21 වැනි ‍පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල අද (13) ගෝල්ඩ් කොස්ට් නුවරදී නිමාවනුයේ විචිත්‍රවත් සමාරම්භක උළෙලකිනි. කෙසේ වුවත් රටවල් 71ක් සහභාගි වන මෙම ක්‍රීඩා උළෙ‍ලේදී පසුගිය වසර ස්කොට්ලන්ත ග්ලාස්ගොව් ක්‍රීඩා උළෙලට වඩා යම් ප්‍රගතියක් ශ්‍රී ලංකා පිල ලබා තිබුණේ පදක්කම් මල්ල වැඩිකර ගනිමිනි. සුදේශ් පීරිස් බර ඉසිලීමෙන් 20 වැනි ‍පොදුරජ මඬුලු ක්‍රීඩා උළෙ‍ලේ ලැබූ එකම බර ඉසිලීමේ පදක්කම ලබා පෙරළා පැමිණි අතර මෙවරද බර ඉසිලීම එම බර කරට ගැනීම නොවන්නට ශ්‍රී ලංකාවට හිස් අතින්ම ගෙදර ඒමට සිදුවනු ඇත.

කෙසේ වෙතත් බර ඉසිලීමෙන් මුල් දින දෙක තුළම ලෝකඩ පදක්කම් 2ක් හා රිදී පදක්කමක් ලැබූ ශ්‍රී ලංකා පිල සවිමත් කිරීම බොක්සිං පිල ද සමත්වීම සතුට කරුණකි. පිහිනුම් ක්‍රීඩාවේ මැතිව් අබේසිංහ ශ්‍රී ලංකා වාර්තාවක් සමගින් පෙරට ඒම සහ 21 හැවිරිදි මිහිලියා මෙත්සරණි ස්කොෂ් ක්‍රීඩාවෙන් පළඟ ශූරතාවට අමතරව පැමිණ 18 වැනියා ලෙස තරගාවලිය නිම කිරීමද කැපී පෙනුණි.

වසර 68 කට පසුව ශ්‍රී ලංකාවට බොක්සි ක්‍රීඩාවේ ‍පොදුරාජ්‍ය මණ්ඩලීය පදක්කමක් ලබාදුන් අනූෂා කොඩිතුවක්කු එම දක්ෂතාවය කරනු ලැබූ ප්‍රථම ශ්‍රී ලංකා කාන්තාව වීමද කැපී පෙනේ.

මගේ සිහිනය සැබෑ වුණා. මම මේක බලා‍පොරොත්තුවෙන් හිටියේ. මේ ‍පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙ‍ලේ කි ග්‍රෑ. 48 බර පන්තියේ ලෝකඩ පදක්කම මුලින්ම තහවුරු කරගත් අනූෂා කොඩිතුවක්කු පැවසූ හැඟීම් බර වදන්ය. ඇය සතුටු කඳුළු වගුරවමින් මෙසේ පැවසුවේ නොකා නොබි තම ශරීර බර පාලනය කරගනිමින් මෙවර පදක්කමක් ලැබිමේ සතුට සමගය.

වසර 2010 දිල්ලි පැවැති ‍පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙ‍ලේ බොක්සිං රිදී පදක්කම ලැබු මංජු වන්නිආරච්චි එය අහිමි කර ගත්තේ තහනම් උත්තේජක ගැනීමේ වරදකට ලක්වීමෙනි. එහෙත් බොක්සිං සංගම් ප්‍රධානි ඩයාන් ගෝමස් මෙවර යම් සැලසුමකින් පැමිණීමේ ප්‍රතිඵලය පදක්කම් ලැබිමය. දිනිදු සපරමාදු, තිවංක රණසිංහ මේ ලියන මොහොත වනවිට අර්ධ අවසන් පූර්ව වටයේ සිටි අතර ඔවුන් අවසන් පූර්ව වටයට බොක්සිං ක්‍රීඩාවේ පැමිණීම වරම් ලබා ගැනීමේ සටනක නිරත වීම සඵල වුවහොත් ලෝකඩ පදක්කමට වඩා ඉහළ පදක්කමක් ලැබිමට හැකියාව තිබුණි.

