සිංහල සහ හින්දු අලුත් අවුරුදු සමයේ කොළඹ සිට ගම්බිම් බලා යන මගීන්ගේ පහසුව සඳහා විශේෂ බස් රථ සහ දුම්රිය සේවාවන් ක්‍රියාත්මක කිරීමට රජය කටයුතු යොදා ඇත.

මේ අනුව බස් රථ 2000ක් පමණ අතිරේකව එක් කිරීමට ගමනාගමන මණ්ඩලය පියවර ගෙන ඇති අතර අතිරේක දුම්රිය ගමන් වාර එක්කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇත.
පැයවිසිහතර පුරාම ක්‍රියාත්මක මෙම බස් රථ ඉකුත් 06 වැනි දා සිට ක්‍රියාත්මක කරන බව ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති රමාල් සිරිවර්ධන මහතා ‘රිවිර’ට ඊයේ (08) පැවසීය.
මගීන්ගේ අවශ්‍යතාව අනුව මෙම ප්‍රවාහන කටයුතු පූර්ණ අධීක්ෂණයක් යටතේ සිදු කෙරෙන බවත් අප්‍රේල් 11, 12, 13 යන දිනවල විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බවත් ඒ මහතා සඳහන් කළේය.
ලබන 16 වැනි දා සිට 24 දා දක්වා ලංකා ගමනාගමන මණ්ඩලයේ ප්‍රාදේශීය කාර්යාලවල මෙහෙයවීමෙන් කොළඹ දක්වා විශේෂ බස් රථ සේවා ද කියාත්මක කිරීමට ලංකා ගමනාගමන මණ්ඩලය පියවර ගෙන තිබේ.
කොළඹ බැස්ටියන් මාවත බස් නැවතුම්‍පොළේ සිට අතිරේක බස් රථ සේවාවන් ක්‍රියාත්මක කෙරේ.
මීට අමතරව අධිවේගී මාර්ගයේ ගමන් කරන බස් රථ ප්‍රමාණය ද මගී අවශ්‍යතාව අනුව වැඩි කිරීමට ගමනාගමන මණ්ඩලය පියවර ගෙන ඇත.

භක්ති ධර්මප්‍රිය මෙන්ඩිස්