මේ එන්නේ අවුරුදු සමයයි. ඉස්කෝලේ නිවාඩු සමයයි. බොහෝ දෙනා විනෝද සංචාර යන සමයයි. ඒ නිසා මේ කාලයේ කතා කළ යුතුම දෙයක් ඇත. එනම් ආරක්ෂාව සම්බන්ධ කාරණාවයි. ආරක්ෂාව ගැන කතා කරන්නේ නිවාඩුවේ විනෝදය සමග ජීවිතය බේරාගැනීමටත් සියලූ දෙනාම පරිස්සම් විය යුතුත් නිසාය. පසුගිය දින කිහිපයේ එක දිගටම අසන්නට ලැබුණේ අවාසනාවන්ත මරණ කිහිපයක් ගැනය.

ඊයේ අසන්නට ලැබුණේ මහනුවර හුළු ගෙඟ් දිය නාමින් සිටි පස්දෙනකුගේ මරණ පිළිබඳවයි. ඒ අතර සිටි සියලූ දෙනා තරුණ වයසේ පසුවූවන්ය. ඔවුන් කොළඹ සිට විනෝද චාරිකාවක් යමින් සිටි පිරිසකි. අවාසනාව වන්නේ විනෝදය අවසානයේ මරණ පහකින් කෙළවර වීමය. මීට සති තුනකට ඉහතදී ගාල්ල හිනිදුම ප‍්‍රදේශයේදීද එවැනිම අවාසනාවන්ත සිදුවීමක් අසන්නට ලැබුණි. ඒ ගිංගෙඟ් දියනාමින් සිටි මවත් දියණියත් දියණියගේ මිතුරියන් දෙදෙනාත් දිය පහරේ ගසාගෙන ගොස් මරුමුවට පත්වීමයි. සබන් පෙට්ටියේ පියන රැුකගැනීමට ගොස් ජීවිත හතරක් වතුරේ ගසාගෙන ගියේ ඉතා අවාසනාවන්ත ලෙසය.

ඇතැම් විට මිනිසුන් ඉතා සුළු දෙයක් වෙනුවෙන් ජීවිතය පරදුවට තබන්නේ ක්ෂණික සිතුවිල්ලක් මත සිට වුවද නොදන්නා, නුපුරුදු තැනකදී අනතුර පිළිබඳව වූ ඉව, මිනිසුන් සතු විය යුතු විශේෂ ගුණයක් කරගත යුතුය. මේ කියන්නාවූ අනතුරුවලට වැඩි වශයෙන් මුහුණ දෙන්නේ වයසින් පරිණත වූ පුද්ගලයින් නොව ඉතා ළාබාල අවදියේ පසුවන බහුතරය බව පැහැදිලිවම පෙනෙන්නට ඇති කරුණකි. රටක තරුණ ජනගහනය යනු රටේ කොඳු නාරටියයි. රටේ නිෂ්පාදන ආර්ථිකයට වැඩි දායකත්වය දක්වන්නේ මෙකී තරුණ පරම්පරාවයි. නමුත් රටේ තරුණ පරපුර මේ අයුරින් අවාසනාවන්ත ලෙස අනතුරුවලට ලක්ව මිය යන්නේ නම් සමාජයීය ලෙස එම හිස්තැන් රටකට කොයි ආකාරයෙන් බලපානු ඇත්ද ?

දිනකට වාහන අනතුරුවලින් වැඩි වශයෙන් තරුණ ජීවිත රටට අහිමි වෙයි. යතුරුපැදි සහ ත‍්‍රිරෝදරථ අනතුරුවලින් මියයන සියයට අනූවක් පමණ පිරිස තරුණයන්ය. එසේම මෙවැනි උත්සව සමයන්හි සංචාරයේ ගොස් දියේ ගිලී මියයන පිරිසෙන් බහුතරයද තරුණ තරුණියන් බවට පත්ව ඇත. ඔවුන්ම  මීට ගොදුරු වන්නට කිසියම් විශේෂ කරුණක් තිබිය යුතුය. එක්කෝ ජීවිතය පිළිබඳව ආසාවක් හෝ අනතුර පිළිබඳව ඉවක් ඔවුන් සතුව නැත. නැතිනම් නිසි මාර්ගෝපදේශනයක් ඔවුන්ට නැත. නිවෙස තුළින් සේම සමාජය තුළින්ද තරුණ සමාජයට මාර්ගෝපදේශනයක් ලැබිය යුතුය.

සෑම උත්සව සමයකම පුවත්පත්වලින් සහ රූපවාහිනිය ඔස්සේ මෙවැනි දැනුවත් කිරීම් සිදුවෙයි. ඒවායේ ධනාත්මක වෙනස්කම් ඇති බවද ඇතැම් අවස්ථාවල පෙනෙන්නට ඇත. අනුරාධපුර, පොළොන්නරුව වැනි පෙදෙස්වල සංචාරය කරන්නන් වැව් ආදියෙන් දිය නෑමට පෙර දැනුවත් කිරීමේ වැඩසටහන් සිදුකරන රාජ්‍ය මෙන්ම රාජ්‍ය නොවන ආයතනද විශාල කාර්යභාරයක් සිදුකරයි. සංඛ්‍යාලේඛන සලකා බලද්දී එවැනි ක‍්‍රියාමාර්ගවල  ප‍්‍රගතියක් ඇති බව පෙනෙන්නට ඇත. කුමනාකාරයෙන් දැනුවත් කිරීම් සිදු කරනු ලැබූවද දැනුවත්භාවය ලැබිය යුත්තේ සංචාරය කරන්නාය. මෙවැනි අනතුරු දිනෙන් දින මාධ්‍ය ඔස්සේ දකින පුද්ගලයා හෙට අනතුරුදායක ස්ථානයකට අඩිය තියද්දී පෙර කී සිදුවීම් මතකයේ තබාගන්නේ නම් වෙන්නට තිබෙන අනතුර වළක්වා ගන්නට  ඕනෑතරම් හැකියාව ඇත.