සිංහල හා හින්දු ජනතාව අලුත් අවුරුද්ද සැමරීමට මග බලා සිටියි. සිංහල අවුරුද්දට තරම් මෙරට බහුතර ජනතාවක් ලකලෑස්තිවන වෙනත් උළෙලක් නොමැත. මහ මැදුර, පැල්පත ආදී කිසිදු භේදයක් නැතිව සියලු දෙනාම කෙසේ හෝ අවුරුද්ද සැමරීමට හැකි පමණින් සූදානම් වෙති. විශේෂයෙන් සිංහල අවුරුද්ද හා සමඟ බැඳුණු සිරිත් විරිත් පණගැන්වීමට ඒවා අකුරටම පිළිපැදීමට දැඩි උනන්දුවක් බොහෝ අය දක්වති. වෙනදා කලට වේලාවට වැඩ නොකරන උදවිය ද සිංහල අවුරුද්දේදී නැකතට වැඩ කිරීමට පෙලඹෙති. එසේ වුවද මෙරට අනෙක් ජාතික හා ආගමික උත්සව සේ සිංහල අලුත් අවුරුද්ද වෙළෙන්දන්ගේ ප්‍රචාරක රැල්ලට හසුවී තිබේ. එනිසා අවුරුද්ද අපට දක්නට ලැබෙන්නේ වෙළෙඳ‍පොළ රැල්ල නමැති දඬුඅඬුවට හසුව තිබෙන ආකාරයයි. ඇති හැකි අය ද නැති බැරි අයද කිසිදු විචාරයක් නැතිව ඇති පදම් වියදම් කරති. ඕනෑ දෑට වඩා ඕනෑ නැති දෑට මුදල් විසිකෙරෙති. කිසිවක් කරගත නොහැකි දුගියෝ සුසුම් හෙළති. සැබැවින්ම අවුරුද්දේ අරුත මෙයද? වෙළෙඳ රැල්ලට හසුව අන්තිම රුපියල පවා වියදම් කිරීමද? අනෙක් අය ගැන නොතකා දැඩි ආත්මාර්ථකාමීව කටයුතු කිරීමද?

සිංහල අලුත් අවුරුද්ද සමග බැඳුණු පුළුල් හර පද්ධතියක් තිබේ. අවුරුදු උළෙල වසර දහස් ගණක් තිස්සේ නොකඩවා පැවත ආවේ එම හර පද්ධතිය පදනම් කරගෙනයි. එහෙයින් අපි ජාතියක් හැටියට අවුරුද්දේ හරයන් දෙස අවධානය යොමුකළ යුතු වෙමු. අවුරුද්ද මතුපිටින් අල්ලා ගැනීම වෙනුවට එහි හරයන් ස්පර්ශ කිරීමට යොමුවිය යුතු වෙමු.
බෙදා හදාගැනීම, එකමුතුකම, සමගිය, සුහදතාව, වැඩිහිටියන්ට ගරුකළ යුත්තන්ට ගරු කිරීම, ගහකොළ සහ සතාසීපාවා සමග සමීප වීම, ඒ හර ධර්ම අතර මුල් තැනක් ගනී. අප ජීවත් වන්නේ මානව සම්බන්ධතා වෙනුවට වාණිජ සම්බන්ධතාවලට මුල්තැනක් ලැබුණු සමාජයකය. එය කෙතරම් ප්‍රබල තැනකට පත්ව තිබේද යත් මවුපිය, දූදරු සබඳතාවද බිඳ වැටී තිබේ. මේ අවුරුදු කාලය අපට අපේ බිඳ වැටුණු මානව සබඳතා යළි ගොඩනගාගැනීමට හා ශක්තිමත් කරගැනීමට කදිම අවස්ථාවක් උදාකරයි. එහෙයින් ඒ ගැන සවිඤ්ඤාණිකවී පලුදු වුණු මානව ගුණධර්ම ගොඩනගා ගැනීමට අවධානය යොමු විය යුතුය.

විශේෂයෙන් සිංහල අලුත් අවුරුද්ද වැදගත්වීමට තවත් කරුණක් නම් එය අප අපගේ සංස්කෘතික සම්ප්‍රදාය අලුත් පරපුරට හුරුකරගැනීමට යොදා ගැනීමයි. කුඩා දූදරුවෝ වැඩිහිටියන් අවුරුද්ද සමරන ආකාරය බලාසිටීමෙන් නොනැවතී එයට සහභාගි වෙති. එමගින් ඔවුහු සංස්කෘතියට හුරුවෙති. මේ ගැන වැඩිහිටියන් අවධානය යොමු කළ යුතුය. අපේ සංස්කෘතිය පිළිබඳ නිවැරදි අදහසක් දරුවන්ට ලබාදීමට එය යොදාගත යුතුය. එහෙත් අපට බොහෝ තැන්වල දක්නට ලැබෙන්නේ අවුරුද්ද සැමරීමේදී මත්පැන්වලට සහ සූදු කෙළියට මූලිකත්වය ලබාදී ඇති ආකාරයයි. ඊට කිසිසේත්ම ඉඩදිය යුතු නැත. කුඩා දරුවෝ ද මත්පැන් භාවිතය හා සූදුකෙළිය තම සංස්කෘතිය සේ පිළිගැනීමට එමගින් යොමුවෙති. එහෙයින් සිංහල අවුරුද්ද කාබි විනෝද වීමේ සැණකෙළියක් නොව සංස්කෘතික හරයක් සහිත ජාතික උත්සවයක් බව තේරුම් ගත යුතුය.

සිංහල අවුරුද්දේදී බොහෝ විට අපි අපගේ පාරම්පරික ආහාර රටාව ගැන අවධානය යොමු කරමු. වස විසෙන් තොර සොබා දහම සමග බැඳුණු ඒ ආහාර පාන රටාව දැන් බිඳ වැටී ඇත. ඒ වෙනුවට අපි සෞඛ්‍යයට අහිතකර ආහාර පාන රටාවකට හුරුවී සිටිමු. මේ සිංහල අවුරුද්ද අපගේ නිවසේ ආහාර මේසය වස විසෙන් තොර කරගැනීමට කදිම ආරම්භයක් කරගත හැකිය. ලෙඩකරන ක්ෂණික, කෘතිම ආහාර පාන රටාවට තිත තැබිමට අවස්ථාවක් එමගින් සලසා ගතහැකිය. ඒ අනුව සිංහල අවුරුද්ද අලුත් ජීවිතයක්, අලුත් නිවසක්, නැවුම් රටක් බිහි කරගැනීම සඳහා පුළුල් පදනමක් සේ භාවිත කරගැනීමට හැමදෙනාම අවධානයට ගත යුතුය.