මහනුවර දිස්ත‍්‍රික්කයේ ඉපිද දේදුණුපිටිය මහා විද්‍යාලයෙන් පාසල් අධ්‍යාපනය නිමා කළ ඇම්. පී. ගුණේරිස් කෑගල්ල ඞී. සී හේවාව්තාරණ කනිෂ්ඨ විශ්වවිද්‍යාලයෙන් පොත් තැබීම පිළිබඳ ඩිප්ලෝමාව සම්පූර්ණ කළ අතර පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් බාහිර උපාධියද ලැබුවේය. වෘත්තිය ජීවිතය අරඹමින් ලංකා ගමනාගමන මණ්ඩලයේ සුබසාධක අංශයේ ලිපිකාර තනතුරක් ලබන ගුණේරිස් මහතා අනතුරුව වී අලෙවි මණ්ඩලයේ ලිපිකාර තනතුරක් ලබා ඉන්පසු පුස්සැල්ලාව ශුද්ධ ත‍්‍රිත්ව විද්‍යාලයට ගුරුපත්වීමක් ලැබීය. ඉන්පසු කාලයේ මැණික්හින්න ලූණුකැටියාව මඩිත්ත මහා විද්‍යාලයේ සහ පිළිමතලාව මහා විද්‍යාලයේද සේවය කළ ඇම්. පී ගුණේරිස් මහතා 1994 වසරේ පෙබරවාරියේ විශ‍්‍රාම ලැබීය.

කුඩාවියේ සිටම පාරම්පරික යන්ත‍්‍ර මන්ත‍්‍ර හා නක්ෂත‍්‍රය පිළිබඳ ඉගෙනීමක් ලද ගුණේරිස් මහතා නක්ෂත‍්‍රය පිළිබඳ ලබා තිබූ දැනුමින් නොවරදින අනාවැකි ප‍්‍රකාශ කළා සේම ජ්‍යොතිෂය කටයුතුද සිදුකළේය. 1994 වසරේ විශේෂාංග ලේඛකයකු ලෙස සම්පත පුවත්පතට සම්බන්ධ වීමෙන් පසු ඔහුගේ ජ්‍යොතිෂ දැනුම ජනතාව සමග බෙදා හදා ගන්නටත් අවස්ථාවක් ලැබුණේය.

අද සම්පත ජ්‍යොතිෂය පුවත්පතේ උප කතුවරයා ලෙස කටයුතු කරන ඇම්.පී. ගුණේරිස් මහතා ගත් කතුවරයකුද වේ.

ඔබ කවුද කියමුද?
උප්පැන්නෙන් මට ලැබුණේ මුතුනක පේඩි ගෙදර ගුණේරිස් නම. අද මාව කවුරුත් දන්නේ ඇම්.පී. ගුණේරිස් නමින්. 1945 අපේ‍්‍රල් 30 වැනිදා මහනුවර පැලෑනේ පවුලේ බාලයා වී ඉපදුණු මට අයියා කෙනෙකුත් අක්කලා තුන්දෙනෙකුත් හිටියා. අද ජීවතුන් අතර ඉන්නේ එක අක්කෙකුයි මමයි විතරයි.

අම්මා තාත්තා කවුද කියමුද?
අපේ අම්මා මුතුනක වග පේඩි ගෙදර මැණිකා. තාත්තා මුතුනක පේඩි ගෙදර සමරා. අම්මා තාත්තා දෙන්නම සර්ප වෙදකම, නක්ෂත‍්‍රය සහ යන්ත‍්‍ර මන්ත‍්‍ර ගුරුකම් කටයුතුත් ගොවිතැන් කටයුතුත් කරලා තියෙනවා. අපේ පරම්පරාවම ලංකාවේ නමගිය නක්ෂත‍්‍රකාරයෝ සහ යන්ත‍්‍ර මන්ත‍්‍ර ගුරුකම්කාරයෝ.

යන්ත‍්‍ර මන්ත‍්‍ර ගුරුකම් ගැන කියන කොට බයත් හිතෙනවා?
කොහිලදෙණිය පරම්පරාවේ අය කවදාවත් නරක යන්ත‍්‍ර මන්ත‍්‍ර ගුරුකම් කරලා නෑ. අපේ අම්මා යහපත් දේවල්වලට තමයි වැඩ කළේ.