මොවුන් සියල්ලන්ගේම වදන් වූයේ රන් පදක්කම ලැබිමට සටන් කරන බවයි. ඒ සඳහා උත්තේජනය ඩයාන් ගෝමස් සභාපති ලෙස දුන්නේ පුහුණුකරු හර්ෂ කුමාර සමගින් හොඳ සැලසුමකිනි.

ආර්. බි. වික්‍රමසිංහ ජාතික බර එසවීමේ පුහුණුකරු ගැන වැඩි යමක් කිව යුතුමය. මුල්ම ලෝකඩ පදක්කම කි. ග්‍රැ. 56 බර පන්තියෙන් චතුරංග ලක්මාල් ලැබූ අතර දෙවැනි ලෝකඩ පදක්කම් හංසනී ගෝමස් කි. ග්‍රැ. 48 බර පන්තියේ ලැබුණේ ලක් ඉතිහාසයේ ප්‍රථම කාන්තා බර ඉසිලීමේ ‍පොදු රාජ්‍ය මණ්ඩලීය පදක්කම ලෙස වාර්තා ‍පොතට ඇතුල් වෙමිනි.

එතැනින් නොනැවතුන බර ඉසිලීමේ ක්‍රීඩකයෝ ඉන්දික දිසානායක කි. ග්‍රැ. 69 රිදී පදක්කම ගැනීමත් සමග තවත් සවිමත් වූයේ මෙවර පදක්කම් සටහනේ තවමත් ඉදිරියට එමිනි.

දිසානායක තමාගේ උපරිම දක්ෂතාවට පැමිණියේ නම් රන් පදක්කම ලැබිමට හැකියාව තිබුණුද එය අවසන් මොහොතේ මගහැරීම අවාසනාවකි.

26 හැවිරිදි හංසනී ගෝමස් රිවිරට පැවසුවේ දැඩි ආර්ථික අපහසුතා මධ්‍යයේ මෙවර ලෝකඩ පදක්කමක් ලැබිමට සතුටට හේතුවක් බවයි. ඇය වාද්දුව ප්‍රදේශයේ ක්‍රීඩිකාවක් වූ අතර පියා වෘත්තීය පෙදරේරුවෙකි. වැඩිමහල් සහෝදරයා මෙන්ම බාල සහෝදරයාට රැකියාවක් නැති නිසා ගුවන් හමුදාවේ කාන්තා සෙබළියක් ලෙසට හංසනීට පවු‍ලේ බරද එකතුවීමට සිදුවීම තුළ ලෝකඩ පදක්කමක් ලැබුණු නිසා පවු‍ලේ බර තුනී වූවා නම් මනසට තවත් සැහැල්ලුවක් වන නිසා රිදී, රන් පදක්කම් ගමනටද රුකුලක් වනු ඇත.

උඩුගම්‍පොල, උක්ගල්ගොඩ, පාස‍ලේ අධ්‍යාපනය ලැබූ චතුරංග යුද හමුදාවේ 4 වැනි කමාන්ඩෝ රෙජිමෛන්තුවේ සේවය කරන අතර අහම්බෙන් ක්‍රීඩාව යොමුව මෙවර ප්‍රථම ‍පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා පදක්කම ලැබිමද පිටුපස දුක කතාවකි. දරුවන් දෙදෙනෙකුගේ පියකු වූ චතුරංග තම බිරිය හා දෙමව්පියන්ට වඩාත් කෘතවේදීත්වය පළකළේ ඔහුගේ කැපවීම නිසා දැඩි දුක් දෙමින් මෙම ක්‍රීඩාවේ යොමුවීම නිසාය.

