත්‍රිවරයකුට තවත් දස දෙනකුට කතිරය ගැසිය හැකි මෙම ඡන්ද විමසීම අපූරු එකක් විය. අශෝක්, ජේ.සී, නලීන්, තමන්ට ඡන්දය ලබා ගැනීමේ කැම්පේන්ද කළේ විහිළුවට තබාය. මටත් ඡන්දයක් දීපන් යැයි කියමින් තුෂාර ඉඳුනිල් ළඟට ආ නලින් ඇතුළු මිතුරෝ ඔහුගේ පත්‍රිකාවේ කොටු කැපුවෝය. අවසානයේ ලබන 30 වැනිදාට පෙර සිදුවන එජාප ප්‍රතිසංවිධාන දේශපාලන මණ්ඩලය පත්විය. අදාළ නිර්දේශ ඒමට පෙරම සභාපති මලික් සමරවික්‍රම, මහ ‍ලේකම් කබිර් හෂීම්, භාණ්ඩාගාරික ඉරාන් සිය තනතුරුවලින් ඉල්ලා අස්වූහ. දැන් නියෝජ්‍ය නායක, මහ ‍ලේකම් ‍පොරයක් පක්ෂ අභ්‍යන්තරයට පැමිණ ඇත්තේ ඒ අනුවය.

රත්නපුරේ ‍පොහොට්ටුවෙන්ම පවිත්‍රාට බාල්දියක්

විශ්වාසභංගයට පක්ෂව ඡන්දය දුන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැති ඇමැතිවරු 16 දෙනා සහ යහපාලන ආණ්ඩුව සම්බන්ධයෙන් අවසන් එකඟතාවකට එළැඹීමට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන පසුගිය සඳුදා විශේෂ මධ්‍යම කාරක සභාවක් කැඳවා තිබුණේය.

මෙම සාකච්ඡාව ඉතා තීරණාත්මක වූයෙන් ශ්‍රීලනිප ඇමැතිවරු 16 දෙනාගේ කණ්ඩායම එදින උදෑසනම ඇමැති ලක්ෂ්මන් යාපාගේ කොළඹ නිවසට රැස්වී විශේෂ තීන්දු තීරණ කිහිපයකට එළැඹිණි. ඒ එදින සවස පැවැත්වෙන මධ්‍යම කාරක සභාවට එක්වී ඉදිරිපත් කරන අදහස් සම්බන්ධයෙනි. ඇමැති ධුරවලින් ඉවත් වී විපක්ෂයේ අසුන් ගැනීමට ඉල්ලීම, තවදුරටත් පාර්ලිමේන්තුවේ ජනපතිට සහාය දැක්වීම, ශ්‍රීලනිපය අතහැර නොයෑම ඇතුළු එකඟතා කිහිපයකට එළැඹි ඔවුහු ඒ සම්බන්ධයෙන් ජනපතිට ඉදිරිපත් කිරීමට ලිපියක්ද සකස් කළහ. සවස 7ට ජනාධිපති නිල නිවසේ පැවැති ශ්‍රීලනිප මධ්‍යම කාරක සභාව ඔවුන් පැමිණියේ අදාළ ලිපියද රැගෙනය.

මේ වගේ තත්ත්වයක් උඩ තවදුරටත් ආණ්ඩුවේ ඉඳලා වැඩක් නැහැ. අපට ආණ්ඩුවෙන් ඉවත්ව යන්න අවසර දෙන්න කියලයි අපි ඉල්ලන්නෙ අනුර ප්‍රියදර්ශන කීවේය. අනතුරුව එස්.බි දිසානායක අදාළ යෝජනාව සහතික වන අයුරින් කතා කළේය. එජාපය එක්ක ආණ්ඩු කරන්න ගිහිං අපේ පක්ෂයට ඉතා අවාසි සහගත තැනකට වැටිලා ඉන්නෙ යැයි එස්.බි කීවේය. චන්දිම සහ ලක්ෂ්මන් යාපා එම අදහස සනාථ කළහ.බැඳුම්කර වංචාවට විරුද්ධවයි අපි විශ්වාසභංගයට ඡන්දෙ දුන්නෙ. අපි කළ වැඩේ වැරදිද? ලක්ෂ්මන් යාපා විමසුවේය.

