අප සතුටින්ද? ජීවිතය ගෙවා දමන අප මේ ප්‍රශ්නය කෙරෙහි ප්‍රමාණවත් ලෙස අවධානය යොමු කරනවාද? සැබැවින්ම අප ජීවත් වන්නේ කුමන අරමුණක් සඳහාද? මේ ප්‍රශ්නය දහ දෙනකුගෙන් විමසූ විට පිළිතුරු දහයක් ලැබෙනවාට සැකයක් නැත. සමහරු ධනය ඉපැයීම ම ජීවිතය යැයි සිතති. තවත් අය බලය ඉපැයීම ජීවිතය යැයි සිතති. මේ අතර තවත් පිරිසක් කීර්තිය උපයා ගැනීම ජීවිතයේ අරමුණ සේ සිතති. මේ අරමුණු සපුරා ගැනීම සඳහා අපි උපන් දා සිට නොයෙක් ව්‍යාපෘතිවල යෙදෙමු. සරලව ගත් විට බොහෝ දෙනා ජීවිතය සේ සලකන්නේ මෙම ව්‍යාපෘතිවල නිරත වීමය.

එසේ වුවද මේ කවර දෙයක් කළත් ජීවිතයේ සතුටක් නැත්නම් කවර පලක්ද? අප හැම දෙයක්ම කරන්නේ යම් සැපවත් විඳීමක් ලබා ගැනීමටය. තමන්ගේත් අනුන්ගේත් සැපය සඳහාය. සැපය හා සතුට යනු එකම කරුණක්ද? බැලූ බැල්මට එකම කරුණක් සේ පෙනුණ ද එය කරුණු දෙකකි. සමහරු කෙතරම් සැපවත් ජීවිතයක් ගත කළත් ඔවුනට ජීවිතයේ සතුටක් කවරදාකවත් ලැබි නැත. තවත් සමහරු කෙතරම් දුප්පත් ජීවිතයක් ගත කළත් ඔවුහු සතුටින් ජීවත් වෙති. මේ සතුටේ රහස කුමක්ද? මෙයට වසර 2500කට පමණ පෙර බුදුන් වහන්සේ වදාළේ ‘සන්තුට්ඨි පරමං ධනං’ යැයි කියාය. එහි අරුත ජීවිතයේ පරම ධනය සතුට බවය.

සැබැවින්ම ඒ සතුට ලැබෙන්නේ කෙසේද? එය ඉබේ ලැබෙන්නක්ද? එය ප්‍රගුණ කළ යුතු විද්‍යාවක් ද, කලාවක්ද? මේ දිනවල ඇමෙරිකාවේ යේල් සරසවිය මේ ප්‍රශ්නයට පිළිතුරු සෙවීම සඳහා දැඩි උනන්දුවක් දක්වයි. වසර තුන්සීයක් ඉක්මවා ගිය යේල් සරසවි ඉතිහාසයේ වැඩි අවධානයක් දිනාගත් පාඨමාලාව බවට පත්ව ඇත්තේ ජීවිතයේ සතුටින් සිටීම පිළිබඳ උගන්වන පාඨමාලාවකි. එය කෙතරම් ජනප්‍රිය වී තිබේද යත් අනෙක් පාඨමාලා ඉක්මවා සතුටු වීමේ කලාව උගන්වන මෙකී පාඨමාලාවට ශිෂ්‍ය ශිෂ්‍යාවෝ වේගයෙන් බැඳෙමින් සිටිති. 1200 ඉක්මවූ ශිෂ්‍ය සංඛ්‍යාවක් පාඨමාලාවට දැනටමත් බැඳී තිබේ. මේ පාඨමාලාව මෙතරම් ජනප්‍රිය වීමට හේතු වී තිබෙන්නේ කවර හේතුවක් නිසාද? එයට හේතුව ජීවිතයේ කවර වැඩක් කළ ද සතුටක් නැත්නම් පලක් නොමැති බව යේල් සරසවියේ සිසු සිසුවියන් තේරුම් ගැනීමය. අනෙක් අතට මේ පාඨමාලාවේ නිර්මාතෘවරිය සහ ගුරුවරිය වන මහාචාර්ය ලෝරි සන්තෝස් තරුණ මහාචාර්යවරියගේ මඳ සිනහවෙන් යුතු ඉගැන්වීම ශිෂ්‍ය ප්‍රජාව ආකර්ෂණය කර ඇත.

සතුටින් සිටීමට නම් සච්ෙතනික උත්සාහයක් අවශ්‍යයි. ඒක විද්‍යාවෙනුත් ඔප්පු කරලා තියෙනවා. ඇමෙරිකාවේ යේල් සරසවියේ මනෝ සහ ප්‍රජනන විද්‍යාව පිළිබඳ මහාචාර්යවරිය වන ලෝරි සන්තෝස් කියන්නීය. “සතුටෙන් ඉන්න එක පහසු නැහැ. අපි ඒකට කාලයක් යොදවන්න ඕන.” ඇය පවසන්නීය.

