ඩොනල්ඞ් ට‍්‍රම්ප් ජනපතිවරණ ව්‍යාපාරය වෙනුවෙන් ෆේස්බුක් සාමාජිකයන්ගේ දත්ත සොරාගැනීම පිළිබඳ කේම්බි‍්‍රජ් ඇනලිටිකා සමාගමේ තතු හෙළිකරන්නකු වන කි‍්‍රස්ටෝපර් වයිලි ආන්දෝලනාත්මක ප‍්‍රකාශයක් කර තිබේ. එ් එම දත්ත ගොනුව රුසියාවේ ගබඩා කර ඇති බවයි. මීට පෙර කියැවුණේ එම දත්ත ගිණුම් සංඛ්‍යාව මිලියන 50ක් පමණ වන බව වුවද ෆේස්බුක් නිර්මාතෘ මාර්ක් සකර්බර්ග් පසුව පවසා තිබුණේ එය මිලියන 87ක් පමණ වන බවයි. එහෙත් මෙම තතු හෙළිකරන්නා පවසා ඇත්තේ එම ප‍්‍රමාණය මිලියන 87කට වඩා බොහෝසෙයින් වැඩි බවයි. මන්ද යත් එක්වරක් ගිණුමක දත්ත ලබාගත් පසුව වාර ගණනාවක් එමගින් අනෙකුත් දත්ත පිටපත් කරගත හැකි බව වයිලි පවසා තිබේ.
කි‍්‍රස්ටෝපර් වයිලි කේම්බි‍්‍රජ් ඇනලිටිකා සමාගමේ හිටපු නිලධාරියෙකි. ඔහු පවසන පරිදි මෙම දත්ත ෆේස්බුක් සමාගමේ තෙවැනි පාර්ශ්වකරුවකු වූ දත්ත විද්‍යාඥ ඇලෙක්සැන්දර් කෝගන්, සෙන්ට් පීටර්ස්බර්ග් විශ්ව විද්‍යාලයේ දේශන පවත්වනු ලබන මහාචාර්යවරයෙකි. ඔහු ලබාගත් මෙම දත්ත පසුව කේම්බි‍්‍රජ් ඇනලිටිකා සමාගම වෙත විකුණා දමා ඇති බව වයිලි පවසා තිබේ. ඉන්පසුව එම දත්ත ‘බොහෝදෙනකු භාවිත කළ බවත්’ වයිලි පවසා ඇත. තෙවැනි පාර්ශ්වයක් ලෙස ෆේස්බුක් දත්ත උකහාගැනීමේ යෙදුණු මහාචාර්යවරයා මෙම දත්ත ගොනු රුසියාවට හා එංගලන්තයට ලබාදෙන්නට ඇති බවත් එය රුසියාවට ලබාදීම බොහෝ අවදානම්සහගත බවත් වයිලි සඳහන් කර තිබේ. දත්ත සොරාගැනීම හා ජනාධිපතිවරණ ව්‍යාපාරය වෙනුවෙන් යොදාගැනීම පිළිබඳ අමෙරිකානු බලධාරීන් ද විමර්ශනයක් පවත්වන බැවින් මෙම තතු හෙළිකරන්නා තම නීතිඥයා මාර්ගයෙන් ඔවුන් හා සම්බන්ධ වී තොරතුරු හෙළිකරන බව ද පවසා තිබේ.