නමුත් මහින්ද අමරවීර සහ දුමින්ද දිසානායකගේ අදහස් ඊට ප්‍රතිවිරුද්ධ වූහ. සම්මුතියක් යටතේ අපි ආණ්ඩුවක ඉන්නවා නම් අප සාකච්ඡාවෙන් විසඳාගත යුතු ගැටලු තියෙනවා. ආණ්ඩුවේ ඉඳගෙන ඒක කරන්න පුළුවන් මහින්ද අමරවීර කීවේය.

අනතුරුව චන්ද්‍රිකා කුමාරතුංග හිටපු ජනපතිනිය එජාපයට පක්ෂව අදහස් ඉදිරිපත් කරන්නට වූවාය. යහපාලන ආණ්ඩුවට ජනතා වරමක් ලැබුණා. අපි ඒ ජනවරම ඉදිරියට ගෙනියන්න ඕන චන්ද්‍රිකා කීවාය.

ඩිලාන් ඇතුළු මන්ත්‍රීවරු චන්ද්‍රිකාගේ අදහසට ප්‍රතිවිරුද්ධ අදහස් මතු කළහ. ශ්‍රීලනිප මහ ඇමැතිවරුන්ද එහිද අදහස් මතු කළහ.

සුනාමියක් කියලා කිව්වට විශ්වාසභංගෙ සුළි සුළඟක් විතරයි සරත් ඒකනායක කීවේය. අපට ශ්‍රීලනිපය විදියට කැබිනට් මණ්ඩල හමුව වර්ජනය කරන්න පුළුවන්. සුසිල් දැනටමත් ඒක කරනවා මන්ත්‍රීවරු අදහස් පළ කළහ. ඒක ඔයාලගේ තීරණයක්. හැබැයි 41 දෙනාම එකට ඉඳගෙන තීන්දුවක් ගන්න අපි බදාදා හමුවෙමු මෛත්‍රී කීවේය. මෙම හමුවෙන් අනතුරුව 16 දෙනාගේ කණ්ඩායම නැවත අනුරයාපාගේ නිවසට ගොස් තවත් සාකච්ඡාවක නිරත වූහ. ඔවුන්ගේ අදහස වූයේ මේ මොහොතේ තනතුරු අතහැර විපක්ෂයේ වාඩිවීමට තීන්දු කිරීම වැදගත් බවය.

මේ අතර රත්නපුරයේ මවුන්ට් ගැප් හෝටලයේදී පසුගිය ඉරිදා විශේෂ සාකච්ඡාවක් පැවැත්විණි. ඊට එක්ව සිටියේ ශ්‍රී ලංකා ‍පොදුජන පෙරමුණේ රත්නපුර පළාත් පාලන ආයතන නියෝජිතයන් සහ රංජිත් සොයිසා, ජානක වක්කුඹුර, ප්‍රේමලාල් ජයසේකර, වාසුදේව නානායක්කාර මන්ත්‍රීවරුන්ය. එහිදී වඩා කතාබහට ලක්වූයේ රත්නපුර නගර සභාවේ බලය පිහිටුවීමේදී ‍පොදුජන පෙරමුණේ මතයට පිටින් යමින් පක්ෂ ස්ථාවරය බිඳ දැමූ මන්ත්‍රීවරු දෙදෙනා පක්ෂයෙන් නෙරපා දැමීම සම්බන්ධයෙනි. අදාළ එකඟතාව එදිනම හිටපු ජනපති මහින්ද රාජපක්ෂට ඊ මේල් පණිවිඩයකින් දැන්වීමට මන්ත්‍රීවරු හතරදෙනා පියවර ගත්හ. එම තීන්දුව ක්‍රියාත්මක නොවන්නේ නම් පවිත්‍රා වන්නිආරචිචි සහ කාංචන ජයරත්න පක්ෂයෙන් නෙරපා දැමීමට පියවර ගත යුතු බවත් ඔවුන් පක්ෂයේ තබා ගන්නේ නම් වාසු, රංජිත් ජානක සහ ප්‍රේමලාල් පක්ෂයෙන් ඉවත්වීමටත් තීන්දු කළහ.

රමේෂ් වරෙල්ලගම