ගුවන්විදුලි ශිල්පිනියක්, වේදිකා, සිනමා හා ටෙලි නාට්‍ය නිළියක් වූ රත්නාවලී කැකුණවල කලා ශිල්පිනිය සෙනසුරාදා (07) සවස අභාවප්‍රාප්ත වූවාය.
මියයන විට 87 වැනි වියේ පසු වූ රත්නාවලී කැකුණවල මහත්මිය සය දරු මවකි. ඩේවිඩ් කැකුණවල ඇගේ ආදරණීය ස්වාමි පුරුෂයාය.
1931 ජනවාරි 20වැනි දා උපත ලත් රත්නාවලී 1951 නොවැ. 29 වැනි දා ප්‍රථම වරට ගුවන්විදුලි නාට්‍යයක රඟපෑවේ ඇගේ සොයුරු වික්ටර් මිගෙල්ගේ අත දීමෙනි. අනතුරුව ගුවන්විදුලි නාට්‍ය කිහිපයක රඟපාමින් සිටියදී මුදලිනායක සෝමරත්න රචනා කළ ‘මුවන් පැළැස්ස’ නාට්‍යයේ ‘එතනහාමි’ චරිතය නිරූපණය කිරීමේ අවස්ථාව ලැබුණි.

1971 දී මුදලිනායක සෝමරත්න මහතා ඇමෙරිකාවේ පදිංචියට යාම නිසා ‘මුවන් පැළැස්ස’ ලිවීමට තේවිස් ගුරුගේ මහතා භාර කළේ වික්ටර් මිගෙල් මහතාටය. ඔහු ගුවන්විදුලි නාට්‍ය රචකයකු මෙන්ම නළුවෙකි. වික්ටර් මිගෙල් තම සොයුරියගේ දස්කම් එළිදැක්වීම උදෙසා ‘මැණිකේ’ නමින් චරිතයේ නම පවා වෙනස් කළේය.
මුවන්පැළැස්ස ඇතුළු ගුවන් විදුලි නාට්‍ය 75කට වැඩි ප්‍රමාණයක ඇය රඟපෑවාය.

‘සත් සමුදුර’ චිත්‍රපටයෙන් සිනමාවට පිවිසි කැකුණවල මහත්මිය, කරුමක්කාරයෝ, දඩයම, ආරාධනා, වදුළ, බට්ටි වැනි චිත්‍රපට රැසකට සිය රංගන දායකත්වය එක්කොට තිබේ. පනස් වසරකට වැඩි කාලයක් රංගන ශිල්පිනියක ලෙස කටයුතු කළ කැකුණවෙල මහත්මිය ජනාධිපති සම්මාන, සරසවි සම්මාන ඇතුළු සම්මාන රැසකින් පිදුම් ලබා ඇත.
මුවන්පැළැස්ස ගුවන්විදුලි නාට්‍ය මාලාවේ ටෙලි නාට්‍යයක් ලෙස ප්‍රේක්ෂකයින් අතරට ගෙන ඒම සඳහා රන්මිණිතැන්නේ කරන ලද රූගත කිරීම් අතරතුර රෝගාතුර වූ ඇය කලක් ප්‍රතිකාර ලබමින් පසුවිය.
ඇයගේ දේහය රත්මලාන වෙඩිකන්ද පාරේ පිහිටි අංක 25/1/සී නිවසේ දැනට තැන්පත් කර ඇත. අවසන් කටයුතු අද (09) සවස 4.00ට බොරැල්ල කනත්ත ආදාහනාගාරයේදී සිදු කෙරේ.

දීපා වසන්ති එදිරිසිංහ/ඔස්කා මෙන්දිස්