බෙල්ස් ‍පෝල්සි යනු මුහුණේ අංශභාගය ඇතිවීම සඳහා හේතුවන්නා වූ සුලභතම කාරණයයි. මෙය තාවකාලික මාංශපේෂි දුර්වලතාවක් වන අතර එක් පැත්තක මාංශපේශි දුර්වල වී එල්ලා වැටීම නිසා මුහුණේ පෙනුම වෙනස් වේ.  මෙය වේදනාකාරී විය හැකි අතර මුහුණේ ඇතිවන අසාමාන්‍ය පෙණුම නිසා රෝගියා අපහසුතාවට පත්වීම සිදුවේ. වැඩිහිටියන්ට වඩා කුඩා දරුවන් අතර මෙම රෝගය සුලභය.

හේතු හඳුනා ගනිමු
මුහුණේ ස්නායු සාමාන්‍ය ලෙස ක්‍රියා කරනවිටදී එමඟින් මොළයේ සිට මුහුණේ විවිධ ස්ථානවලට විශාල පණිවුඩ ප්‍රමාණයක් රැගෙන යයි. උදාහරණයක් වශයෙන් එක් පැත්තක ඇස් පිල්ලමක් වැසීමට කටේ පැත්තක් ඉහළට හෝ පහළට හැරවීමට, ඛිෙට ග්‍රන්ථිවලින් කෙළ ඝ්‍රාවය කිරීමට අවශ්‍ය පණිවුඩ රැගෙන එන්නේ මෙම ස්නායු මගිනි. මුහුණේ ක්‍රියාකාරිත්වය සඳහා දායක වන ප්‍රධාන ස්නායුව වන්නේ මඪඪ වැනි කපාල ස්නායුව හෙවත් වක්ත්‍ර ස්නායුවයි. මෙය මොළයේ සිට ආරම්භ වී, පහළට පැමිණ හිස් කබල පතු‍ලේ ඇති කුඩා සිදුරකින් පිට වී කන අසලට පැමිණෙයි. ඉන් පසුව ප්‍රධාන ශාඛා 5කට බෙදී නළල, ඇස ප්‍රදේශය, කම්මුල, යටි  හනුව හා බෙල්ල ප්‍රදේශවලට අදාළ පණිවුඩ රැගෙන යයි. බෙල්ස් ‍පෝල්සි තත්ත්වයකදී මෙම ප්‍රධාන ස්නායුව ඉදිමීමට හෝ තෙරපීමට ලක්වන අතර ඒ නිසා මෙම පණිවුඩය නිවැරදිව ගමන් කරන්නේ නැත. ඒ හේතුවෙන් මුහුණේ එක් පැත්තක මාංශපේශිවල තාවකාලික අංශභාග තත්ත්වයක් හෝ දුර්වලතාවයක් හටගනී.

බෙල්ස් ‍පොල්සි හටගැනීම පිළිබඳ විවිධ මත ඇත. සුලභවම ඉන්ෆ්ලුවෙන්සා,HSV-I ආදී වෛරස වෛරස ඒ අතරින් සුලභ වේ. ඊට අමතරව තදබල සෙම්ප්‍රතිශ්‍යාවක් හෝ කනේ ඇතිවන ආසාදනයක් හේතුවෙන්ද, හිසට හෝ මුහුණට සිදුවන හදිසි අනතුරු නිසාද බෙල්ස් ‍පෝල්සි හටගත හැකිය.

රෝග ලක්ෂණ
මෙම රෝග තත්ත්වයේදී සියලු රෝග ලක්ෂණ එක්වරම ඇතිවීම හෝ දින කිහිපයක් තුළ ක්‍රම ක්‍රමයෙන් වර්ධනය වීම සිදුවිය හැකිය. පළමු දින කිහිපය තුළදී රෝග ලක්ෂණ ක්‍රමයෙන් උත්සන්න වන අතර ඉන් පසු සති 2-3 ක් ඇතුළත ඒවා ක්‍රමයෙන් සමනය වී යයි.

මෙහි පහත දැක්වෙන රෝග ලක්ෂණ දක්නට හැකි වේ.
මුහුණේ එක් පැත්තක් අප්‍රාණික බව, තද ගතිය හෝ වෙව්ලන ගතියක් දැනීම
මුහුණේ එක් පැත්තක් එල්ලා වැටීම (විශේෂයෙන්ම මුඛයේ එක් පැත්තක් පහතට හැරී තිබිම)
එක් ඇස් පිල්ලමක් වැසීමට නොහැකි වීම
එක් ඇසක කඳුළු වියළී යාම

කථා කිරීමේ හා ආහාර / ජලය ගිලීමේ අපහසුතාවය
හිසරදය
එක් කනකට ඉදිරියෙන් හෝ පසුපසිත් තද වේදනාවක් දැනීම
දිවේ එක් පැත්තකට රස දැනීම නතර වීම
මුඛයේ කෙළ ප්‍රමාණය අසාමාන්‍ය ලෙස අඩු හෝ වැඩි වීම.