ධනාත්මක මනෝවේදයේ මූලධර්ම පදනම් කරගෙන තම පාඨමාලාව සකසා ඇති මහාචාර්ය ලෝරි සන්තෝස් වැඩිම අවධානයක් දිනාගත් සරසවි ආචාර්යවරිය බවට පත්ව සිටින්නීය. එපමණක් නොව සරසවි ඉතිහාසය තුළ වැඩිම ශිෂ්‍ය සංඛ්‍යාවක් බැඳුණු පාඨමාලාව බවට ඇගේ සතුටු වීමේ කලාව උගන්වන ක්‍රමවේදය ජනප්‍රිය වී තිබේ. එමගින් ඇය සරසවි ඉතිහාසයේ වාර්තා පිට වාර්තා තබා ඇත.

ඇත්තෙන්ම ඇය උගන්වන සතුටු විද්‍යාවේ මූලධර්ම අපේ එදිනෙදා ජීවිතයට ගළපාගන්නේ කෙසේද? ඒ සඳහා අප කළ යුත්තේ කුමක්ද? “සතුටෙන් සිටීම එකවරම සිදුවන දෙයක් නම් නොවෙයි. එය වර්ධනය කළ යුතු, ප්‍රගුණ කළ යුතු කලාවක්. ඒක හරියට සංගීතඥයෙක්, මලල ක්‍රීඩකයෙක්, ක්‍රිකට් ක්‍රීඩකයෙක්, පිහිනන්නෙක් නිතර නිතර පුහුණු වී සාර්ථක වෙනවා වගේ වැඩක්. අපිත් ඒ වගේ සතුටින් සිටීමේ කලාව නිතර පුරුදු පුහුණු කරන්න ඕනෙ. ඒක ඉබේ ප්‍රගුණ වෙන්නේ නැහැ.” ලෝරි කියන්නීය.

මහාචාර්ය ලෝරි සන්තෝස් සතුටෙන් සිටින ක්‍රමවේදය ගැන තම සිසු සිසුවියන්ට සතියකට දෙවරක් උගන්වන්නේය. ඇය සඳහන් කරන්නේ තමන්ගේ පෞද්ගලික වැඩක් වශයෙන් සලකා සතුටු පාඨමාලාවේ දේශනවලට පැමිණෙන්නැයි කියාය. යේල් සරසවියට ඇතුළු වීමට නොහැකි අයට ද මෙම පාඨමාලාවට එක්වීම සඳහා පහසුකම් සලසා තිබේ.
කොහොම නමුදු මහාචාර්ය ලෝරි සන්තෝස් සඳහන් කරන පරිදි සතුටින් සිටීම සඳහා දිනපතා අවධානය ලක් කළ යුතු කරුණු කිහිපයකි. ඒ කරුණු මෙසේය.

1. කෘතඥතාව දැක්වීමට ලැයිස්තුවක් සැකසීම.
මෙමගින් ඇය උගන්වන්නේ හැම රැයකම නින්දට පෙර අප කෘතඥතා ලැයිස්තුවක් සැකසිය යුතු බවය. එදා දවස සාර්ථක කර ගැනීම සඳහා තමන්ට උදව් කළ අයගේ නම් ඇතුළත් කර ඔවුනට කෘතඥතාව පළ කිරීම මෙකී ලැයිස්තුවේ අරමුණයි. මෙය මතුපිටින් බලන කල පහසු දෙයක් සේ පෙනුණත් එය එතරම් සරල දෙයක් නොවන බව ලෝරි කියන්නීය.

2. දිගු වේලාවක් හොඳින් නිදාගැනීම.
ලෝරි සන්තෝස් සඳහන් කරන පරිදි ඔබ අවම වශයෙන් පැය 8ක්වත් දවසට නිදාගත යුතුය. එවැනි සාර්ථක දිගු නින්දක් සතුටින් ජීවත්වීම සඳහා අවශ්‍ය බව ඇය අවධාරණය කරයි. එවැනි දිගු කාලයක් නිදාගැනීම මුග්ධ ක්‍රියාවක් සේ සමහරුන්ට පෙනුණත් ආතතියෙන් තොර ජීවිතයක් සඳහා එය අත්‍යවශ්‍ය කරුණකි.

3. භාවනා කිරීම.
දිනකට විනාඩි දහයක්වත් භාවනා කළ යුතු බව මහාචාර්ය ලෝරි සන්තෝස් සඳහන් කරයි. ඇය ඇයගේ ජීවිතය පටන් ගන්නේ භාවනා කිරීමෙනි. පාසල් සහ සරසවි ශිෂ්‍යාවක් ලෙස අඛණ්ඩව භාවනාව ප්‍රගුණ කළ නිසා තමන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථක කර ගැනීමට හැකි වූ බව මහාචාර්ය ලෝරි සන්තෝස් පෙන්වා දෙයි. භාවනා කිරීම පෙරදිග සංස්කෘතියට හුරු අපට අමුතු දෙයක් නොවේ. එහෙත් අපේ වැනි රටවල භාවනාව හුදෙක් සාම්ප්‍රදායික චාරිත්‍රයක් බවට පත්ව තිබේ. මෙහි භාවනාව නමින් බොහෝ විට උගන්වන්නේ වචන උච්චාරණය කිරීමය. එසේ වුවද බුදු දහම පෙන්වා දෙන සතිපට්ඨාන භාවනාව මගින් උගන්වෙන්නේ ජීවිතයේ මේ මොහොත පිළිබඳ මනා සිහිය හා දැනීම ඇතිකර ගැනීමය. ලෝරි සන්තෝස් ද තම ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට උගන්වන්නේ මෙවැනි භාවනාය.

