අපේ රටේ ධනපති පංතියේ සහ ඉහළ මධ්‍යම පාන්තික සමාජයේ තරුණයින් අතළොස්සක් අතර පමණක් ප්‍රචලිතව තිබුණු නයිට් රේස් දැන් පංති භේදයකින් තොරව සමාජගතව අවසන්ය. සතිඅන්ත රාත්‍රියේ කොළඹ නගරයේ අද වන විට පවත්වන නයිට් රේස් ‍පොලිසියට පවා හිසරදයක් වී හමාරය. ෆේස් බුක් හරහා සංවිධානගතව රාත්‍රි කාලයට ඔවුන් කොළඹ නගරයේ රේස් පදින්නේ ‍පොලිසියටද කොකා පෙන්වමිනි.

ප්‍රසිද්ධ මහා මාර්ගවල නීති විරෝධි ආකාරයට රාත්‍රි කාලයට සිදුකෙරන  නයිට් රේස් පැදිල්ල බටහිර රටවල තරුණ තරුණියන් අතර ඉතා ප්‍රසිද්ධය. ඔවුන්ද නයිට් රේස් පැදිල්ල කරන්නේ ‍පොලිසියද නොමග යවමිනි.  අපේ රටේ තරුණයන්ට මේ නයිට් රේස් පැදිල්ල පුරුදු කරන්නේ ධනපති පන්තියේ දේශපාලන හයි හත්තිය ඇති තරුණ කණ්ඩායමකි. යුරෝපීය රටවල අධ්‍යාපනය ලද ඔවුහු රාත්‍රි සමාජ ශාලාවල නිරන්තරයෙන් ගැවසෙන්නෝය.  ඒ අය  මෙයට දශකයකට පමණ පෙර රේස් පැද්දේ කොල්ලුපිටිය ඩුප්ලිකේෂන් මාර්ගය ආශ්‍රිතවය. මුල් කාලයේ ‍පොලිසියෙන් ඊට බාධා එල්ල වූවත් කල්යත්ම ඔවුන් රේස් පැද්දේ ‍පොලිසියේ ආශීර්වාදයද ඇතිවය. ඒ අය සමගින්  නයිට් රේස් පදින්නන් අතර ‍පොලිස් ලොක්කන්ට සම්බන්ධකම් ඇති දරුවන්ද සිටි බැවින් එකල ඔවුන්ට නයිට් රේස් පදින්නට කොළඹ මාර්ග පවා වසා ඉඩ දෙන්නට තරම් ‍පොලිසිය කාරුණික වී තිබිණි.

ඒ ගැන ජනමාධ්‍යවල නිරන්තරයෙන් තොරතුරු වාර්තා වන්නට පටන් ගැනීමත් සමග ‍පොලිසියට නයිට් රේස් පදින්නන්ට එරෙහි නොවී සිටින්නට ඉඩක් නොවීය. කොල්ලුපිටියේ ඩුප්ලිකේෂන් මාර්ග වෙනුවට ඔවුන් පෑලියගොඩ නුගේ පාරට විතැන් වෙන්නේ ඒත් සමගිනි. රාත්‍රි සමාජ ශාලාවල මැදියම් රැය වනතුරු ගතකරන ඒ අය තමන් සතුව ඇති රේසින් කාර්වල නැගී බේස්ලයින් මාර්ගය ඔස්සේ ඉගිලී ගොස් පෑලියගොඩ නුගේ පාරේ හිතු හැටියට රේස් පැද්දේ කිසිදු බාධාවකින් තොරවය.

එසේ හැංගි හොරා නයිට් රේස් පැදි තරුණයන්ට එළිපිට නයිට් රේස් පදින්නට අවස්ථාවක් හිමි වන්නේ එකල පැවති රජයේ ආශිර්වාදය ඇතිව කොළඹ නගරයේ මාර්ග ආශ්‍රිතව නයිට් රේස් තරගාවලියක් ආරම්භ වීමත් සමගිනි. ජාත්‍යන්තර ක්‍රීඩකයන්ගේද සහභාගිත්වය ඇතිව පැවැති එම තරගය සංචාරක ආකර්ෂණය හිමිකරගත් එකක් වූ අතර අපේ රටට අලුත් අත්දැකීමක්ද එක්කරන්නට සමත් වූවකි. ජාත්‍යන්තර අවධානය පවා මෙරටට යොමුවුණූ එම නයිට් රේස් තරගාවලිය සම්බන්ධයෙන් විවිධ මත පවා විවිධ පාර්ශ්වවලින් එකල එල්ලවන්නට විය.