කොහොමද පුංචි කාලෙ?
මං හුඟක් පුංචිකාලෙ තමයි තාත්තා නැතිවෙලා තියෙන්නේ. මට තේරෙන කාලෙ එනකොට තාත්තා නෑ. තාත්තගෙන් ඉගෙනගත්ත ශිල්පෙ අම්මා ඉස්සරහට අරන් ගියා. අපේ අම්මත් වෙදකම, නක්ෂත‍්‍රය සහ යන්ත‍්‍ර මන්ත‍්‍ර ගුරුකම් තාත්තගෙන් හොඳින් ඉගෙනගෙන හිටියා. මම පුංචිකාලෙ මේවා ඉගෙනගත්තෙ අම්මගෙන්.

ඔබ පොඩි වයසෙ අම්මා ඔබට ශිල්පය ඉගැන්නුවා?
පොඩි ළමයිට තෙල් මතුරන, ග‍්‍රහ අපලවලට යන්ත‍්‍ර දැමීම, ලෙඩ රෝගවලට තෙල් මතුරන වගේ ගුරුකම් තමයි අම්මා කළේ. මම අම්මා මේ වැඩ කරද්දි උදව් කරනවා. අපේ ගේ වටේට බෙහෙත් වර්ග වගාකරලා තිබ්බා. මම පොඩිම සන්දියේ අම්මා මාව බෙහෙත් වත්තේ ඇවිද්දව ඒවා ගැන කියලා දුන්නා. ඒවා මොනවද ඒවායින් තියෙන ප‍්‍රයෝජන මොනවද කියලා.

ඔය වයසට ඒවා මතක හිටියද?
දෙයක් ඇහුවම, දැක්කම, කිව්වම මට මතක හිටින මොකද්දෝ ශක්තියක් තිබුණා. මීට අවුරුදු හැට හැත්තෑවකට කලින් අම්මා කියලා දුන්න ඒ දේවල් මට අද වගේ මතකයි. සමහර විට අපේ ගෙදර තිබුණු පරිසරයත් එක්ක එවන් බුද්ධියක් මං වගේ පොඩි ළමයෙකුට ඇති වුණාද දන්නෙ නෑ.

ඔබ ඉස්කෝලෙ යන්නෙ?
පැලෑන විද්‍යාලයට සහ දේදුණුපිටිය මහා විද්‍යාලයට.

කොහොමද ඒ කාලෙ?
පැලෑන විදුහල තිබුණෙ ගෙදරට කිලෝමීටරයක් දුරින්. අපි පයින් තමයි ඉස්කෝලෙ ගියේ. ඒ කාලෙ ඉතින් සපත්තු සෙරෙප්පු දැමිලි නෑ. ඇඳුම් දෙකක් තිබ්බා . හෝද හෝද මාරුකර කර අඳින්න. පොඩිකාලෙ ඉඳලා හැමදාම එස්. එස්.සී පන්තියට යනකල් කිලෝමීටර දෙකක් පයින් ගියා. එස්.එස්.සී පාස්වෙලා උසස් පෙළ කරන්න දේදුණුපිටිය මහා විද්‍යාලයට ගියෙ.

ඉස්කෝලෙ ජීවිතේ මතකද?
ඉගෙන ගත්තා හොඳට. අපේ කාලේ බාහිර වැඩ කියලා අද තියෙනවා වගේ ඒවා ඉස්කෝලවල තිබුණෙ නෑ. තිබුණෙ එකම දෙයයි. ඒ කාලෙ ඉස්කෝලෙ වගා කටයුතු තිබුණා. ඉතින් මේ වගාවන්ට අපි ගම පුරාම ඇවිදලා ගොම පොහොර ගේන්න ඕන.

ඉස්කෝලෙ ළමයි ගොම පොහොර ඇද්දා?
ඒ කාලෙ හැම ළමයෙක්ම ඒක කරන්න ඕන. ඒකට වෙලාවක් වෙන් කරලම තිබුණා. ගමේ ගොඩක් හිටියෙ කිරි හරක් හදන අය. ඒ ගෙවල්වලට ගිහින් වේළිච්ච ගොම අරන් එන්න ඕන. එච්චරමයි අපිට ඉගෙන ගන්නවට අමතරව තිබුණු වැඬේ.

කොහොමද ඉගෙනීම?
මම ඉගෙන ගන්න හුඟක් දක්ෂ ළමයෙක්. හැම වාර විභාගෙකදීම මම තමයි පළවැනියා. ඒ වගේමයි ඉංග‍්‍රීසිවලිනුත් මමයි එකට හිටියෙ.

