සොබා දහමේ රිද්මය පදනම් කරගත්තක් බැවින් අවුරුදු උළෙල වසන්තය උදාවීමත් සමග ඇරඹේ. සොබා දහමෙහි අපූර්ව වෙනස්වීම් සලකුණු කරන තුවලින් වසන්තය මිනිසාට නොමියෙන ප්‍රබෝධයක් ලබාදීම ඊට හේතුවය. ශ්‍රී ලංකාවේ වසන්තය ඇරඹෙන්නේ මහ කන්නය නිමාවී අටුකොටු පිරී ඉතිරීයාමෙනි. සොබාදහමේ මැවුම්කරුවන සූර්යයා පිළිබඳ විශ්වාසය සිංහලයාට ආවේණික ඥාන දර්ශනය වන ‍ජ්‍යොතිෂය මගින් සමාජීය පිළිගැනීමක් බවට පත්කර තිබේ.
ජාතියේ ආරම්භයේ සිටම සිංහලයා නැකත් කෙළි මුල් කොට උත්සව පැවැත්වූ බවට අපේ ඉතිහාසය සාක්ෂි දරයි. මෙම උත්සවය අත්‍යාලංකාර උත්සවයක් බවට පත් කිරීම සඳහා අතීත රජවරුන් පවා මහත් පරිශ්‍රම දරා තිබූ අතර කාලයේ වැලිතලාවෙන් සැඟවී ගිය ජාතික කෙළි සෙල්ලම්වලට නව පණක් ලබාදී තිබේ.

ජාතික ක්‍රීඩා

සිංහල ජාතික ක්‍රීඩාවලින් බහුතරයක් ගත වෙහෙස කර නොවන පරිදි සන්සුන් ලීලාවකින් කරන සේ හැඩගැසී ඇත්තේය. පැරණි සිංහලයාට ක්‍රීඩා සම්බන්ධ ‍පොදු ආයතන නොතිබුණු අතර ඒ ක්‍රීඩා සියල්ලක්ම භාවිතය විසින් පාරම්පරිකව අඛණ්ඩව ඉතිහාසයට එක්කොට තිබේ. මෙම ක්‍රීඩාවෙන් පුද්ගලයන්ගේ වයස හෝ තත්ත්වය අනුව වෙන් කිරීම හෝ ස්ත්‍රී පුරුෂ භේදය අනුව වෙන් කිරීම හෝ තරමක් දුෂ්කරය. එහෙත් ගෘහ ක්‍රීඩා එළිමහන් ක්‍රීඩා ගත වෙහෙස වන ක්‍රීඩා ආගමික වැදගත්කමින් යුතු ක්‍රීඩා සහ බිහිසුණු ක්‍රීඩා වශයෙන් මෙම ජාතික ක්‍රීඩා වෙන්කිරීමට ද බැරිකමක් නොමැත. මෙම ක්‍රීඩාවන් බහුතරයක් එළියට එන්නේ සිංහල අවුරුදු සමයන්හි වීම ද විශේෂිතය.

‍පොර‍පොල් ගැසීම

පුරාණයේදී සෑම ගම්මානයකම සිංහල අවුරුදු සමයේදී උතුරු හා දකුණු වශයෙන් හෝ ගඟෙන් ඉහළ පහළ වශයෙන් හෝ උඩුපිල හා යටි පිල නමින් බෙදී ‍පොර ‍පොල් ගැසීම සිරිතක් කොට ගෙන තිබුණි. මෙම ක්‍රීඩාව ආගමික ක්‍රීඩාවක් ලෙස යොදා ගන්නේ පත්තිනි දේව මෑණියන් ඇදහීම සඳහාය. එකල වසංගත රෝග හා බෝවන රෝග බහුල වශයෙන් පැතිර යමින් තිබුණු අතර ‍පොර ‍පොල් ගසනු ලැබුවේ බෝවෙන හා වසංගත රෝග වළක්වා ගැනීම සඳහා පත්තිනි දේව මෑණියන්ට කරනු ලබන ආශිර්වාද පූජාවක් වශයෙනි.

