සිංහල කැවිලි පෙවිලි කියන්නේ සිංහල අලුත් අවුරුද්දේ නැතුවම බැරි දෙයක්. කැවුම් කොකිස් අතිරස, ආස්මි ආදියෙන් හැම නිවසකම කෑම මේස පිරී ඉතිරී තිබෙන කාලයක් තමයි සිංහල අලුත් අවුරුද්ද. ඒ විතරක් ‍නෙවෙයි අවුරුදු කා‍ලේ වැඩියෙන් කැවෙන තවත් දෙයක් තමයි කේක් වගේ රස කෑම.

සිංහල අලුත් අවුරුද්ද ගෙවිලා ඉවරවෙලා දින කීපයක් යනතුරුම ගෙවල්වල  කැවුම් කොකිස් කේක් ඉවර වෙන්නෙ නැහැ.

කැවුම්, කොකිස්, අතිරස කේක් වගේම තවත් කැවිලි වර්ග රැසක් ආහාරයට ගැනීමට වැඩි ඉඩකඩක් ලැබෙන්නේ සිංහල අලුත් අවුරුද්දට නිසාම ඒ කාලයට ඒවා වැඩිපුර ආහාරයට එකතුකර ගන්න අපි කැමතියි. දියවැඩියාව වකුගඩු ආබාධ, හෘද රෝග, අධික රුධිර පීඩනය වැනි රෝගවලට ගොදුරුවූ ප්‍රතිකාර ගන්නා හෝ නොගන්නා බොහෝ පිරිසක් අපි අතර ඉන්නවා.

“කැවුමක් කන්න ලැබෙන්නේ මේ කා‍ලේ විතරනෙ” “අවුරුදු ඉවරවෙලා ‍පොඩ්ඩක් පාලනය කරගන්නවා”  මේ වගේ කතා අපට බහුලව අහන්න ලැබෙනවා.

“අවුරුද්දටම එක සැරයයිනේ කියලා මේවගේ ආහාර ගන්න එක ඉහත රෝගවලට  ගොදුරු වූ අයට හිතකර ද කියලා අපි සොයා බැලුවා.

මෙවර ‘රිවිර’ ඉරිදා සංග්‍රහයට  අදහස් දක්වමින් ගම්පහ මහ රෝහ‍ලේ විශේෂඥ වෛද්‍ය මහාචාර්ය අරුණ මුණසිංහ මහතා ඒ පිළිබඳව ඉදිරිපත් කළේ මේවගේ අදහසක්.

අපි මුලින්ම බැලුවොත් නිරෝගී පුද්ගලයෙක් දෙස මේ වගේ  තෙල්, සීනි සහ පිෂ්ඨය බහුල ආහාර තරමක ප්‍රමාණයක් ආහාරයට එකතු කරගත්තට කමක් නැහැ. හැමදාම අපි මේ වගේ තෙල් සීනි බහුල ආහාර ගන්නේ නැති නිසා අවුරුදු සතියට විතරක් කනවා කියලා ඔවුන්ට හිතන්න පුළුවන්.

මෙතන මූලික ගැටලුව ඇතිවන්නේ විශේෂිත රෝගී තත්ත්වයන්ට ගොදුරු වෙමින් සිටින හෝ ගොදුරු වී සිටින පිරිසටයි. දියවැඩියාව, රුධිර පීඩනය, වකුගඩු රෝග සහ හෘද රෝග තිබෙන පිරිස විශේෂයෙන්ම මෙවැනි ආහාරවලින් ප්‍රවේශම් විය යුතුයි.

මේ වගේ රෝගීන් අවුරුද්දට විතරයි කන්නේ කියා කැවුම්, කොකිස් වැඩිපුර කෑවොත් බරපතළ ප්‍රශ්න ඇතිවෙන්න පුළුවන්.

දියවැඩියාව සහ කොලෙස්ටරෝල් අධිකකම එකම ගණයකට අයත් රෝග. ඒ අතරේ වකුගඩුත් නරක් වුණ රෝගීන් ඉන්න පුළුවන්.

ලංකාවේ සංස්කෘතියට අනුව අවුරුදු කාලෙදි භාවිත වෙන්නේ පිටි, පැණි රස, තෙල් අධික ආහාර වර්ගයි.  හුඟක් වෙලාවට සමහර මේ කැවිලි පෙවිලිවලට අමතරව නිතරම වගේ මත්පැන් භාවිතයට පෙළඹීමට පුළුවන්. මත්පැන් භාවිතයේදී ‘බයිට්’ ලෙස ආහාරයට ගන්නා අමතර අහාර ඉතාමත් තෙල් අධික, ශරීරයට අහිතකර ආහාර රස කාරකවලින් යුක්ත විය හැකියි. මෙහිදී කිව යුතුම වන්නේ ‍පොල්තෙල් යොදාගනිමින් නිවසක සාදාගන්නා ආහාර වර්ගවල අහිතකර භාවය ඉතාම අවම මට්ටමක පවතින බවයි.  නමුත් අද සමාජයේ බොහෝ පිරිස් පුරුදුවී තිබෙන්නේ ආපනශාලාවලින් ආහාර මිලදී ගැනීමටයි. එම ආපනශාලා හෝ හෝටල්වල ආහර සඳහා යොදාගන්නේ කුමන තෙල් වර්ගයක්ද කියා කිසිවකුත් දන්නේ නැහැ. අප දන්නා ආකාරයට නැවත බදින ලද අහිතකර තෙල් වර්ග ඔවුන් භාවිතයට ගන්නවා.