එහෙම දක්ෂකමක් ආවේ?
ඒක උපතින් ආව හැකියාවක් හරි මම කිව්වා වගේ ගෙදර පසුබිමත් එක්ක. මට ලැබුණු දෙයක් ද දන්නෙත් නෑ. ඉස්කෝලෙදිත් මට ඉගෙන ගන්න ඒවා හොඳට මතක හිටියා. ඒ නිසා ලොකුවට පාඩම් කරන්න ඕනවුණේ නෑ. ඉස්කෝලෙ වැඩ එදා එදාම ඉවරකරන්න මං පුරුදු වෙලා හිටියා.

ඉංග‍්‍රීසිවලින් අංක එකට ආවේ?
මට හොඳ ඉංග‍්‍රීසි දැනුමක් තිබුණා. මං පොඩිකාලෙ ඉගෙනගත්ත පන්තියේ ඉංග‍්‍රීසි උගන්නපු ගුරුතුමා ඉස්කෝලේ වෙලාවෙන් පස්සෙ රාත‍්‍රීත් ඉංග‍්‍රීසි පන්තියක් තිබ්බා. මමත් ඉස්කෝලෙ ඇරිලා ඒ ඉංග‍්‍රීසි පන්තියට ගිහින් ඉංග‍්‍රීසි ඉගෙනගත්තා.

ඉතින් ඊට පස්සේ?
මම උසස්පෙළ කළේ කලා අංශෙන්. මම උසස් පෙළට ඉගෙනගන්න අතරෙ නක්ෂත‍්‍රයත් පොත්වලින් ඉගෙන ගත්තා. අපේ අයියා ගාව වටිනා නක්ෂත‍්‍ර පොත්පත් සහ පුස්කොළ පොත් තිබුණා. අයියා සමහර ඒවා කියලා දුන්නා. අයියගෙන් මට ඉගෙනගන්න බැරිවුණේ අඳුන් බැලිල්ල විතරයි.

ඒ කියන්නෙ පොඩිකාලෙ ඉඳලා ඔබ දිගටම නක්ෂත‍්‍රය ඉගෙන ගත්තා?
මම පුංචිම කොල්ලා කාලෙත් අම්මට උදව් කළා. මුලින් මුලින් අම්මා කියන බෙහෙත් හොයලා ගෙනත් දුන්නා. අවුරුදු අටේ ඉඳලා විධිමත් විදිහට අම්මා මට ශාස්ත‍්‍රය කියලා දුන්නා. ජෝ‍යාතිෂය විතරක් නෙවේ, යන්ත‍්‍ර, මන්ත‍්‍ර, ගුරුකම් ශාස්ත‍්‍රයත් ඉගැන්නුවා. මට මේවා ගැන පුංචි කාලේ ඉඳලා දැනුමක් තිබුණත් නිසි කාලෙ එනකල් කවදාවත් අත්හදා බලන්න ගියෙ නෑ.

අම්මා ඔබ මේ ශිල්පය ඉගෙනගන්නවට කැමති වුණාද?
අම්මා තමයි කිව්වේ මේක අපේ පරම්පරාවේ සංස්කෘතික දායාදයක්. මේ ශාස්ත‍්‍රය හරියට ප‍්‍රගුණ කළොත් ලක්ෂයකට නායකයෙක් වෙන්න පුළුවන් කියලා.

ඉතින් උසස් පෙළ විභාගෙන් මොකද වෙන්නෙ?
උසස්පෙළ පාස්වුණා. ඒ කාලෙ ලංකාව පුරාම අධ්‍යාපන ඇමති ඊරියගොල්ල මහතා කනිෂ්ඨ විශ්වවිද්‍යාල පිහිටවලා තිබුණා. මාව කෑගල්ල ඞී. ඒ. හේවාවිතාරණ කනිෂ්ඨ විශ්ව විද්‍යාලයට තේරුණා.

ඒ විශ්වවිද්‍යාලයෙන් ඔබ ඉගෙන ගත්තේ?
අවුරුදු දෙකක ඩිප්ලෝමාවක් කළා පොත් තැබීම පිළිබඳව. මනෝ විද්‍යාව ඇතුළුව විෂයන් බර ගාණක් ඉගෙනගත්තා. වැඩි හරියක් ඉගැන්නුවේ ඉංග‍්‍රීසියෙන්. මගේ ඉංග‍්‍රීසි දැනුම ඒ වෙලාවෙ මට ගොඩක් ප‍්‍රයෝජනවත් වුණා.

