මහවැලි ‘එල්’ කලාපය තුළ නව පදිංචි කිරීම්වලදී පිටතින් පැමිණ පදිංචි කරවන සිංහල ජනතාවට විරෝධය පා අද (10) දිනයේ මුලතිව් දිස්ත්‍රික් ‍ලේකම් කාර්යාලය ඉදිරිපිට දෙමළ ජාතික සන්ධානය උද්ඝෝෂණයක් පැවැත්වීමට සැලසුම් කර ඇත.

මුලතිව් දිස්ත්‍රික්කයට අයත් වැලිඔය, සම්පත් නුවර, ජනකපුර ප්‍රදේශය මහවැලි ‘එල්’ කලාපය ලෙස නම්කර ඇති බව උතුරු පළාත් දෙමළ ජාතික සංවිධානයේ උතුරු පළාත් සභා මන්ත්‍රී එම්.කේ. සිවාජිලිංගම් මහතා ‘රිවිර’ට පැවසීය.

දැනටමත් ගැසට් කර ඇති මහවැලි ‘එල්’ කලාපයට පිටතින් සිංහල ජනතාව ගෙනැවිත් පදිංචි කරවීමට කටයුතු සැලසුම් කර ඇති බව මන්ත්‍රීවරයා සඳහන් කළේය. ඊට එරෙහිව උතුරු පළාත් සභාවේ සියලුම මන්ත්‍රීවරුන්ට ආරාධනා කර ඇති බවත් ඒ සඳහා දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරු 36 දෙනාම සහභාගි වනු ඇති බව හෙතෙම සඳහන් කළේය.

එසේ පිටතින් සිංහල ජනතාව ගෙනැවිත් පදිංචි කරන්නේ නම් ඊට එරෙහිව විරෝධතා දිගටම දක්වන බව මන්ත්‍රීවරයා වැඩිදුරටත් පැවසීය.

චමින්ද සේනාරත්න