සූ සැට කලාවනට අයත් වූ ‍ජ්‍යොතිර් ඥානය පිළිබඳව ජාතියම අවධානයෙන් සිටින සුවිශේෂ අවස්ථාව වන්නේ සිංහල අලුත් අවුරුද්දයි. අලුත් අවුරුද්ද සමරන්නන් විසින් ‍ජ්‍යොතිෂයේ සමීපතම නෑයා ලෙසත් විටෙක පුත්‍රයකු ලෙසත් ගිනිය හැකි වාස්තු ශාස්ත්‍රය පිළිබඳවද යම් අවධානයක් යොමු කිරීම අනුචිත නොවේ. ඒ අනුවත් මේ සමය තරමක් හෝ විවේකී මනසකින් තම දෙස සහ තම නිවස හා ගෙවත්තේ ගහකොළ දෙස සුවිසෙස් සැලකිල්ලක් යොමුවන කාලයක් බැවිනුත් මෙතැන් සිට යහපත් අනාගත දිවිපවෛතකට යොදාගත හැකි වාස්තුමය පිළිවෙත් හා පවත්නා දෝෂ දුරලීමට උචිත පිළියම් පිළිබඳවත් මෙසේ අවධානය යොමු කරමු.

වාස්තු ශාස්ත්‍රය පදනම් වන්නේ අට දිශාව හා පංච මහා ධාතූන් සමග උචිත ගෘහ අංග ගළපා ගැනීමෙනි. ඒ අනුව උතුර, දකුණ, නැගෙනහිර හා බටහිර යන ප්‍රධාන දිශා හතරත් ඊසාන, ගිනිකොන, නිරිත හා වයඹ යන අනු දිශාත්, ඒ ඒ දිශාවනට අයත් ධාතූන්ගේ ගුණයන් හා සාලය, නිදන කාමර, මුළුතැන්ගෙය, වැසිකිළි ආදී ගෘහාංගයන් ගළපා පිහිටුවීම සිදුවෙයි. ආ‍පෝ ධාතුව හෙවත් වැගිරෙන සුළු ගුණයට අයත් දිශාව ඊසානයයි. උණුසුම් බව හෙවත් තේජෝ ගුණයට අයත් දිශාව ගිනිකොනයි. නිරිත අයත් වන්නේ තද බව සහිත පඨවි ධාතුවටයි. හමා යෑම හෙවත් චලනය දක්වන වායෝ ධාතුවට වයඹ දිශාව අදාළ වේ. නිවසේ මධ්‍යය ආකාශ ධාතුව හෙවත් හිස් බවට අයත් වන බව වාස්තු ශාස්ත්‍රයේ විග්‍රහ වෙයි.

මේ ගුණයන් සලකා ඊසානයට ළිං හෑරීමටත් ගිනිකොනට ළිප පිහිටුවීමටත්, සිරිතට ප්‍රධාන නිදන කාමරය වැනි බරැති, වැසුණු, බෙදැති බවක් අවැසි දේත්, ඉවතට යැවිය යුතු හමා යන ගුණයෙන් යුතු වයඹට අමුත්තන්ගේ නිදන කාමර, විවාහ ප්‍රමාද වූ කතුන්ගේ නිදන කාමරත්, නිවසේ මධ්‍යය හැකිතාක් නිදහස් විවෘත ස්ථාන පිහිටුවීමත් උචිත වෙයි. මේ මූලික පදනමේ පිහිටි විට නිවසේ අනුගමනය කළ යුතු අලුත් පිළිවෙත් අපට වැටහීමට පටන්ගනී. නූතන බටහිර විද්‍යාවේ සිද්ධාන්ත ඇසුරෙන් 1911/12 කාලයේදී පර්යේෂණාත්මකව හඳුනාගත් අන්තරීක්ෂ ශක්තිය පිළිබඳ අදහසත් මේ ප්‍රායෝගික ප්‍රතිපදා ගොඩනැගීමෙහිලා අපට අතිමහත් සහායක් සපයයි.

ඒ අනුව නිවසේ ගෘහ භාණ්ඩ පිහිටුවීමේදී නිරිත දිශාවට බරැති, විශාල ඒවා තැබිමටත් ඊසානයේ සරල, සැහැල්ලු, උසින් අඩු ගෘහභාණ්ඩ පිහිටුවීම මේ දිනවල නිවසේ සිදුකරන වෙනස්කිරීම්වලදී සැලකිල්ලක් යොමු කිරීම වටී. එවිට අන්තරීක්ෂ ශක්තිය පහසුවෙන් ඊසාන දිශාවෙන් ඇතුළු වී නිරිත කොටසේ හොඳින් තැන්පත් වීම පහසු වෙයි.