ඒ කාලෙ කොහොමද?
ගෙදරින් ඇවිත් බෝඩිමක නැවතිලා තමයි ඉගෙන ගත්තේ. විශ්වවිද්‍යාලෙ ආවා කියලා ජ්‍යොතිෂය ඉගෙන ගැනිල්ල නැවතුණේ නෑ. ඒ කාලෙ ජ්‍යොතිෂය සම්බන්ධ ඉංග‍්‍රීසියෙන් ලියැවී ඇති පොත්පත් මිලදී අරන් ගොඩක් කියෙව්වා. පාඨමාලාව හදාරන අතරතුරේ අපි ප‍්‍රායෝගික පුහුණුවකුත් ලැබුවා.

ඒ මොනවා ගැනද?
ලංකා ගමනාගමන මණ්ඩලයේ ප‍්‍රධාන කාර්යාලයේ ගිණුම් සම්බන්ධව. ඔය ඉගෙන ගන්න කාලෙ එතැන හුඟක් හොඳ මහත්තයෙක් මම අඳුරගත්තා, ස්ටැන්ලි කියලා. ඩිප්ලෝමා එක කරලා ගෙදර ඉන්න කාලෙ ඒ මහත්තයා මට ලොකු උදව්වක් කළා.

ඒ මොකද්ද?
මට දැනුම් දුන්නා ඒ දවස්වල නාරාහේන්පිට සුබ සාධක අංශෙ තනතුරකට සම්මුඛ පරීක්ෂණයක් පැවැත්වෙනවා කියලා. ඒ සම්මුඛ පරීක්ෂණේට මම ගියා. සම්මුඛ පරීක්ෂණේ එක අවස්ථාවක මට ඇහෙන්න වේගෙන් ගණන් වැලක් කියාගෙන ගියා. අන්තිමට ඒ ගොල්ලො පොඩි වෙලාවක් දීලා කිව්වා ඒ ගණන් ටික එකතු කරලා කියන්න කියලා.

ඔබ කිව්වද?
ඒ ගණන් ටික ඇහෙන්න පටන් ගනිද්දිම මම හිතෙන් එකතු කර කර තමයි හිටියේ. ඒ හින්දා ඒ ගොල්ලො දුන්න වෙලාව පහුවෙන්නත් කලින් මම එකතුව කිව්වා. අන්තිමේ මට දන්නන්නම් කියලා යන්න කිව්වා. ඊට පස්සෙ දවසකට මට දැනුම් දුන්නා ලංකා ගමනාගමන මණ්ඩලේ සුබ සාධක අංශෙ ලිපිකාර තනතුරට මාව තේරුණා කියලා.

ඉතින් ඊට පස්සෙ?
මම රස්සාව බාරගත්තා. කොළඹ ඇවිත් කොටාරෝඞ් එකේ බෝඩිමක නැවතුණා. ඒ බෝඩිමේ මාත් එක්ක ජයසේකර අපොන්සුත් නැවතිලා හිටියා. මම වැඩට ගියා. ජයසේකර අපොන්සු රඟපාන්න ගියා.

කොහොමද ඉතින් මේ කාලෙ?
මට එතැන රුපියල් 75 ක පඩියක් ලැබුණා. රාජකාරිය තිබුණෙ සමිතියෙ සාමාජිකයින්ගේ ගණන් හිලව් ගිණුම් ගත කිරීම. ලොකු වියදමක් නෑ ඒ කාලෙ. බොරැුලෙ ඉඳලා නාරාහේන්පිටට සත 5යි. අවුරුද්දක් විතර ඉන්නකොට වී අලෙවි මණ්ඩලේ ලිපිකාර තනතුරකට අයදුම්පත් කැඳවලා තියෙනවා දැකලා ඒකට ඉල්ලූම් කළා. ඒ සම්මුඛ පරික්ෂණෙනුත් මාව තේරුණා.

ඊට පස්සෙ මොකද වුණේ?
වී අලෙවි මණ්ඩලේ රස්සාවට ගියා. එතැනත් ගිණුම් අංශෙ ගණන් කටයුතු තිබුණෙ . ටික කාලෙකින් ප‍්‍රධාන කාර්යාලෙන් මට නුවර කාර්යාලෙට මාරුවීමක් ලැබුණා. එතන කරදරයක් නැතුව රාජකාරී කටයුතු කරගෙන හිටියා. ඒ ඉන්නකොට තමයි මට ඒ රස්සාව අතඇරලා ගුරුපත්වීමකට යන්න හිතෙන්නෙ.