අප මේ පිළිබඳව තවත් කෝණයකින් බැලුවොත් සීනි, තෙල් සහ පිෂ්ඨයට  අමතරව ‘ලුණු’  කියන්නෙත් වැඩිපුර ගත්තොත් ශරීරයට අහිතකර විය හැකි ද්‍රව්‍යයක්.

විශේෂයෙන් අවුරුදු සාදවලදී ගන්නා අහාර සහ ‘බයිට්’  ලුණු අධික ලෙස යෙදූ ආහාර ලෙස හඳුන්වා දිය හැකියි.
මෙවැනි කාරණා සලකා බැලීමේදී සීනි,තෙල් පිෂ්ඨය සහ ලුණු අධික ආහාර දියවැඩියාව කොලෙස්ටරෝල් අධික රුධිර පීඩනය, හෘද රෝග වගේම වකුගඩු රෝග උග්‍ර ලෙස වර්ධනය කළහැකි ආහාර කාණ්ඩයන් වනවා.

අවසානයේ සිදුවන්නේ අවුරුද්දටම එකපාරයි කියලා ඇති තරමට ආහාර අරගෙන අවුරුද්දෙන් පසුව රෝහල්ගත වෙලා දුක්විඳින්නයි.

ඒ නිසාම මේ සියලු රෝග තත්ත්වයන් තිබෙන අය මේ කාලය තුළදී  ඉතාමත්  පරිස්සමෙන් ආහාර රටාව අනුගමනය කළ යුතු බව අවධාරණය කරන්න කැමතියි. එහිදී වෙන වෙනම තම තමන්ට වෛද්‍යවරු ලබාදී තිබෙන උපදෙස් මේ කාලයේදීත් ඒ අයුරින්ම පිළිපැදිය යුතුයි.  නැතහොත් බරපතළ ගැටලුකාරී තත්ත්වයක් නිර්මාණය වීම වළක්වාලීමට බැහැ.

මේ සියලුම රෝග එකට තිබෙන රෝගීන් සමාජයේ බහුලව දකින්නට ලැබෙනවා. එවැනි රෝගීන් ඉතාමත් අවදානම් තත්ත්වයන්ට ලක්විය හැකියි. ඔවුන් වෛද්‍ය අවවාද පිළිපැදීම අනිවාර්යයි.

ඉහත අපි හඳුන්වාදුන් විවිධ රෝගීන් අවුරුදු සමය පුරා තෙල්, සීනි, ලුණු අධිකව ආහාරයට ගෙන තිබේනම් දැන් කළ යුත්තේ ‍පෝෂණ සායන සඳහා යොමුවීමයි.

ඒ සඳහා  වර්තමානය වන විට සෑම රජයේ රෝහලකම විශේෂිත ‍පෝෂණ සායන ආරම්භ කොට තිබෙනවා. කොළඹ ජාතික රෝහ‍ලේ වෙනමම ‍පෝෂණ ඒකකයක් ආරම්භ කොට තිබෙනවා. අනෙකුත් රෝහල්වලත් ‍පෝෂණ වේදය හැදෑරු වෛද්‍යවරුන්ගෙන් සමන්විත ‍පෝෂණ  සායන තිබෙනවා. පෞද්ගලික රෝහල්වලත් මෙවැනි ‍පෝෂණ සායන තිබෙනවා. මේ ඕනෑම සායනයකින් පුළුවන් ඉදිරියේදී තමන් මොන විදිහට ද ආහාර පාලනය කළ යුත්තේ යන්න පිලිබඳව කරුණු දැනගැනීමට. ‍පෝෂණවේදීන්ගේ සහාය ලබාගනිමින් ඔවුන්ගේ අවවාද අනුගමනය කිරීම ඉහත මා සඳහන් කළ රෝගීන්ට ඉතා වැදගත්.

“අවුරුද්දට ටිකක් කාලා පස්සේ පාලනය කරගන්නවා” කියන මතය තුළින් ශරීරයේ සමතුලිත භාවයට බරපතළ හානියක් ඇතිකරන්න පුළුවන්.