කෙසේ වෙතත් ආණ්ඩු වෙනසත් සමග ඒ සියල්ලට නැවතීමේ තිත තැබිමත් සමග නැවතත් එකී නයිට් රේස් කොළඹ නගරයේ මාර්ගවල ආරම්භ වී ඇත්තේ පෙර නොවූ විරූ ලෙස සංවිධානගත වෙමිනි. මහියංගනේ දහඅට වංගුවේ පවා ඇතැම් දිනවල රාත්‍රි කාලයේ නයිට් රේස් පැවැත්වෙන බවට  තොරතුරු බොහෝය. ෆේස් බුක් හරහා සංවිධානගතව සිටින නයිට් රේස්කරුවන් එසේ රට වටේම තැන් තැන්වල නයිට් රේස් සංවිධානය කරන්නේ අලුත් අත්දැකීම් සිය සගයන්ට ලබා දෙමිනි.

‍පොලිසිය පැත්තෙන් කියන්නේ කොළඹ නගරයේ නයිට් රේස් පවත්වන්නේ මෝටර් රථවලින් පමණක් නොවන බවය. යතුරු පැදි මෙන්ම ත්‍රිරෝද රථ රේස්ද දැන් කොළඹ නගරයේ මාර්ගවල වැහි වැසී ඇති බව සඳහන්ය. ත්‍රිරෝද රථ රේස් පදින්නේ රෝද දෙකෙනි.

මෙම තරග වැඩි හරියක් සංවිධානය වන්නේ සෙනසුරාදා සහ ඉරිදා රාත්‍රි කාලයේදීය. ඩුප්ලිකේෂන් මාර්ගය, ගාලු පාර, ග්‍රීන්පාත්, නෙළුම් ‍පොකුණ පාර, පිත්තල හන්දිය, ධර්මපාල මාවත, යන මාර්ග ආශ්‍රිතව බහුල වශයෙන් මෙම නයිට් රේස් පැවැත්වෙන බව ‍පොලිසිය පැත්තෙන් කියන කාරණාවකි. ඔවුන් වැඩි වශයෙන් නයිට් රේස් සඳහා යොදා ගන්නේ වන්වේ මාර්ගයන්ය. මාර්ගයේ ගමන් ගන්නා වාහනවලට පමණක් නොව, ‍පොලිසියේ වාහනවලට පවා වෙට්ටු දමමින් ඔවුන් රේස් පදින්නේ ‍පොලිසියට කිසි විටකත් ඔවුන් අල්ලා ගන්නට ඉඩක් නොතබමිනි. කොළඹ නගරයේ සවිකර ඇති ආරක්ෂක කැමරාවල රාත්‍රී කාලයට පැහැදිලි දර්ශන නොලැබෙන බැවින් නයිට් රේස්කරුවන්ට එය මහත් ආශිර්වාදයක් වී ඇත. වැඩි හරියක් රාත්‍රි කාලයට නයිට් රේස් යන්නේද ‍පොලිසියේ ආරක්ෂක කැමරා ඇති මාර්ගවල වීමද විශේෂිතය.

ඉහළ ‍පොලිස් නිලධාරියකු රිවිර ඉරිදා සංග්‍රහයට සඳහන් කරනු ලැබුවේ, ‍පොලිසිය පවා දැන් එම නයිට් රේස් පදින්නන් නීතියේ රැහැනට හසුකරගන්නට එතරම් උනන්දුවක් නොදක්වන බවය. ඒ නයිට් රේස්කරුවන් අල්ලාගත් සැණින් ‍පොලිසියට විවිධාකාර පුද්ගලයින්ගෙන් බලපෑම් එල්ල වන බැවිනි. ඒ අය අතර දේශපාලනඥයන්ද නැත්තේම නොවේ යැයි. එම ‍පොලිස් නිලධාරියා හෙළි කළේය.