ඉන්දික දිසානායක නාවික හමුදාවේ සේවයට මහනුවර සිට පැමිණ දැනට කඩවත මාවරමණ්ඩිය ප්‍රදේශයේ පදිංචි වී සිටින දිරිය ක්‍රීඩකයෙකි. ඔහුගේ මෙම ප්‍රථම ජාත්‍යන්තර පදක්කම නොවුණද ‍පොදුරජ මඬුලු ක්‍රීඩා උළෙලක ප්‍රථම පදක්කම වීම කැපී පෙනේ. මේ සියලු බර එසවීමේ ක්‍රීඩකයන් වඩාත්ම කෘතවේදීව මතක් කළේ පුහුණුකරු ආර්. බි. වික්‍රමසිංහය.
කෙසේ වුවත් හැම ක්‍රීඩාවකටම විදෙස් පුහුණුකරුවකු ඉල්ලන මේ වකවානුව දේශීය පුහුණුකරුවකු ලෙස ආර්. බි. වික්‍රමසිංහ මේ වනවිටත් වැඩි ජාත්‍යන්තර පදක්කම් ප්‍රමාණයකට දායක වීම තුළ අනෙක් ක්‍රීඩාවන්ටද තිබි ඇත්තේ දේශීයව හොඳ පුහුණුකරුවෙකුට නිසි යටිතල පහසුකම් ලබාගතහොත් කළ නොහැක්කක් නොමැති බවය.

සාමාන්‍යයෙන් පදක්කම නැතිවීම චෝදනාවට ලක්වන ආයතන දෙකකි. ඒ ජාතික ඔලිම්පික් කමිටුව හා ක්‍රීඩා අමාත්‍යංශයයි. ක්‍රීඩා ඇමැති දයාසිරි ජයසේකර දින 2කට පැමිණ හදිසියේ දේශපාලන කටයුතුවලට මුල්තැන දෙමින් පෙරළා ගියේය. එහෙත් ඔලිම්පික් කමිටු සභාපති සුරේශ් සුබමනියම් තමන් නව තනතුරට පත්ව මාසයක් ගතවන විට මෙම ක්‍රීඩා උළෙ‍ලේ පදක්කම් ගන්නා අයුරු බැලීමට සිටීම සතුටට කරුණකි.

රිවිර සමග ඔලිම්පික් ප්‍රධානි පැවසුවේ හිටපු සභාපති හේමසිරි ප්‍රනාන්දු හා ‍ලේකම් මැක්ස්වෙල් ද සිල්වා ප්‍රමුඛතම නිලධාරීන් ගත් උත්සාහයේ ප්‍රතිඵල මෙවර ලැබූ බවත් තමා ඉදිරියේදී මෙම තත්ත්වය වඩාත් වර්ධනයට පියවර ගන්නා බවත්ය. නිලධාරීන් ක්‍රීඩකයන් පිටුපස සිටීම වැදගත්ය. නමුත් මෙය සංචාරයක් ලෙසට පමණක් කරමින් පෙරළා යන්නේ නම් ලාංකේය ක්‍රීඩාවේ හෙට දිනයට කිසිම සෙතක් වනු නොහැක. අවාසනාවකට ක්‍රීඩා අමාත්‍යංශ ඉහළ නිලධාරියෙක් සංචාරය අතරමැද නිරීක්ෂකයකු ලෙස එක්ව නැවත යන බව අනාවරණය විය. සමහර නිරීක්ෂකයින් ක්‍රීඩා පිටිවල සිටිනවාට වඩා කඩවල, වීථිවල සංචාරයට ගොස් තිබුණි. ගෝල්ඩ් කොස්ට් වලට ගිය සමහර ඇත්තෝ ටික වේලාවකට පසුව සිටියේ මෙල්බෝන්, සිඩ්නි, පර්ත්, ඇඩි‍ලේඩ්වලය. මෙවැන්නන්ගෙන් හොඳ නිරීක්ෂණ වාර්තාවක් ක්‍රීඩා ඇමැතිට ලැබිය හැකිද යන්න ප්‍රශ්නාර්ථයකි.

සමස්තයක් ලෙස සත්කාරක ඔස්ට්‍රේලියාව පදක්කම් සටහනේ පෙරමුණ ගත් අතර එංගලන්තය, කැනඩාව මෙන්ම අසල්වැසි ඉන්දියාවද ඉදිරියට එද්දී අපේ ශ්‍රී ලංකාවෙන්ද මෙවර පදක්කම් කිහිපයක් හෝ ලබා පදක්කම් සටහනේ දිස්වීම සතුටට කරුණකි.

ධම්මික රත්නවීර
ඔස්ට්‍රේලියාවේ
ගෝල්ඩ්කොස්ට්
නුවර සිට

ඡායාරූප – තුසිත් විජේදෝරු

Untitled-7