අවුරුදු සමයේ වෙළෙඳ‍පොළේ කල් ඉකුත් වූ භාණ්ඩ විශාල වශයෙන් අලෙවි කරන බැවින් වඩාත් කල්පනාකාරී වන්නැයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය මහජනතාවගෙන් විශේෂ ඉල්ලීමක් කරයි.

කල් ඉකුත් වූ කේක් හා බිස්කට් වර්ගයන් සිල්ලර වෙළෙඳසල්වල හා ‍පොළවල්වල ග්‍රෑම් ගණනට කිරා අලෙවි කරන බවට තොරතුරු ලැබි ඇති බැවින් ඒවා මිලදී නොගන්නා ලෙසට සංගමයේ ‍ලේකම් මහේන්ද්‍ර බාලසූරිය මහතා ජනතාවට දැනුම් දී සිටියි.

සංචාරක හෝටල්වල වරක් භාවිත කළ ‍පොල්තෙල් වර්ග ෆාම් තෙල් සමග මිශ්‍රකර මහා පරිමාණ ලෙස අලෙවි කරන ස්ථානයක් ගම්පහ ප්‍රදේශයෙන් හසු වූ බැවින් ‍පොල් තෙල් මිලදී ගැනීමේදී වඩාත් පරීක්ෂාකාරී වන්නැයිද හෙතෙම සඳහන් කරයි.

සීනි, පිටි, පැණි, ටින්කළ ආහාර, ධාන්‍ය වර්ග, පැණි රස ආහාර වර්ග හා කරවල මේ දිනවල විශේෂ පරීක්ෂාවකට ලක් කරනුයේ ඒවායේ ඉල්ලුම මේ  දිනවල  ඉහළ ගොස් ඇති නිසා යැයි ද බාලසූරිය මහතා පැවසීය.

විශේෂයෙන්ම ආහාර ඇසුරුම්වල කාබන් පෑනක් හෝ රබර් සීල් භාවිත කරමින් දිනයන් වෙනස් කර ඇත්නම් එවැනි ආහාර වර්ග මිලදී නොගන්නැයි ද මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය ජනතාවට දැනුම් දී සිටියි.

ශ්‍රියානි විජේසිංහ