සියලුම ගැමියන්ගෙන් අවුරුදු තෑගි ලැබූ දෙනකුගෙන් අපේ තාත්තා ද එකෙකි. අනිකා උපාලිස්හාමි වෙදාය. අලුත් අවුරුද්දට දෙදිනකට පෙර සිට තෑගි ගෙන එන්නෝ පෙරහැරක් මෙන් පැමිණෙති. බොහෝ දෙනෙකුගේ අවුරුදු තෑග්ග වනුයේ කැවිලි බන්දේසියකි. ගමේ වෙළෙන්දෝ තුන් හතර දෙනා හාල්, සිල්ලර බඩු, රෙදිපිළි හා කැවිලි බන්දේසියක්ද බැගින් ගෙනෙති. හාල් ගෝනියක් හා ලූනු, මිරිස්, සීනි, උම්මලකඩ ආදිය බර බාගයක පටවාගෙන අවුරුද්දට දවසකට පෙර තාත්තා දකින්නට ආ ලොකු වෙළෙන්දෙක් ද විය. මසුන් අල්ලන්නන් ලොකු බලයකු දෙන්නකුද බැගින් ගෙනෙති. එළවළු ගුරුන්නාන්සේගේ තෑග්ග එළවළු පෙට්ටියකි.” හෙළයේ මහගත්කරු මාර්ටින් වික්‍රමසිංහයන්ගේ ‘උපන් දා සිට’ ග්‍රන්ථය, 4වැනි පරිච්ජේදය, 23 වැනි පිටුව.

මහ ගත්කරු එදා අලුත් අවුරුදු අසිරියක් වනනු ලැබ ඇත්තේ එසේය. මෙවරද 2018 අලුත් අවුරුද්දද හෙට අනිද්දා උදාවන්නේය. සිංහල අවුරුද්දේ එක් ප්‍රධාන චාරිත්‍රයක් වන්නේ තෑගි බෝග ලබාදීම සහ නැගම් යාමය. එදා වික්‍රමසිංහයන් ලියූ එම වදන්වල ඇත්තේ පවසා නිම කළ නොහැකි අපූර්ව සුන්දරත්වයකි. ඔහු ‘උපන්දා සිට’ ලියා ඇත්තේ මෙයට වසර 55කට පෙර එනම් 1961 වසරේදීය. අපගේ මනසේ සදා ජීවත්වන මහ ගත්කරුවාණන්ගේ 125 වැනි ජන්ම සංවත්සරයද යෙදුණේ මෙයට වසර දෙකකට පෙරදීය. සිංහල අවුරුදු මතකයන් ගැන විවිධ කතාකාරයෝ රැසක් තම ‍පොත්වල ලියා තබා ඇත. එහෙත් වික්‍රමසිංහයන්ගේ සැබෑ මතකය අසලකටත් ඒ එකදු කතාකාරයකුටවත් ළංවිය නොහැක. ඒ තරමටම එම වදන් මිහිරිය, වශීකෘතය.

“ගුරුතුමා ගෙදරට ඇවිත් මගේ සහෝදරියන්ට ඉගැන්නුවේය. මේ සියලු ඉගැන්නුම් සඳහා ඔහු අපෙන් අවුරුද්දකට වරක් ලැබුවේ හාල්, ලුණු, මිරිස්, උම්මලකඩ, අල, රටලූනු සහිත මල්ලක්, චන්ද්‍ර පට සරොමක්, සුදු රෙදි කච්චි බාගයක් හා කැවුම්, කොකිස්, මුංගෙඩි ආදියෙන් පිරුණු බන්දේසියක් ද පමණි. අප අවුරුදු කැවිලි යැවූ බන්දේසිය අල්මාරියකින් එළියට ඇද ගන්නා ලද ලාච්චුවක් විය. ඒ ලාච්චුව වෙත නෑයන් හා මිතුරන් යන මොවුන්ගේ ගෙදරවලට පිළිවෙළින් ගොස්, යළිත් අල්මාරියේ පහළ තට්ටුවේ විවරයට පිවිසෙයි.”

