ශ්‍රී ලංකා පි‍ලේ පදක්කම් බලා‍පොරොත්තු ඉහළ නංවමින් ඊයේ (09) ගෝල්ඩ් කෝස්ට්හිදී පැවැත්වෙන 21 වැනි ‍පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙ‍ලේදී බොක්සිං ක්‍රීඩක ඉෂාන් බණ්ඩාර අර්ධ අවසන් පූර්ව වටයට ළඟාවූයේ නාවුරු රාජ්‍යයේ ක්‍රීඩක යාචෙන් කුක් පරාජයට පත් කරමිනි. කි.ග්‍රෑ. 52 බර පන්තියෙන් තරග වැදුණ බණ්ඩාර හොඳ තරගයක නිරත වෙමින් ප්‍රතිවාදී යාචෙක්ට අභියෝග කළේ මනා ආත්ම විශ්වාසයක් ගොඩනගා ගනිමිනි.
බණ්ඩාර පවසන්නේ අර්ධ අවසන් පූර්ව වටයට පැමිණි නිසා ලෝකඩ පදක්කම සඳහා අවසන් පූර්ව වටයට යාමෙන් පසු කෙසේ හෝ රන් පදක්කම ලැබිම තම අභිලාෂය බවයි.

මේ අතර ගෝල්ඩ් කෝස්ට්හි ප්‍රධාන කරාරා ක්‍රීඩාංගණයේදී ඊයේ උදෑසන ශ්‍රී ලංකා උස පැනීමේ ශූර මංජුල කුමාර විජේසේකර උස පැනීමේ අවසන් වටය සඳහා සුදුසුකම් ලැබිම කැපී පෙනේ. ප්‍රථම වරට මෙවර ගෝල්ඩ් කෝස්ට්හිදී ශ්‍රී ලංකාව වෙනුවෙන් මලල ක්‍රීඩාවට අවතීර්ණ වූ මීටර් 2.21ක උස පනිමින් ඉන්දියානු ක්‍රීඩක තජේස්වින් ශංකර් සමග එකම දක්ෂතා පෙන්වීමට සමත් විය. මෙම තරග වටයේ එංගලන්ත ක්‍රීඩක ක්‍රිස් බේකර් හා කැනේඩියානු ක්‍රීඩක ඩිප්ස්ගො ලොවෙට් හොඳම දක්ෂතා පෙන්නුම් කළේය.

මංජුල 11 වැනිදා (හෙට) ශ්‍රී ලංකා වෙලාවෙන් සවස 3.30ට උස පැනීමේ අවසන් තරගයට සහභාගිවීමට නියමිතය. ‘රිවිර’ ට අදහස් දැක්වූ මංජුල තමා උපරිම දක්ෂතා පෙන්වීමට අදිටන් කර ඇතත් සිඩ්නිහි පුහුණුවීම්වලින් පසුව පැවති තරගාවලියකදී පාදයේ ආබාධයට ලක්ව තිබිම යම් බලපෑමක් ඇති බව පැවසුවේය. කුමන හෝ පදක්කමක් කරා යෑමට අදහස් කරන මංජුල ශ්‍රී ලංකා මලල ක්‍රීඩා පි‍ලේ දැනට සිටින පරිණතම ක්‍රීඩකයාද වන අතර ඔහුගේ හොඳම දක්ෂතාව මීටර් 2.27ක් නිසා එම දක්ෂතාවට ළඟා වුවහොත් යම් බලා‍පොරොත්තුවක් තැබිමට හැකිය.
මේ අතර ශ්‍රී ලංකා බිච් වොලිබෝල් ක්‍රීඩක යුගලය අසංක ප්‍රදීප් කුමාර හා මලින්ත යාපා අවාසනාවන්ත වූයේ ඊයේ සියරා ලියෝන් රාජ්‍යයේ පැට්‍රික් ලොම්බි හා අබුබකාර් කමාරා හමුවේ 2-0 ලෙස පරාජය වීමය. සියරා ලියෝන් ක්‍රීඩක යුගලය ලෝක ශ්‍රේණිගත කිරීමේ 365 ස්ථානයේ සිටියද 176 ස්ථානයේ සිටි ශ්‍රී ලංකා යුගලයට හොඳ අභියෝගයක් එල්ල කිරීම බලා‍පොරොත්තු සුන් කිරීමක් විය.

ඊයේ බර ඉසිලීමේ ක්‍රීඩක සමන් අබේවික්‍රම කි.ගෑ. 105 බර පන්තියෙන් තරග කර කි.ග්‍රෑ. 290ක් ඔසවා 9 වැනි ස්ථානයට පත්වූ අතර නායක චින්තන ගීතාල් විදානගේද මෙවර පස්වැනියා ලෙස කි.ග්‍රෑ. 77 බර පන්තියෙන් නිම කිරීම ශ්‍රී ලංකා පිලට ලොකු පාඩුවක් වූයේ චින්තනගේ පදක්කම කෙරෙහි ඉමහත් බලා‍පොරොත්තු තැබූ හෙයිනි.
අද (10) ශ්‍රී ලංකා පිල බොක්සිං පදක්කමක් බලා‍පොරොත්තු වන්නේ දිනිඳු සපරමාදු කි.ග්‍රෑ. 64 බර පන්තියේ අර්ධ අවසන් පූර්ව වටයට නැමීබියා ක්‍රීඩක සමග තරග වදින හෙයිනි. එය ජයග්‍රහණය කිරීම තුළ ලෝකඩ පදක්කම මට්ටමට ළඟාවෙන අතර කි.ග්‍රෑ. 57 බර පන්තියෙන් කේෂානි හංසිකාද අද නවසීලන්ත ක්‍රීඩිකාවක සමග තරග වදී. මේ අතර ශ්‍රී ලංකා බැඩ්මින්ටන් ක්‍රීඩකයන් අද තනි ඉසව් සඳහා සටන් වදින අතර බුවනෙක ගුණතිලක පාකිස්තාන ක්‍රීඩක මුරාඩ් අලී හා ප්‍රථමයෙන්ම තරග වදී. හසිනි අම්බලන්ගොඩගේ, දිනුක කරුණාරත්නද අද කේවල තරගවලට එක්වේ.
කෙසේ වුවද හෙට (11) අනූෂා කොඩිතුවක්කු අවසන් පූර්ව තරගයට ප්‍රබල ඉන්දීය ක්‍රීඩිකා සමග තරග වදින්නේ රන් හෝ රිදී පදක්කම කරා යැමේ අදිටනිණි.

ධම්මික රත්නවීර ඔස්ට්‍රේලියාවේ ගෝල්ඩ් කෝස්ට් සිට…