උදාහරණයක් විදිහට ගත්තොත් ඇතැම් රෝගීන්ගේ රුධිරගත සීනි මට්ටම පාලනය කරන්නේ බොහෝම අමාරුවෙන්. ඖෂධ වර්ග කිහිපයක් භාවිත කරලා හැසිරීම් රටාව ආහාර රටාව පාලනය කරලා තමයි එවැනි රෝගීන්ගේ රුධිරගත සීනි මට්ටම පාලනය කරනු ලබන්නේ. එවැනි රෝගීන්ගේ පාලනය සම්පූර්ණයෙන් බිඳවැටීම භයානක තත්ත්වයක් ඇතිකිරීමට මූලික විය හැකියි.  එවැනි රෝගීන් යථාතත්ත්වයට ගැනීමට තවත් කාලයක් ගතවනවා. ඒ වෙනකොට ශරීර අභ්‍යන්තරයේ විශාල හානියක් සිදුවෙලා තිබෙන්න පුළුවන්. ඒ නිසාම මා නැවතත් අවධාරණය කරන්නේ අවුරුදු කාලය  දියවැඩියාව, කොලස්ටරෝල්, වකුගඩු රෝග, හෘද රෝග, අධික රුධිර පීඩනය සහිත රෝගීන් පාලනය විය යුතුම කාලය බවයි.

මෙහිදී අප තවත් කරුණක් පිළිබඳව වැඩි සැලකිල්ලක් දැක්විය යුතුව තිබෙනවා. ඒ කුඩා දරුවන් පිළිබඳවයි. මේ කාලයේ කුඩා දරුවන් වැඩිවශයෙන් පැණිරස ආහාරයට පුරුදු වෙනවා.
aruna
හොඳ ක්‍රියාශීලී මට්ටමක දරුවන්ට එයින් ගැටලුවක් ඇති නොවුණත් නිතර ශ්වසන රෝගවලට ගොදුරු වන දරුවන් සහ වෙනත් රෝගවලට ගොදුරු වූ දරුවන්ට අවුරුදු කාලයේ බහුලව තිබෙන සමහර ආහාර වර්ග සිසිල්බිම  සුදුසු වන්නේ නැහැ.  විශේෂයෙන් රසකාරක භාවිත කළ ආහාර ඔවුන්ට කිසිසේත්ම  සුදුසු වන්නේ නැහැ. මේ අවුරුදු කා‍ලේ අවුරුදු සාදවලට සහභාගි වීමට සහ විවිධ සංචාරවල යෙදෙන්න හුඟක් අය කැමතියි. විශාල පිරිසක් නිතැතින්ම ඒ සඳහා  යොමුවෙනවා.  විනෝදගමන් ගියවිට බොහෝ පිරිස් හෝටල්වලින් ක්ෂණික කෑමවලට යොමුවෙනවා. ඊට අමතරව හෝටල් ආහාර ඉතිරිවූවිට නැවත නැවත රත්කර භාවිත කිරීමටත් බොහෝ පිරිස් පෙළඹෙනවා. එම ආහාර හෝටල්වලත් කිහිප සැරයක් රත්කිරීමෙන් පසුව ඔබට ලබාදුන් ඒවා විය හැකියි. එවැනි තත්ත්වයක් තුළ දරුවන්ට පමණක් නොවේ වැඩිහිටියන්ටත් උදර අබාධ පාචනය වගේ රෝග ඇතිවෙන්න පුළුවන්.

ඒ නිසාම විශ්වාසයක් නැති තැන්වලින් ආහාර නොගැනීමට වගබලා ගත යුතුයි.  කුඩා දරුවන්ගේ අහාර සම්බන්ධයෙන් මේ කාලය තුළ දෙමාපියන් විශේෂ සැලකිල්ලක් දැක්විය යුතුම වනවා. විශේෂයෙන් කිව යුතු වන්නේ වැඩිපුර ජලය පානය කිරීම බොහෝ රෝගවලට ගොදුරුවීමෙන් වැළකී සිටීමට හොඳ ප්‍රතිකර්මයක් බවයි.  මීට අමතරව කිව යුතුයි මේ වෙනකොටත් පැණිරස තෙල් සහිත කැවුම්, කොකිස් බයිට් වර්ග මත්පැන් වැඩිපුර ආහාරයට එක්කර ගත් අය සිටියි නම් ඔවුන් රුධිරයේ සීනි මට්ටම, කොලෙස්ටරෝල් මට්ටම මැනගැනීම සඳහා පරීක්ෂණ සිදුකර ගත යුතුයි. වකුගඩු ගැටලු තිබෙන පිරිස් ඔවුන්ට වෛද්‍යවරයා නියම කරන ලද පරීක්ෂණ කටයුතු සිදුකර ගත යුතුයි.

අවුරුදු කාලය හෝ වෙනත් කවර කාලයක වුවත් අප ආහාර ගැනීමේදී හොඳින් සැලකිලිමත් විය යුතුයි එය ඔබේ ළඟම ආදරණීයයන් සමග තවත් කාලයක් සතුටින් ගතකිරීමට ඔබට  මගපාදා දෙනු ඇති.

නෙරංජලා වික්‍රමසිංහ