අතිශය අපූරු සුන්දර කතාවක් එළිපෙහෙලි වන්නේ මෙතැනදීය. එය නම් එදා කැවිලි බන්දේසිය වූයේ අල්මාරියක ලාච්චුව වීමය. අද වත්මන් අවුරුදු සමයේදී බන්දේසියට භාවිත වන්නේ වීදුරු පිඟන් හෝ ‘ප්ලාස්ටික්’ පිඟන්ය. එහෙත් එදා වූ සිරිත සැබැවින්ම රසඳුනක්ය. අද නිවසක ලාච්චුවක් සොයා ගැනීමට නම් අල්මාරියක් සොයාගත යුතුය. එදා අල්මාරි සෑදුවේ වටිනා, ශක්තිමත් දැවයෙනි. එහෙත් අද නිවෙස්වල බොහෝවිට ඇත්තේ යකඩ අල්මාරිය. කෙසේ හෝ වික්‍රමසිංහයන්ගේ නිවසේවූ ‘අල්මාරි ලාච්චුව‘ අවුරුදු සමයේ ගම වටා ගොස් නැවත අල්මාරියටම පිවිසෙයි.
“අවුරුදු තෑගි පිළිගැනීමෙන් ලත් සන්තෝෂයට නොඅඩු සන්තෝෂයක් අම්මා ඒ තෑගි ගෙන එන්නන්ට සංග්‍රහ කිරීමෙන් ලැබුවාය. උදය වරුවේ සූදානම් කරන ලද තේ මේසය අස් කරන්නේ දවල් කෑම කන වෙලාවට මඳක් කලිනි. අනතුරුව කෑමත් කැවුම් කොකිස්, මුං ගෙඩි, අතිරස හා කෙසෙල් ගෙඩි ඇතිව සූදානම් කෙරෙන තේ මේසය රෑ බත් කන වේලාව ළංවන තෙක් අස් නොකරන ලදී. තේ, කෝපි වත් කරනු පිණිස උණු කෙරෙන වතුර හැළිය ළිපෙන් බානු ලබන්නේ රෑ නින්දට පෙරය.”

මේ කතාන්දර මොන තරම් මිහිරිද? අප සිත් වසඟයෙන් වෙලා ගනිද්ද?
මහගත්කරුවාණන්ගේ ‘උපන්දා සිට’ මම දස වතාවක්වත් කියවන්නට ඇතැයි සිතමි. එය ඔහුගේ බාලවිය, තරුණ විය හා මැද වියෙහි අතීත ආවර්ජනයකි.
“තෑගි කරෙන් හෝ හිසින් හෝ ගෙනෙන වැඩකාරයෝ ද අම්මාගෙන් සංග්‍රහ ලබති. ඔවුන්ගෙන් එකෙක් කුස්සිය ඉස්තෝප්පුවේ තබන ලද පහත් පුටුවක ද තවත් එකෙක් පෙරළන ලද වංගෙඩිය උඩද වාඩිවී අත්ලට ගත් තසිමෙහි ඇති කැවිලි කති. කාමරයෙන් අඩක් පිරෙන තරම් කැවිලි, හාල්, සිල්ලර බඩු, කෙසෙල් කැන් හා එළවළු ද අවුරුදු කෑම වශයෙන් අපට ලැබිණි. දිළිඳු ගැමියන් ගෙනෙන කැවිලි බන්දේසි පිළිගන්නා අම්මා හාල් සේරුවක්, දෙකක් හා එළවළු ද දමා ඒ බන්දේසි ඔවුන්ට ආපසු දෙයි”

මහගත්කරුවාණන්ගේ ‘උපන්දා සිට’ ග්‍රන්ථයේ හතරවැනි පරිච්ජේදයේ බොහෝ තැනෙක මෙම සිංහල අවුරුදු සුන්දරත්වය වනා ඇත. වික්‍රමසිංහයන්ගේ පවුල කොග්ගල ග්‍රාමයේ ඉහළ මධ්‍යම පැළැන්තිය නිරූපණය කළ ආකරය ද එයින් විදහා දක්වයි. ගත්කරුගේ ‘මඩොල් දූව‘ සහ ‘අපේ ගම’ නිර්මාණවලදී ද සිංහල අවුරුදු අසිරිය බොහෝ හෙළිකර තිබුණ ද ඒවා උපන්දා සිට’ ට දෙවැනි වෙයි.

අලුත් අවුරුද්ද ලැබිමෙන් පසුව කැවිලි, පෙවිලි ලැබෙන හැටිත්, අනුභව කරන හැටිත්, තෑගි බෝග ලැබෙන සහ දෙන හැටිත් මහගත්කරු බොහෝ සුරම්‍යව වදන්වලට පෙරළා ඇත. තෑගි බෝග ලබා දීම සිදුකරන්නේ කැවිලි, පෙවිලි කතාවෙන් පසුවය. එසේම තෑගි, බෝග ලබාදීමද අතිශය ඉපැරණි අවුරුදු චාරිත්‍රයක් ද වෙයි.

