ලොව සෑම ජාතියක්ම තම තමන්ගේ සංස්කෘතික ගති ලක්ෂණ ගෙන හැර පෑම සඳහා වසරේ එක් එක් දිනවල උත්සව පවත්වති. හෙළයන් ඒ සඳහා උපයෝගී කොට ගත්තේ බක් මහයි. සිංහල සංස්කෘතිය එක්තැන් කොට ජය මඟුල් පවත්වන බවක් මහ උළෙල ජාතියේ පේ‍රෟඪත්වය හකුළා දක්වන උළෙලක් වශයෙන් හැඳින්වීමද නිවැරදිය.

සූර්යයා ගුරු කොට සැලකු ජාතීන් විසින් මීන රාශියෙන් මේෂ රාශියට සූර්යා සංක්‍රමණය වන දිනය වශයෙන් හඳුන්වන සිංහල අලුත් අවුරුදු දිනය උසස් කොට සැලසීම ඈත අතීතයේ පටන් පැවත එන්නකි.

හෙල ජාතියේ මහා උළෙල කවදා ඇරඹුණක්ද යන්න නිශ්චිත වශයෙන් පැවසීම අසීරුය. දින 365ක් ගෙවී දින 365 කට අඩිතාලම දැමීම මෙදින සිදුවේ. මේ දිනය ඉතා උසස් කොට සලකමින් විවිධ චාරිත්‍රවල යෙදෙන අයුරින් අපට පෙනී යන්නේ ජීවිතයේ නව පරිච්ජේදයක්, කඩඉමක් ලෙස සැලකෙන බවයි. වසරක් ගෙවී ඒ ගෙවී ගිය වසර දෙක ආපසු හැරී බලා, ඒ කාලපරිච්ජේදය තුළ සිදු වූ සිදුවීම් පිළිබඳ අවලෝකනයක යෙදී අඩුපාඩු සපුරාගෙන නිවැරදි වීමත්, සිදුවන වැරදි සකස් කොට ගැනීමත්, ජීවිතයට අලුත් පදනමක් උදෙසා ආශිර්වාද ලබාගැනීමත් මෙදින සිදු කෙරෙන කාර්යයන්ය. ලැබූ නව වසර දැහැමින් ජීවත්වීමට ඉටා ගැනීම සුබ ලක්ෂණයකි.

ජාතියේ හැම උළෙලක්ම ඇරඹුණේ සශ්‍රීකත්වය උදෙසාය. අස්වනු කපා නෙළා ගැනීමෙන් පසු එයට උපහාර දැක්වීම සඳහා විවිධ පූජා විධි සිරිත් විරිත් පැවැත් වූ හා දැනට පවත්වන බව රහසක් නොවේ. මේ අනුව බක් මහ උළෙල පවත්වන්නේද සශ්‍රීකත්වය පාදක කොටගෙනය. මෙය බොහෝ දුරට සනාථ වන්නේ බක් මාසය මලින් බර නන් මලින් පිරි අස්වැන්න නෙළා ගත් අටුකොටු පිරුණු සමයක් වශයෙන් සලකන හෙයිනි. සෑම මිනිස් හදවතක්ම ප්‍රබෝධමත් වී ජීවන සුවඳක් උද්වහනය කිරීමට තරම් ස්වභාවයක් බක් මහේදී දක්නට ලැබිම විශේෂත්වයකි.

සශ්‍රීකත්වයෙන් අද්දාමයට පත් වූ හෙළයා විවිධ සිරිත් විරිත් හා ඒ පී්‍රතිය ප්‍රකාශ කිරීම වස් ක්‍රීඩා රාශියක යෙදෙන බව ඉතිහාසය දෙසට නෙත් යොමු කළ විට සනාථ වේ. පෙර රජ දවස අවුරුදුදා අනුගමනය කළ අවුරුදු චාරිත්‍ර අද බොහෝදුරට අභාවයට ගොස් තිබිම කනගාටුවට හේතු වන්නකි. සිංහල රජ දවස අවුරුදු උළෙල කොතරම් උත්කර්ෂවත් අන්දමට පැවැත්වූවාද යන්න රොබට් නොක්ස් නැමැති ඉංග්‍රීසි ජාතිකයා විසින් ලියන ලද එදා හෙළ දිව නමැති කෘතියේ මෙසේ සඳහන්ව ඇත.