4. පවු‍ලේ අය සමග වැඩිපුර කාලය ගත කිරීම.
ජීවිතය සතුටින් ගත කිරීමට නම් පවු‍ලේ දූ දරුවන්, අඹුදරුවන්, නෑ හිතමිතුරන්, යහළුවන් සමග වැඩිපුර කාලය ගතකළ යුතු බව ලෝරි සන්තෝස් අවධාරණය කරයි. එසේ පවු‍ලේ අය සමග හොඳට කාලය ගත කරන අය වඩාත් සතුටින් පසුවන බව නවතම සමීක්ෂණවලින් ද තහවුරු වී ඇතැයි ඇය කියයි. ඉතා හොඳ මානව සම්බන්ධතා එමගින් ගොඩනැගේ. අප අපගේ මානව සබඳතා ගොඩනගා ගැනීම ආරම්භ කළ යුත්තේ පවුලෙනි. ඒවා වර්ධනය නොවන්නේ නම් සතුටින් ජීවත් විය නොහැකිය.

5. ඔබේ කාලය ගත කරන ආකාරය පිළිබඳ සවිඥානික වන්න.
කාලය නමැති සාධකය නොතකා ජීවිතය සතුට කරා ගෙන ගිය නොහැකි බව මහාචාර්ය ලෝරි පෙන්වා දෙයි. කාලය මැනවින් කළමනාකරණය කර ගැනීම පුද්ගලයකුගේ ‍පොහොසත් බව මනින ප්‍රධානම සාධකය බව ඇය උගන්වයි. හුදෙක් මිල මුදල් මගින් ‍පොහොසත්කම මැනිය නොහැකිය යන්න එහි අරුතය. කෙතරම් මිල මුදල් තිබුණත් කාලය මැනවින් කළමනාකරණය කරගත නොහැකි නම් ඒ කිසිවකින් ජීවිතයට පලක් නැති බව ඇය පෙන්වා දෙයි. මේ කරුණුවලට අමතරව අපගේ ජීවිතය සතුටෙන් ගත කිරීමට නම් අන්තර්ජාල සබඳතා ඉතාම අඩුකර සැබෑ මානව සබඳතා ඇතිකර ගැනීමට ප්‍රමුඛ අවධානයක් දැක්විය යුතු බව මහාචාර්ය ලෝරි සන්තෝස් පෙන්වා දෙයි. අන්තර්ජාල සබඳතාවලට වැඩි අවධානය යොමු කිරීම නිසා බිහිවන්නේ ආතතියෙන් පිරුණු පුද්ගලයකු බව ඇය සඳහන් කරයි. එය සැබැවින්ම අපට පැහැදිලි කරගත හැකි කරුණකි. අන්තර්ජාල සබඳතා නිසා මානව සම්බන්ධතා වියැකී තිබේ. බස්රියක, දුම්රියක ගමන් කළත් අපට පෙනෙන්නේ තම අසුනේ අනෙකා ගැන නොතකා සුහුරු දුරකථනයකින් අන්තර්ජාලයේ සැරිසරන ගැහැනුන් හා මිනිසුන්ය. මේ අය ගෙදර ගියත් කරන එකම කාර්යය අන්තර්ජාලයේ සැරිසැරීමය. එය බොහෝ මානව ගැටලු ඇති වීමට හේතු වී තිබේ.

සමාජජාල මාධ්‍ය භාවිත කරන අයට වඩා ඒවා භාවිත නොකරන අය සතුටෙන් ඉන්න බව තහවුරු වී තිබේ යැයි මහාචාර්යවරිය සඳහන් කරයි. “සතුටින් ජීවත්වීමට නම් කෘතවේදී වෙන්න. ගෙදර පවු‍ලේ සාමාජිකයන් සහ යහළුවන් සමග කාලය ගත කරන්න. අඩුම තරමින් දවසට විනාඩි පහක්වත් භාවනා කරන්න. අන්තර්ජාල සබඳතා අක්‍රිය කර ඒ කාලය නිදාගැනීමට යොදවන්න.” මහාචාර්ය ලෝරි සන්තෝස් සඳහන් කරන මේ කරුණු ඔබගේ ජීවිතයට ද යොදා ගන්නේ නම් අලුත් අවුරුද්දේ සිට ඔබේ ජීවිතයට ද සතුට ළඟාවනු ඇත.

වරුණ අබේසේකර