මෙම ක්‍රීඩාවේ දී උඩුපිල දිනුවේ නම් වසංගත හා බෝවෙන රෝග තවදුරටත් පවතින බව ගැමියන්ගේ විශ්වාසය විය. ‘ජලය’ හා සශ්‍රීකත්වයේ ලාංඡනය වශයෙන් ‍පොල්ගෙඩිය සලකන ලද්දේය. දෙපි‍ලේ අය ඒ ඒ පි‍ලේ මූලිකයා ගෙන් (‍පොල් වට්ටඩිය) සමග අඳින ලද ඉරක් දෙපැත්තේ සිට ගන්නා අතර යටි පි‍ලේ ‍පොර ‍පොල්කරු ප්‍රතිවාදි පිල වෙත ‍පොලයක් ගසයි එවිට ප්‍රතිවාදී පි‍ලේ ‍පොර ‍පොල්කරු එම ‍පොල් ගෙඩියට එක් අතකින් හෝ දෑතින් අල්ලාගත් ‍පොල් ගෙඩියකින් පහර දෙන්නේය. පහර දෙන්නාගේ ‍පොල්ගෙඩිය බිඳෙන තෙක් එසේ කර පසුව ‍පොර‍පොල්කරු අනෙක් පක්ෂය වෙත ‍පොල් ගෙඩි විසි කිරීමට පටන් ගනියි. මෙලෙස ‍පොල් ගෙඩි අවසන් වූ පක්ෂය පරාජිත වූවන්සේ සලකනු ලැබේ.

‍පොර වද්දන ඉම

‍පොර වද්දන ඉම දෙකක් පවතින අතර එකට වැදීමෙන් බිඳී කැඩී හෝ පුපුරා යාමෙන් ජයග්‍රහණය හෝ පරාජය ලබා ගැනීම එක් ක්‍රමයකි. අනෙක් ක්‍රමය වන්නේ දිනුම් තුනේ ‍පොරයයි. දිනන අය ප්‍රතිවාදී ‍පොලය කැබලිවලට වෙන්කළ යුතුය. බිඳුණු ‍පොල් ගෙඩියෙන් කැබැල්ලක් අහසේදීම අල්ලා මදය කෑම කළ යුතු අතර බිඳුණු කටුවේ වතුර පානය ද කළ යුතුය.

කාසිය උඩ දැමීමෙන් පළමුව ‍පොර පිටියට වදින පිල තෝරා ගැනේ. පහර දෙන්නාගේ ‍පොල් ගෙඩිය බිඳෙන තුරු හෝ මාරුවෙන් මාරුවට ‍පො‍ලේ විසි කිරීමෙන් ක්‍රීඩාව කරන්නේය.
ඇතැම්විට යැවීම පිණිස වෙන්වූ වීසි ගෙඩියක් ප්‍රතිවාදියා වෙත යැවීමත් පහරදීම පිණිස වූ අත් ගෙඩියක් විසි ගෙඩිය පිළිගැනීමටත් භාවිත කරන අතර මේ දෙකටම එක ගෙඩියම භාවිත කරන අවස්ථාද තිබේ.

අං කෙළිය

සිංහල අවුරුදු සමයේදී පවත්වන ක්‍රීඩා අතර අං කෙළියද පත්තිනි දේව මෑණියන්ගේ ආශිර්වාදය හා පිහිට පතා කරනු ලබන ආගමික ක්‍රීඩාවකි. අංගය නමින් හඳුන්වන ශක්තිමත් ගසක් පිහිටි අං පිටියේදී උඩුපිල හා යටිපිල වශයෙන් දෙපිල මුණගැසෙති. අංගසට යාර 1 1/2 ක් පමණ එපිටින් වන්නට දිගැටි හතරැස් වළක් හාරා එහි පැති ලෑලිවලින් වසා ඔප කරන ලද ‍පොල් කඳක හොඳාකාර වූද උඩට සිටින සේ සිටුවන අතර අදින කඹ‍පොට ‍පොල් කඳ මැදින් යැවීම පිණිස එහි සිදුරක් ද සාදනු ලැබේ. මේ හෙණ කඳ හෙවත් වලිගහ එහාට මෙහාට පහසුවෙන් වැනීම පිණිස වැල් දිගින් වැඩි ලෙස සකසනු ලැබේ. ඉන්පසු දෙපි‍ලේ පිරිස් මසා හෝ සියඹලා අරටුවලින් හෝ ගොන් අඟකින් පිළියෙල කරගත් අං රැගෙන එන හැම අඟකම මුලට හරස් අතට ලීයක් බඳින අතර අඟේ මුලට හා හෙණ කඳේ මුලටත් පේරු නෑ නමැති ශක්තිමත් විශාල වැල වළලු කිහිපයක් යොදනු ලැබේ. එවැනිම වැළක් ගෙන එහි එක් කොනක් ගෙන කඳේ හිල මැදින් හා පේරුනෑ වළල්ලෙන් ඇද මන්දක් ගසනු ලැබේ. මේ මන්දේ පහළ කෙළවර අං මෝද ඇතුළු කර හරස් කරන්නේ අඟ අදිනවිට ගැලවී නොයාම සඳහාය. උඩුපිල කණ්ඩායමේ අඟෙන් අංමෝද මදු වළල්‍ලේ අනිත් කෙළවරින් ඇතුළුකර හරස් කර කරන අතර යටි පි‍ලේ අඟත් මෙලෙසින්ම අංගහේ වැල් වළල්ලට යාකරයි. ඉන් පසු අං දෙකම එකට සම්බන්ධ කරමින් ඒ වළලු මත අයකු පා දෙපසින් තබා සිට ගන්නේ ගස්සමින් කඹ අදින විට දෙපැත්තට ගොස් කඳ වැදීමේදී අංදෙක එකිනෙකින් ගැලවීම වැළැක්වීම සඳහාය. හෙණ කඳේ හාරා ඇති විදමන තුළින් කඹය ඇද දෙපි‍ලේම පිරිස එකතුවී එක් පැත්තකට වලි කියමින් කඹය ඇදීම නවතා අං පුපුරා ඇත්දැයි පරීක්ෂාකර බැලීම සිරිතක්. එවැන්නක් දැනගත් වහාම එම අඟ හිමි පිල පරාජය වූ බව කියමින් ජයග්‍රාහී පිල පරාජිත පිලට පරිභව, සමච්චල් කරමින් ඔල්වරසන් හඬ දෙමින් සිටිය වටා සංචාරයේ නිරතවේ. ජයග්‍රහණය දැරූ පි‍ලේ අඟට විශේෂ නමක් යොදා නැවතත් එම අඟ වෙනත් අං කෙළියක් සඳහා ගැනීමට ප්‍රවේසම් කර තබනු ලැබේ.