රජ්ජුරුවෝ ඉස්සෝදා නා පියා ස්වර්ණාභරණ විභූෂිතව සන්නාහ සන්නද්ධව, පෙළ ගැසී සිටගත් බල සෙනඟ පරීක්ෂා කිරීම සඳහා මාළිගාවෙන් නික්මෙති. එම මොහොතෙහි ආචාර වෙඩි මුර කිහිපයක් තබනු ලැබේ.

ඉක්බිත්තෙන් අදිකාරම් දිසාපති ආදී රජයේ උසස් නිලධාරීහු තම තමන්ගේ ස්ථානාන්තර වශයෙන්ද රට හා දිසා වශයෙන්ද අලුත් අවුරුදු පෙනුම්කත් සඳහා ගෙන එනු ලබන ද්‍රව්‍ය අතර රත්රන් ආභරණ ලෝහමය තැටි අවි ආයුධ පිහියා හා වස්ත්‍රාදිය ද වෙයි. මහ රජුට පරිත්‍යාග කිරීම සඳහා මෙබඳු පඬුරු නැති තැනැත්තෝ මුදල් ප්‍රදානය කෙරෙති.
ජෝන් ඩේව් සඳහන් කරන අන්දමට එදා රජ වාස‍ලේ සිංහල අවුරුදු උළෙල දා ප්‍රධාන තැනක් ගත්තේ රාජ්‍ය වෛද්‍යවරයා හා ෙදෙවඥයායි. රාජ්‍ය වෛද්‍යවරයාට අයත් කාර්ය වූයේ නව ඖෂධ යුෂ යොදා කුඩා මුට්ටි 10ක් නාථ දේවාලයේදි පිළියෙල කිරීමයි. රාජ්‍ය ෙදෙවඥයා සුභ මුහුර්තයන් හයක් සඳහා නැකැත් වට්ටෝරුවක් පිළියෙල කළේය. ඒ නැකැත් වට්ටෝරුව අනුව

අලුත් අවුරුද්ද පටන් ගන්නා දිනය හා මොහොත
නානු මුර මංගල්‍යය පැවැත් විය යුතු නැකැත
ආහාර අනුභවයට සුදුසු නැකැත
වැඩ ඇල්ලීමට සුදුසු නැකැත
ස්නානයට සුදුසු නැකැත
රජුට තෑගි බෝග පිරිනැමීමට සුදුසු නැකැත සඳහන් කෙරෙයි.

නැකැතට මුල් තැන දීම සිංහලයන් තුළ එදා සිට පැවැතගෙන ආ සිරිතකි. අලුත් අවුරුදු සමය තුළ නැකැතට ප්‍රමුඛස්ථානයක් දී කටයුතු කිරීම අනුව අලුත් සැලියක් ගෙන කිරිබත් පිසීම ප්‍රථමයෙන්ම සිදුවන්නකි. පිසින ලද කිරිබත් කුල සිරිතට අනුව පවු‍ලේ වැඩිහිටියා වන පියාගේ දෝතින්ම ගෙන අනුභව කිරීම සිංහල අවුරුද්ද දා සිදුවන විශේෂ කාර්යයකි. මෙයින් අප බලා‍පොරොත්තු වන්නේ නිරෝගී ජීවිතයක් ගත කිරීමත් නිර්ආබාධිතව ලැබූ නව වසර හොඳින් ජීවත් වීමය. වැඩ අත්හැරීම, ආහාර පිසීම, ආහාර අනුභවය, ගනුදෙනු කිරීම, අලුත් වස්ත්‍රවලින් සැරසීම, හිසතෙල් ගෑම, නෑගම් යාම, රැකියා සඳහා පිටත්වීම ආදී සියල්ලම සිදු කරන්නේ නැකැතට අනුවය.