නයිට් රේස්කරුවන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමේදී එල්ලවන බලපෑම් හමුවේ ‍පොලිසිය අහක බලාගෙන සිටියදී නයිට් රේස්කරුවන් පස්සේ පන්නමින් ඔවුන් නීතියේ රැහැනට හසුකර ගැනීමට වැඩි උනන්දුවක් දක්වන්නේ නම් ඒ කුරුඳුවත්ත ‍පොලිසියේ රථවාහන අංශය පමණි. ඒ වැඩි හරියක් නයිට් රේස් සංවිධානය වන්නේ කුරුඳුවත්ත ‍පොලිස් බලප්‍රදේශයේ වන බැවිනි.

කුරුඳුවත්ත ‍පොලිසියේ නිලධාරීන් ගෙවී ගිය සති කිහිපය තුළ කරන ලද වැටලීම්වලදී එසේ නයිට් රේස් පැදි යතුරුපැදි පමණක් 10 ක් අල්ලාගෙන තිබිණි. ඒ නයිට් රේස් පැදි මෝටර් රථයක්ද සමගිනි. ඇතැම් යතුරුපැදි රුපියල් ලක්ෂ 10 යේ වටිනාකම් ඇති ඒවාය. ‍පොලිසිය කියන්නේ එම යතුරුපැදිවල හඬ වැඩිවන ආකාරයට සයිලන්සර් පවා සකස්කර ඇති බවය. ඉතා විශාල ශබ්දයක් නගමින් මාර්ගයේ ගමන් ගන්නා එම යතුරුපැදි ඔවුන් තරග පවත්වන ප්‍රදේශ ආශ්‍රිතව නිවාසවල ජීවත්වන්නන්ට පවා මහත් හිසරදයක් වී ඇතැයි ‍පොලිසිය කියන්නේය.

‍පොලිසිය පැත්තෙන් එවැන්නක් කීවත් ශ්‍රී ලංකා යතුරුපැදිකරුවන්ගේ සංගමයේ සභාපති චිරන්ත අමරසිංහ නම් පෙන්වා දෙන්නේ ‍පොලිසිය කියන සියල්ලක්ම සැබෑ නොවන බවය. රේස් නොපදින යතුරුපැදි පවා ‍පොලිසිය නිකරුනේ අල්ලාගෙන ඇති බව ඔහු පෙන්වා දෙන්නේ ‍පොලිසිය මාධ්‍ය සංදර්ශනයක් කරන බවට චෝදනාවක් කරමිනි.

අපේ රට තමයි ආසියාවේ මෝටර් රේසින් පටන්ගත්ත පළමු රට. ලොකු ඉතිහාසයක් තියෙනව. හැබැයි අපේ රටේ බලවතුන්ගේ පුත්තු රෑට රෑට කාර් රේස් පදින්නේ ‍පොලිසියේත් සහය ඇතිව. එම වාහනවල අංක තහඩු පවා නැහැ. සංවිධානාත්මකව සිදුකෙරෙන ඒ කියන නයිට් රේස් පදින අය අල්ලනව තියා ඒ පැත්ත දිහා ඇහැක් ඇරල බලන්නේ නැති අය තමයි අහිංසක යතුරුපැදිකරුවන් අල්ලන්නේ. අපි අභියෝග කරනව ලැම්බො ගිනි වගේ මිල අධික රේසින් කාර්වලින් රෑට රෑට රේස් පදින බලවතුන්ගේ එක පුතෙක් අල්ලල පෙන්වන්න කියල. යැයිද චිරන්ත අමරසිංහ ‍පොලිසියට අභියෝගයක්ද කළේ නයිට් රේස් පැදිල්ල මේ වන විට රටේ දරුණුවට සිදුවන බව ඔහුද සනාථ කරමිනි.

ගයාන් කුමාර වීරසිංහ