පසුගියදා ගුවන් හමුදා ගෘහස්ථ ක්‍රීඩාගාරයේ පැවති ආරක්ෂක සේවා දැල්පන්දු තරගාවලියේදී ගුවන් හමුදාව හා නාවික හමුදාව යන ප්‍රබල කණ්ඩායම් දෙකටම අභියෝග කළ යුද හමුදා ක්‍රීඩිකාවෝ වසර 19කට පසු එම ශූරතාව දිනාගන්නට සමත් වී තිබුණා.

මෙම තරගාවලියට හොඳින් සූදානම් වීම සඳහා ශ්‍රී ලංකා යුද හමුදා දැල්පන්දු කාණ්ඩය සිංගප්පූරුවේ තරග සංචාරයක් සඳහා සහභාගි වෙන්න සැලසුම් කරලා ඒකට සූදානම් වෙද්දී දැල්පන්දු සම්මේලනයේ ලොකු නෝන ඒකට හරස් වෙලා.
සිංගප්පූරු සංචාරයට සහභාගි වුණාට කමක් නැතිලු. නමුත් සංචිතයට ඇතුළුවෙලා ඉන්න යුද හමුදා ක්‍රීඩිකාවන් දෙන්නට ඒකට සහභාගි වෙන්න අවසර දෙන්න බැරි බව දන්වලා. ඒ දෙන්නට ජාතික පුහුණුකාරිය යටතේ පුහුණුව ලබාදෙන්න අවශ්‍යලු.

මොනව කරන්නද ඉතින් කියල යුද හමුදා කණ්ඩායම ජාතික සංචිතයට කැඳවල තියෙන ක්‍රීඩිකාවෝ දෙන්න ලංකාවේ නතර කරල ටීම් එක සිංගප්පූරු සංචාරයට ගිහින් තිබුණා.
ඔන්න ඔය අතරේ ගුවන් හමුදාවේ දැල්පන්දු පරිපාලනයත් සම්මේලනයට බාල්දියක් පෙරළල තිබුණා. ඒ කණ්ඩායමේ ඉන්න ජාතික සංචිතයට ඇතුළත් ක්‍රීඩිකාවන් කිසි කෙනෙක් ආරක්ෂක සේවා දැල්පන්දු තරගාවලිය අවසන් වනතුරු පුහුණු සංචිතයට සහභාගි කරවන්නෙ නැහැ කියල.

ගුවන් හමුදාව උඩින් ඇවිල්ල සභාපතිතුමියගෙ ඔළුවටම බෝම්බයක් අතහරීවිද කියනා බයටද කොහෙද ආරක්ෂක සේවා දැල්පන්දු තරගාවලිය අවසන් වනතුරුම ජාතික සංචිතයට තෝරාගෙන තිබුණ එක ගුවන් හමුදා ක්‍රීඩිකාවක්වත් පුහුණු කටයුතු සඳහා සංචිතයට පළාතෙවත් එව්වෙ නැතත් සභාපතිතුමිය බඩ උලාගෙන ඉඳල තියෙනවා.
කොහොමද මිසිස් කැකිල්ලෙගෙ ක්‍රියා කලාපය කියල දැන් හැමෝම කතා වෙනවලු.

වලිවීර