එහෙම හිතෙන්නෙ?
ව්ශ්ව විද්‍යාලෙන් ගුරුපත්වීම්වලට ඉල්ලූම්පත් කැඳවලා තිබුණා. ඒ කාලේ විශ්වවිද්‍යාලවලින්ම ගුරුපත්වීම්වලට කැමති අයට ඒ අවස්ථාව ලබා දුන්නා. ඒ අනුව මටත් 1972 නොවැම්බර් මාසෙ ගුරු පත්වීමක් ලැබුණා පුස්සැල්ලාවේ ශුද්ධ ත‍්‍රිත්ව විද්‍යාලයට. මං ඉගෙන ගෙන තිබුණෙ ගිණුම් නිසා වාණිජ, ගණකාධිකරණය වගේ ඒවා උගන්නන්න ලැබුණේ.

කොහොමද මේ කාලේ ?
ඒ කාලෙ මම දෙමළ භාෂාවත් ඉගෙනගත්තා . දෙමළ ගුරුවරු, දෙමළ ළමයි ඇසුර නිසා ඒක පහසු වුණා. අවුරුද්දකට පස්සෙ මට මාරුවක් ලැබෙනවා මැණික්හින්නෙ ලූණුකැටියාව මඩිත්ත මහා විද්‍යාලයට.

ඔය රාජකාරිකරන අතරේ අර ඉගෙන ගත්ත ශිල්පයට මොකද වුණේ ?
මම නක්ෂත‍්‍රය අතහැරියේ නෑ. ගෙදරත් නක්ෂත‍්‍ර කටයුතු කළා. මගේ දැනුම වැඩි දියුණු කරගන්න මම විවේක කාලෙ දි ළමයින්ගෙ අත් බැලූවා. කේන්දරත් ගැඹුරින් බැලූවා. ඔය අතර කාලේ තමයි මම විවාහ වෙන්නේ.

ඒ කොයි කාලෙද ?
1976 දී. ඒ ඩබ්ලිව්. පී චන්ද්‍රාවතී. මගෙ අම්මගේ මල්ලිගෙ දුව. ඇවැස්ස නෑනා. නෑදෑකමයි ඕනෑකමයි දෙකම එකතුවෙලා තමයි විවාහෙ සිද්ධ වුණේ. අපේ තිබ්බ පොඩි සම්බන්ධෙ දැනගෙන අක්කා තමයි යෝජනාවක් විදිහට ගෙනත් උදව් කළේ.

ඉතින් ඔහොම කාලෙ ගෙවෙද්දි ?
අවුරුදු පහක් විතර ලූණුකැටියාව මඩිත්ත මහා විද්‍යාලෙ වැඩ කරද්දි මට මාරුවක් ලැබුණා පිළිමතලාව මහා විද්‍යාලයට. ඒ කාලේ මගෙ ජීවිතේ ලොකු පරිවර්තනයක් සිද්ධ වුණා.

මොකද්ද ඒ පරිවර්තනේ?
මම වැඩිදුර ඉගෙනීම් කටයුතු ආරම්භ කළා. පාලි, සංස්කෘත වගේ විෂයන් ලංකාවේ ප‍්‍රසිද්ධ හාමුදුරුවරුන්ගෙන් ඉගෙන ගත්තා. ඒ කාලේ සංස්කෘත භාෂාව ඉගෙන ගන්න තිබුණෙ ඉංග‍්‍රීසියෙන්. ඔය අතරෙ පේරාදෙණිය විශ්වවිද්‍යාලෙන් බාහිර උපාධියත් කළා. ඔය අතරෙ 1994 පෙබරවාරි 01 වැනිදා මම ගුරු සේවයෙන් විශ‍්‍රාම ගත්තා.

විශ‍්‍රාම ගත්තට පස්සෙ ?
ඔය කාලේ වෙනකොට මම මුල ඉඳලම ලබා ගත්ත දැනුමින් සහ පොත්පත් කියවීමෙන් ලබා ගත් දැනුමින් ජ්‍යොතිෂයෙ ඉහළටම ආවා. නක්ෂත‍්‍ර කටයුතු කරන ගමන් ජ්‍යොතිෂ පර්යේෂණ කටයුතුත් කළා. ඒ අනුව කෙනෙක්ගෙ ආයු කාලය, ලෙඩ රෝග, විවාහය, දරුපල වගේ දේවල් ගැන කියන්න මට හැකියාවක් ලැබුණා. ඒ වෙනකොට 1981 ඔක්තෝම්බර් මාසෙදි අම්මත් නැතිවෙලා හිටියෙ.