රෝග හඳුනා ගැනීම
මෙහිදී රෝගියාගේ මුණේ ඇතිවන සුවිශේෂ වෙනස්කම් නිසා රෝගය පහසුවෙන් හඳුනා ගැනීමට හැකි වේ. එය තහවුරු කරගැනීම සඳහා EMG පරීක්ෂණය සිදුකළ හැකිය. එහිදී ස්නායුව තුළින් විද්‍යුත් තරංග ගලායන ආකාරය පිළිබඳ පරීක්ෂා කරනු ලැබේ. මෙම රෝග ලක්ෂණවලට හේතු විය හැකි වෙනත් සාධක (උදා – මොළය තුළ ‍ලේ ගැලීමක්, ගැටිත්තක් ආදිය) නොමැති බවට තහවුරු කර ගැනීමට එම්.ආර්.අයි. හෝ සී.ටී. ස්කෑන් පරීක්ෂාවක් සිදුකළ හැකිය.

බෙල්ස් ‍පෝල්සි තත්ත්වයේදී ස්නායුවේ ඇති වන ප්‍රදාහය සමනය කිරීම සඳහා  prednidolone ඖෂධය භාවිතා කරනු ලැබේ. නමුත් එහි ප්‍රතිඵල ලබාගත හැක්කේ රෝගයේ පළමු සතියක කාලය ඇතුළතදී එය ලබා දුනහොත් පමණි. එම නිසා ඉහත දක්වන ලද රෝග ලක්ෂණවලින් එකක් හෝ කිහිපයක් ඔබේ දරුවා තුළ දක්නට ලැබේ නම් වහාම සුදුසුකම් ලත් වෛද්‍යවරයෙකු මුණගැසී උපදෙස් ලබාගැනීම වැදගත් වේ.

විශේෂඥ වෛද්‍ය  අනුරුද්ධ පාදෙණිය ළමා ස්නායු රෝග  විශේෂඥ වෛද්‍ය,  කොළඹ රිජ්වේ ආර්යා  ළමා රෝහල
විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය ළමා ස්නායු රෝග විශේෂඥ වෛද්‍ය,
කොළඹ රිජ්වේ ආර්යා
ළමා රෝහල

පළමු සතියෙන් අනතුරුව වෛද්‍යවරු රෝග ලක්ෂණ නිසා ඇතිවන අපහසුතා වැළැක්වීමට ප්‍රධාන අවධානය යොමු කරති. වේදනාවෙන් පෙළෙන දරුවන් සඳහා වේදනානාශක ඖෂධ ලබා දෙනු ලැබේ. ඇසේ ඇතිවන වියළි ගතිය නිසා ඇසට හානිවීම වැළැක්වීමට, ඇස් ආවරණයක් හෝ කෘතිම කඳුළු ද්‍රාවණයක් යොදාගත හැක. මුහුණේ මාංශ පේශි සම්බාහනය කිරීම හා ව්‍යායාම කිරීම මගින් සුවය ලැබිම ඉක්මන් කරගත හැකි වේ.

මෙම රෝග තත්ත්වයේදී මුහුණේ ඇතිවන අසාමාන්‍ය පෙනුම නිසා හෝ දරුවන් අධික මානසික පීඩාවකට ලක්වීම දක්නට ලැබේ. නමුත් බෙල්ස් ‍පෝල්ස් රෝගීන්ගෙන් බහුතරයක් සති කිහිපයක් ඇතුළතදී මුහුණේ සාමානය පෙනුම හා ක්‍රියාකාරීත්වය සහිතව සම්පූර්ණ සුවය ලබති. එම නිසා දුවාට ඒ බව අවබෝධ කරදී ඔහුව ධෛර්යමත් කිරීම වැදගත් වේ. එක් ඇසක් වැසීමට නොහැකිවීම නිසා එම ඇසේ කඳුළු වියළි ඇසට හානිවීම වැළැක්වීමට මෙහිදී විශේෂ අවධානයක් යොමු කළ යුතුය. වෛද්‍යවරුන් නියම කරන ආකාරයට ඇස ආවරණය කර තැබිම හා ඖෂධ බිංදු යෙදීම කළ යුතු වේ.

හොඳින් විවේක ගැනීම, ‍පෝෂ්‍යදායී ආහාර ගැනීම හා අනෙකුත් වෛද්‍ය උපදෙස් නිවැරදිව අනුගමනය කිරීම මගින් බෙල්ස් ‍පෝල්සි රෝගි තත්ත්වයෙන් ඉක්මනින් සුවය ලැබිමට පුළුවන.