මේ සිංහල සිරිත් විරිත් කිසියම් ජාතියකින්, සංස්කෘතියකින් ණයට ගත් ඒවා නොවේ. සිංහලයා බුදු සමයෙන් ලද හික්මීම අනුව අදීන හා සරල සිරිත් විරිත්වලට යොමු වූ බව පෙනේ. මෙම සිරිත් විරිත් වසර ගණනාවක් මුළුල්‍ලේම අඛණ්ඩවව පවත්වාගෙන එන්නේත් එහි ප්‍රතිඵල වශයෙන් මේ සිංහල සිරිත් විරිත් ලොව සංස්කෘතික ලක්ෂණ අතර ඉහළින් කැපී පෙනෙන්නේත්, පේ‍රෟඪත්වයෙන් ඉස්මතු වී ඇත්තේත් ප්‍රබල සංස්කෘතියක් අප සතුව ඇති බැවිනි. අවුරුදු සමය තුළ බුලත් හුරුල්ලට හිමිවන්නේ වැදගත් ස්ථානයකි. ගෙවීගිය වසර තුළ සිදු වූ මතභේද, අමනාපකම්, දුර්මත දුරලා දෙගුරුන්ට හා වැඩිහිටියන්ටද වැද පුදා ලැබූ නව වසර තුළ හොඳ හිත ලියලා යාමට හා ආශිර්වාද ලබා ගැනීමට මහත් අනුබලයක් බුලත් හුරුල්ලෙන් ලැබේ.

ගමේ පන්සලට ගොස් එහි නායක හාමුදුරුවන් බැහැ දැක බුලත් හුරුල්ලක් දී වැඳීම බෞද්ධයන් වන අප අතින් සිදුවන තවත් වැදගත් චාරිත්‍රයකි. පන්ස‍ලේ නායක හාමුදුරුවන්ගෙන්ද අප බලා‍පොරොත්තු වන්නේ යහපත් ජීවිතයකට අනුශාසනය හා ආශීර්වාදයන්ය.Untitled-3

දරුවන් දෙගුරුන්ටත්, සේවකයන් ස්වාමිවරුන්ටත් ගෝලයන් ගුරුවරුන්ටත්, බාලයන් වැඩිහිටියන්ටත්, දායකයන් හාමුදුරුවන්ටත් තම තමන්ගෙන් ඉටු විය යුතු යුතුකම් එපරිද්දෙන්ම ඉටුකිරීමට සිංහල අවුරුද්ද තුළදී අමතක නොකරයි.

අවුරුද්ද ළඟාවෙත්ම සියලුම නිවෙස්වල සුදු හුණු ගෑම, ගොම මැටි ගෑම ආදියෙන් පිරිසිදු කිරීමෙන්ද අපට සිතා ගත හැක්කේ සිංහල අවුරුද්ද හැම ජීවිතයක් තුළින් නැවුම් බවක් දැනවීමට සමත් වන බවයි. ළිඳ ඉඳුල් කර දසමහ දෝෂ එළියට දැමීම ආදී පෞරාණික චාරිත්‍ර විධිද අදත් රැකීමට සිංහල අවුරුද්දේදී ඇතැම් ප්‍රදේශවල ජනයා අමතක නොකරති. නව සඳ බැලීම වැනි සිරිත්වලින් අපේක්ෂා කරන්නේද ජීවිතය සෞභ්‍යාගමත් කරගැනීමයි. පුංචි නිවහනේ සිට මහා මන්දිරය දක්වාද දුප්පතුන්-‍පොහොසතුන් අතර කිසිම භේදයක් නොමැතිව සිනහවෙන් මුව පුරවාගෙන සිංහල අවුරුදු සිරිය එක ලෙසින් භුක්ති විඳීම ජාතියක් වශයෙන් සතුටට පත් විය හැකි කරුණකි.

කොහාගේ සුමිහිරි නාදයත්, එරබඳු මල්වල පිපීමත්, සිංහල අවුරුදු චාරිත්‍රවලට මුල පිරීමකි. වසරක් ගෙවී තවත් වසරක් එළැඹෙන තැන චාරිත්‍රවලට මුල පිරීමක් වශයෙනි. සතුට සියල්ලන් අතර බෙදා දෙන ඊර්ෂ්‍යාව, ක්‍රෝධය, ආදිය තුරන් කර සාමූහිකව ජීවත්වීමට අවුරුදු චාරිත්‍රවලින් ලැබෙනුයේ මහත් අනුබලයකි.

නිරෝගී ජීවිතයක් උදෙසා නිරෝගිමත් වැඩිහිටියකු ලවා නැකැතට හිසතෙල් ගෑම සිංහල අලුත් අවුරුදු චාරිත්‍රවල අවසාන පුරුක වශයෙන් හැඳින්විය හැකිය.