ඔබ අම්මාගෙන් ලබාගත් සියලූ ශිල්පයෙන් වැඩ කළාද ?
යන්ත‍්‍ර මන්ත‍්‍ර හා නක්ෂත‍්‍රය පමණයි. මං බෙහෙත් කරන්න ගියෙ නෑ. වෙදකම මම එච්චර ඉගෙන ගත්තෙ නෑ. ඔහොම ඉන්න කාලේ තමයි සම්පත පත්තරේට ලියන්න අවස්ථාව ලැබෙන්නෙ.

ඒ කොහොමද ?
අහම්බෙන් දවසක මං සම්පත පත්තරේ අරගෙන කියවද්දි හොඳ ජ්‍යොතිෂ ලිපි තිබුණා. මමත් ලිපි දෙකක් විතර පත්තරේට ලියලා යැව්වා. ඒ යවලා දවසක් කොළඹ ගිය අවස්ථාවක මම ඒ පත්තර කන්තෝරුවට ගියා. අර්නස්ට් වඩුගේ මහත්තයා හමුවෙලා කතා කළා. හෙට ඉඳලා වැඩට එන්න කිව්වා. ඔයා ලංකාවේ ඉන්න අති දක්ෂයෙක් කිව්වා. ඔයාලා වගේ අය හැංගිලා ඉන්නෙ ඇයි කියලා තමයි වැඩට එන්න කිව්වේ. ඒ කතාව හිතේ පැළපදියම් වුණා. මගෙ හිතට මොකද්දෝ ධෛර්යයක් ලැබුණා. ඒ හින්දා පත්තර කලාවට ආසාවක් ඇතිවුණා.

ඉතින් ඊට පස්සෙ ?
මම සම්පත පත්තරේ කර්තෘ මණ්ඩලේට සම්බන්ධ වුණා. විශේෂාංග ලේඛකයෙක් විදිහට. කර්තෘ මණ්ඩල අධිපති හිටපු අර්නස්ට් වඩුගේ මහත්තයා, දයානන්ද සතරසිංහ මහත්තයා, පිලිප් මහත්තයා, රංජිත් මහත්තයා වගේම ජයන්ත ගාල්ලගේ මහතාත් මගේ පිටිපස්සෙන් හිටපු යෝධ සෙවනැල්ලක් වුණා.

කොහොමද ඉතින් ඔය කාලෙ ?
මම හුඟක් ජෝ‍යාතිෂ ලිපි ලිව්වා. අනාවැකිත් කිව්වා. ඒ අනාවැකි ගොඩක් ඒවා ඇත්තත් වුණා. ඒ අතරේ ජ්‍යොතිෂය පැත්තෙන් මාව අගය කරලා ජ්‍යොතිෂය විශාරද, ජ්‍යොතිශේකර, ජ්‍යොතිෂ අභිනන්දන, ජ්‍යොතිෂ ප‍්‍රභාස්වර වගේ සම්මාන කීපයක්මත් ලැබිලා තියෙනවා. මම ජ්‍යොතිෂ සම්බන්ධ පොතකුත් මේ වෙනකොට ලියලා තියෙනවා.

අදටත් ඔබ ජ්‍යොතිෂය පුවත්පත් කලාවේදියෙක් ?
මම සම්පත පත්තරේට අදටත් සම්බන්ධයි. අද එහි උපකර්තෘ ලෙස වැඩ කරනවා. අද මට වයස අවුරුදු 73ක්. ලෙඩ දුක් මොනවත් නෑ. මම ජීවිතේ හැම දෙයක් ගැනම සතුටින් සිටින කෙනෙක්.

කොහොමද පවුලේ තොරතුරු ?
මට දුවලා දෙන්නෙක් ඉන්නවා. ලොකු දුව එරන්දතී මානෙල්. පොඩි දුව කුමුදුමාලී දමයන්ති. දෙන්නම විවාහ වෙලා. අද මමයි නෝනයි සීයලා ආච්චිලා.

ඔබට ලියනවා නම් කතා කරනවානම් ?
බලන පාර, අමුණුපුරේ, කැට කුඹුර ලිපිනයට ලියන්නත් 0778284341, 0812573738 අංකයට කතා කරන්නත් පුළුවන්.

බියංකා නානායක්කාර