බ්‍රහු කෙළිය

බ්‍රහු කෙළිය ද සිංහල අවුරුදු සමය පුරාණ ගම්මානවල පත්තිනි දේව මෑණියන්ගේ පිහිටි හා ආශිර්වාදය පතා සිදුකරන ජාතික ක්‍රීඩාවකි. බ්‍රහු කෙළියේ දී කුඹුරුවල නියරවල් සීමාවන් ලෙස සලකුණු කරන අතර දිනුම් කණුව සාදන්නේ ආයත චතුරශ්‍ර පිටියේ පළල පැති දෙකෙහිය. ඒවාට උඩුපිල හා යටි පිල වශයෙන් නම් කරන අතර එක පැත්තක් අඩි 40 සිට 60 දක්ව විහිදේ. විරුද්ධ පක්ෂයේ උත්සාහය විය යුත්තේ ජයග්‍රාහී පැත්තෙන් ඔබ්බට බෝලය යැවීමය.
බ්‍රහු කෙළියේදී බෝලය සඳහා යොදා ගන්නේ උණු අළු යට තම්බාගත් ගැට දිවුල් දොඩම් හෝ ගැට ජම්බෝල ගෙඩිය. එක් පිලකට 5 දෙනකු සිට 20 දෙනකු දක්වා මෙම ක්‍රීඩාවට සහභාගිවීමට හැකිය.

අවුරුදු ළංවන විට අපේ පැරැන්නන් අස්වනු නෙළා ගැනීමෙන් පසු කණ්ඩායම්වලට බෙදී ක්‍රීඩා කොට තිබේ. ආගමික ජාතික හා සාමාජික උත්සවයට අවස්ථා අලංකාර කිරීමට ද එම ජන ක්‍රීඩා ඉවහල් වී ඇත.
ආගමික සිරිත්විරිත් පදනම් කරගනිමින් දේව පූජා, ගෘහස්ථ ක්‍රීඩා හා එළිමහන් ක්‍රීඩා, ජන ක්‍රීඩා වශයෙන් මෙම ක්‍රීඩා නම් කළ හැකි අතර මිනිසුන් මිනිසුන් අතර මිනිසුන් හා සතුන් අතර පැවත්වූ ත්‍රාසජනක ‍පොර කෙළි හා තරග කෙළි රාශියක් ද ඉතිහාසයට එක්වී තිබෙ.

මහනුවර දළදා පෙරහරේ විවිධ දේවාලවල හා විහාරස්ථානවල පෙරහරවලදී ජන ක්‍රීඩා යොදාගන්නේ සංදර්ශන වශයෙනි. එහෙත් සිංහල අලුත් අවුරුද්දට ගමේ උත්සව ශ්‍රීයෙන් ජන ක්‍රීඩා පැවැත්වෙන අතර මෙහිදී බොහේ විට මුල් තැනක් ලැබෙන්නේ ක්‍රීඩාවලටය.

විශේෂ ස්තුතිය
මහනුවර ‍ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුවේ
නිලධාරිවරුන්ට හා පුරාවිද්‍යා දෙපාර්තමේන්තු නිලධාරී මහත්වරුන්ට

රංජිත් ගුණවර්ධන