අලුත් අවුරුද්දේ කිරි ඉතිරවීමේ සිරිතක් ඉඳුරාම සිදුවන බැවින් එහිදී ක්‍රියා කළ යුතු අයුරු පිළිබඳවද යමක් කිව යුතුයි. නිවසේ මධ්‍යය හෙවත් බ්‍රහ්ම බින්දුව මත මෙකී ගිනි ඉතිරවීම හෝ ගිනි දැල්වීම හෝ නොකළ යුතු වෙයි. මෙහිදී නිවසේ මධ්‍යයෙන් ගිනිකොනට හෝ වයඹට ළංකර ඉහත චාරිත්‍රය සිදු කිරීම කළ යුතු වෙයි.

නිදන කාමරවල ඇති සයනවල (ඇඳවල) හිස පැත්ත හැකි සෑමවිටම දකුණු දිශාවට හැරවීම මේ සමයේ පහසුවෙන් කළ හැක්කකි. එවිට ‍පොළොවේ චුම්භක ක්ෂේත්‍රයත් ශරීරවල චුම්භක ක්ෂේත්‍රත් මනාව ගැළපී ක්‍රියා කරනු ඇත. එසේ නොකළ හැකි අවස්ථාවලදී නැගෙනහිර දිශාවද අනුචිත නොවේ. බටහිර දිශාවට හිස දමා නිදාගත්තද උතුරට හිස නොදමන පරිදි සියලු සයන සැකසීම ඉක්මන් ප්‍රතිඵල ගෙන එන වාස්තු පිළිවෙතකි.

නව විද්‍යුත් උපකරණ ආදිය මිලදී ගන්නා කාලයක් බැවින් නිවසේ ඊසාන, මධ්‍යය හා නිරිත පෙදෙස්හි ඒවා නොපිහිටුවීමටත් හැකි නම් උතුරු හා නැගෙනහිර දිශාවන්ද අග්නි මූලයන් හා විද්‍යුත් මූලයන්ගෙන් තොර කර තැබිම උචිත වෙයි. මෙයින් නිවසේ ගලා යන විද්‍යුත් මීදුම (Electro Smog) අවම වී කායික, මානසික, භාවමය හා ආධ්‍යාත්මික සහනයක් උදාවනු ඇත.

ජනක ප්‍රියන්ත දයාරත්න priyanthavastu@gmail.com සිවිල් ඉංජිනේරු, විශ්ව විද්‍යාල බාහිර කථිකාචාර්ය විද්‍යාත්මක වාස්තු පර්යේෂණ ආයතනයේ ප්‍රධාන පර්යේෂක
ජනක ප්‍රියන්ත දයාරත්න priyanthavastu@gmail.com සිවිල් ඉංජිනේරු, විශ්ව විද්‍යාල බාහිර කථිකාචාර්ය විද්‍යාත්මක වාස්තු පර්යේෂණ ආයතනයේ ප්‍රධාන පර්යේෂක

ගෙවතු හා උද්‍යාන ආදිය පිළිසකර කරනු ලබන කාලයක් බැවින් ඊසාන, උතුරු නැගෙනහිර දිශාවල ඇති උසින් වැඩි ගස්වල කරටි ආදිය කප්පාදු කිරීමටත් හිරු එළිය නොවැටෙන ඝන වදුළු සහිත මිදු‍ලේ කොටස් එළිපෙහෙළි කිරීමටත් කටයුතු කළ යුතු වේ. එසේ නොකළ හැකි සවස් යාමයේ වැඩි අඳුරක් ඇති කරන පෙදෙස්වල රෑ කුමාරි, ගැට පිච්ච, සේපාලිකා වැනි රෑට පිපෙන සුවඳ මල් පැළ සිටුවීම ඉතා සැලකිල්ලෙන් කළ යුතු වේ.

මතෛක් භාවිත වූ නිදන කාමර ආදිය නිසි දිශාගතව එනම් ගෘහ මූලිකයන් නිරිතට බර වන පරිදිත් අධ්‍යාපනයේ යෙදී හිඳින්නන් ඊසානයට බර වන පරිදිත් කම්මැලි සෝමාරි ගති ඇති අය හා ගැහැනු ළමයින් ගිනිකොනට වන ලෙසත් විවාහ ප්‍රමාද වූ ගැහැනු ළමයින් වයඹට ළංවන පරිදිත් සැකසීම උචිත වෙයි.

නිවසේ කවර වැසිකිළියක් වුව වියළි පිරිසිදු අයුරෙන් තැබිමටත් දොර වසා තැබිමටත් කටයුතු කිරීමට ඉටාගන්න. එසේම වැසිකිළිය සහිත නාන කාමරවල ස්නානය කරන කොටස වෙන්කර තැබිමට හැකි පරිදි නව සැකසුම් සිදු කිරීමද යෝග්‍යය.

මෙයට අමතරව නිවසේ වාස්තු දෝෂ පිළිබඳව විවිධ අය විසින් ගෘහාංග කඩා ඉවත් කිරීමටත් නව කොටස් ඉදිකිරීමටත් කරන යෝජනා වෙනුවට පිරමීඩ ආදී මෙවලම් ඇසුරෙන් බලවත් අන්තරීක්ෂ ශක්තියක් නිවසේ ඇතිකර ගැනීමටත් මෙය උචිතම කාලයකි.