“උපන්දා සිට” දෙවන පරිච්ජේදයේ 12 වැනි පිටුවෙහි ඔහු ලියූ කතාව ද තවත් අපූරුය.
“සිංහල අවුරුද්ද නිමිත්තෙන් තාත්තාගෙන් පමණක් නොව මගේ ළඟ නෑයන්ගෙන් ද බොහෝවිට තෑගි වශයෙන් සරොන්, කමිස, කෝට් ආදිය මට ලැබිණි. උඩරට වෙළෙඳාම් කරන මාමා කෙනෙකුගෙන් ලැබුණු සුදු හා චොකලට් පාට හීන් කොටු සහිත සිනිඳු සරමක් මගේ සිත් ගත්තේය. ඒ සරම ඉරෙන තෙක්ම මා ඇන්දේ ආසාවෙනි.”
සිංහල අවුරුදු සමයේදී අපද තෑගි බෝග ලබමින් සහ දෙමින් සිටින්නෙමු. ඒ සඳහා කර්කශ නගරයන්හි කෑමොර ගසමින් පවත්වාගෙන යන ‘සේල්, සේල්. පීර පීරා අපි දුවන්නෙමු. එදා ගමත් අද නගරයත් මොන තරම් සුන්දර මෙන්ම අසුන්දරද?

ලක් තලයේ අතිශය සුන්දර වූ ගම්මාන කිහිපයකින් එකක් වූ ගාලු පුරවරයේ කොග්ගල ග්‍රාමය එදා අවුරුදු සැමරූ හැටි වික්‍රමසිංහයන් වරින්වර ලියා තැබුවේය. එහෙත් එදා කොග්ගලත් අද කොග්ගලත් දෙකකි.
වික්‍රමසිංහයෝ තම බිරිඳ සහ දරු දෙදෙනෙක් සමග අලුත් අවුරුදු පාසල් නිවාඩු කාලයෙහි කොළඹ සිට කොග්ගලට ගිය කතාන්දරයක් ‘උපන්දා සිට’ 19 වැනි පරිච්ජේදයේ 285, 286 වැනි පිටුවල ලියා තබා ඇත. වික්‍රමසිංහයන් එකල තම මැදිවියෙහි ගතකළ තැනැත්තෙක් විය. ඔහු එකල කොළඹ ‍ලේක් හවුසියේ ‘දිනමිණ’ පත්තරයෙහි සේවය කරමින් සිට ඇත. කාලවකවානුවක් නිසි ලෙස සඳහන් නොවුවද එම සමය 1935 වසර ආසන්න කාලයක් යැයි නිර්ණය කළ හැකිය.

“අලුත් අවුරුදු නිවාඩු කාලයෙහි දරුවන් දෙදෙනෙක් සමග අපි ගමට ගියෙමු.
හැම ගෙදරකම ගෑනියෙක් හෝ දෙන්නෙක් ‘බිතක්කන’ අසල තබන ලද ‘ලිග්ගල උඩවූ තෙල් ඇතිලියෙහි බහා මුංගෙඩි බදිති. නොඑසේ නම් කැවුම් උයති. ගම්සභා පාරේ පළින්පල කාණ්ඩ ගැසෙන ළමයි වළකජු කෙළිති. නැතිනම් රියන් ගසති. පිටියෙහි රැස්වන ළමයි පන්දු ගසති. දිනුවෝ, පැරදුණවුන් බිම වාඩි කරවා ජල්ලි දමති. ‘ජල්ලි කවි’ කියමින් පැරදුණ පි‍ලේ ඈයන්ට උසුළු විසුළු කරති”

මහගත්කරුවෝ වැනූ එදා ගැමි අවුරුදු ලාලිත්‍යය මොනතරම් වශීකෘතදැයි සිතේ. මෙම කාලයද අපගේ දරුවන්ගේ පාසල් කාලයයි. එහෙත් වත්මන් දරුවන්ට මේ සුන්දරත්වය රස විඳිය හැකි ද? නැත. ඔවුන් සැබැවින්ම අවාසනාවන්තය. එදා ගැමි අවුරුදු ලාලිත්‍යය අද අහස් කුසටම පියාඹා ගොසිනි. ගත්කරුවෝ යටකී කෙළි සෙල්ලම් කිහිපයක් පමණක් අද තිබෙන අවුරුදු උත්සවයකදී දැකිය හැකිය. අනෙකුත් ක්‍රීඩා සියල්ල නූතන ක්‍රමයට සැදි ඒවාය. පසුගිය වසරේ අවුරුදු බනිස් කෑමේ තරගයකදී අවුරුදු 42ක මිනිසකු බනිස් ගෙඩිය සමග එය රැඳවූ නූල් ‍පොටද ගිල දමා රෝහල්ගත කළේය.

