එක්සත් ජාතික පක්ෂයේ ක්‍රියාකාරකම්වලට විරෝධය පෑමක් ලෙස අද (10) පැවැත්වෙන කැබිනට් හමුව වර්ජනය කිරීමට ජනපති ප්‍රධානත්වයෙන් ඊයේ (09) රාත්‍රි රැස්වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව තීරණය කළ බව ශ්‍රීලනිප මාධ්‍ය ප්‍රකාශක රාජ්‍ය අමාත්‍ය ඩිලාන් පෙරේරා මහතා රිවිරට පැවැසීය.

ඊයේ රාත්‍රී 7 සිට රාත්‍රී 11 පමණ දක්වා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැය හතරකට ආසන්න කාලයක් ජනපති නිල නිවසේ පැවැති සාකච්ඡාවේ අන්තර් කාලීන විසඳුමක් හැටියට මෙම තීන්දුවට පැමිණි බව හෙතම අවධාරණය කළේය.
ඒ අනුව බදාදා නැවත ශ්‍රීලනිප මධ්‍යම කාරක සභාවක් රැස්කොට අවසන් තීන්දුවක් ගැනීම ඒ දක්වා කල් දැමීමට තීරණය වී ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.
අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාවට පක්ෂව ඡන්දය ප්‍රකාශ කළ ශ්‍රීලනිප මැති ඇමැතිවරුන් 16 දෙනෙකු අදාළ ඇමැති ධූරවලින් ඉවත් කළ යුතු බවට එජාපය ජනපතිට බලකිරීම හේතුවෙන් ඊයේ රාත්‍රියේ පැවැති ශ්‍රීලනිප මධ්‍යම කාරක සභාව ඉතා තීරණාත්මක හමුවක් බවට පත්ව තිබිණි.

විශ්වාසභංගයට පක්ෂව ඡන්දය ප්‍රකාශ කළ ශ්‍රීලනිප ඇමැතිවරු 16 දෙනාගේ නියෝජනය ඊයේ උදෑසන ඇමැති ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතාගේ නිවසේ රැස්ව ජනාධිපතිවරයාට භාර දීම සඳහා ලිපියක් සකස් කොට තිබිණි.
සිය තනතුරුවලින් ඉවත්ව විපක්ෂයේ අසුන් ගැනීමට අවසර ඉල්ලීම, තවදුරටත් පාර්ලිමේන්තුවේදී ජනපතිට සහය දැක්වීමට අවසර පැතීම සහ ශ්‍රීලනිපය අතහැර නොයෑම එම ලිපියට කරුණු වශයෙන් ඇතුළත් කර තිබිණි.
මෙම ලියුම රැගෙන මධ්‍යම කාරක සභාවට පැමිණි අදාළ ඇමැතිවරු ජනාධිපතිවරයාට සැකෙවින් කරුණු ඉදිරිපත් කරමින් ඊයේ රාත්‍රියේ එම ලිපිය භාර දී ඇති බවද දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේය.

16 දෙනාගේ මාතෘකාව සැළකිල්ලට ගැනිමින් පැය 4කට අධික කාලයක් මෙම කතාබහ දිගුවුණා. නමුත් අවසන් තීරණයකට එළැඹීම තවත් කල් ගිය නිසා අන්තර්කාලීන තීරණයකට එළැඹියා. ඒ තමයි කැබිනට් හමුව වර්ජනය කිරීම යැයි ඇමැති ඩිලාන් පෙරේරා මහතා පැවැසීය.

අදාළ හමුව සඳහා විදේශගතව සිටි සුසිල් ප්‍රේමජයන්ත, නියෝජ්‍ය කථානායක තිලංග සුමතිපාල සහ 16 දෙනාගේ කණ්ඩායමේ තවත් ඇමැතිවරු කිහිපදෙනෙක් සහභාගි වී නොමැත.

පැතුම් වික්‍රමරත්න