නූතන අවුරුදු ක්‍රීඩා බොහෝවිට අප්‍රභංශ ඒවාය. එහි ඇති කිසිදු අසිරියක් නැත. වර්තමානයේ ශ්‍රී ලංකාවට පැමිණෙන සුද්දන්, සුද්දියන්ටද අවුරුදු උත්සව ඇත. ඒවායෙහිදී කෙටි ‘බිකිනි’ අඩ නිරුවත් නාන ඇඳුම් පැලඳ කොට්ටා ‍පොර ගසන්නට ගිය සුද්දියකගේ එම ඇඳුම ගැලවී ගිය පුවතක් ද හික්කඩුවෙන් වාර්තා වී තිබිණි.
මෙම බක් මාසය අධික රස්නයකින් වෙළාගත් මාසයක් යැයි වික්‍රමසිංහයන් එකලද පවසා ඇත.එය සැබෑවක්ම වන්නේ මෙකල අපද දැඩි රස්නයෙන් පීඩා විඳින හෙයිනි.

“ගෙදර වත්තත්, මිදුලත් රුක් ගොමුවෙන් සෙවණ වූ තැනක් මෙන් විහිදුණ අතුපතර ඇති දෙල් ගසින් හා ‍පොල් ගසින් සෙවණ වී ඇත. ඒනිසා සෙවණ හා අඳුර දැඩි වෙයි. එහෙත් බක්මහ රස්නයෙහි අඩුවක් නැත”යැයි ඔහු කියයි. සැබෑ අවුරුදු අසිරිය කියා පෑ වෙනත් ‍පොතක් පතක් හෙළයේ නැති තරම්ය. බොහෝ වියත්හු එය පිළිගෙන ද හමාරය.
“උපන්දා සිට” මහා ග්‍රන්ථය සිතින් බදාගෙන ඔබට මේ වදන් ලියා තැබුවද අද කොග්ගල ඇත්තේ ශෝකාන්තයකි. ලක් තලයේ සැබෑ ගැමි බිම්කඩක් වූ කොග්ගල 1990 වසරේදී එහි නිදහස් වෙළෙඳ කලාපය පිහිටුවීමත් සමගම මහා විනාශයකට පත් වූයේය. වික්‍රමසිංහයන් කතාකළ සුන්දර ගමෙන් අක්කර 225ක්ම වෙළෙඳ කලාපය විසින් ගිල ගත්තේය. ගාලු පාර අයිනේ ගමෙන් ඉතිරිවූයේ අක්කර 10ක පමණ අතිශය කුඩා බිම්කඩක් පමණි. අද වත්මනෙහි මහගත්කරුගේ නිවස ආශ්‍රිත කරගෙන පිහිටුවා ඇති ජනකලා කෞතුකාගාර භූමිය එය වෙයි. ගාලුපාරෙන් බොහෝ ඈතට වන්නට ගමෙන් කොටසක් ඉතිරිව ඇතත්, අනෙක් ප්‍රදේශ සියල්ලම වසාගෙන ඇත්තේ කර්මාන්තශාලා සහ සංචාරක හෝටල්ය. වාසනාවකට දෝ සුන්දර කොග්ගල ඔය පමණක් විරාජමානව සිටී. වික්‍රමසිංහයන්ගේ හදවත බඳුවූ ‘මඩොල් දූව‘ ද අද ‘ප්‍රේම දූවක් වී ඇත. මෙම කොග්ගල ශෝකාන්තය මා හයහත්වතාවක්ම පත්තර පිටුවලට ලියා තබා ඇත. මෙහි පැවසුවේ බිඳක් පමණි.

වික්‍රමසිංහයන්ගේ තවත් බොහෝ තැන්හි සැබෑ සුන්දර ගැමි අවුරුදු අසිරිය වර්ණනය කර ඇත. එහෙත් ඒ සියල්ලක් ලියන්නට ඉඩක් නැතිය. සිංහල අවුරුද්දට එළවළු ගුරුන්නාන්සේගෙන් තෑගි ලැබුණු එළවළු පෙට්ටියේ වූ කැකිරි ගෙඩිය ඔහුගේත්, තම බාල සහෝදරියගේත් ආශාව දැනවූ එකක් බැව්ද ප්‍රකාශ වෙයි.

“කිතුල් පැණිත් සමග කටෙහි තබා ගන්නා කැකිරි ඇබිත්ත කටත්, දිවත් සිහිල කරමින් දියව විසිරෙන්නේ කටට ගත් හිමකිරම පිඬකටත් වඩා ලෙහෙසියෙනි. මා කැකිරි කෑමෙන් ලැබුවේ අනිත් සමහර දරුවන් නොලබන ආස්වාදයකි.”
වික්‍රමසිංහයෝ කළ ගැමි අලුත් අවුරුදු වර්ණනය අප ගත සිත සැබැවින්ම අදබැඳ ගනියි. එහෙත් අද කොග්ගල ඇත, ගම නැත