දේශපාලන ලෝකය කැලඹූ විශ්වාසභංගය අවසන් වුවද දේශපාලන කැලඹිල්ල තවම අවසන්ව නැත. එමගින් නිර්මාණය වූ දේශපාලන අස්ථාවරත්වය පහව ගොස් නැත. මූලික වශයෙන් දේශපාලන අස්ථාවරත්වය නිර්මාණය වූයේ ආණ්ඩුව අස්ථාවර වීම නිසාය. සම්මුතිවාදී පදනමකින් ගොඩනැගූ යහපාලන ආණ්ඩුව ආරම්භයේ සිටම මතු වූයේ යම් යම් දේශපාලන කැලඹිලිය. එකී කැලඹිලි මැනවින් කළමනාකරණය කරගෙන ආණ්ඩුව ශක්තිමත් කළ යුතුව තිබුණද එමගින් වූයේ ආණ්ඩුව දුර්වල වීමය.

ආණ්ඩුවක් කිරීමේදී නොයෙක් කැලඹිලි මතුවීම අරුම පුදුම දෙයක් නොවේ. එහෙත් ඒවාට මුහුණ දීමේ සහ ඔරොත්තු දීමේ ශක්තියක් ආණ්ඩුවට තිබිය යුතුය. ප්‍රධාන පක්ෂ නියෝජනය කරන පාර්ශ්ව දෙකක් එකතුව පිහිටුවූ යහපාලන ආණ්ඩුව කැලඹිලිවලින් දුර්වල වූයේ දෙපාර්ශ්වය ප්‍රතිපත්තිමය කාරණාවලදී දෙපැත්තකට කඹ ඇදීම නිසාය. එනම් මූලික වශයෙන්  රටේ ප්‍රධාන කරුණු පිළිබඳ එකඟතාවක් ඇතිකර ගැනීමට මුල සිට අසමත් වීම නිසාය. එවැනි එකඟතාවක් ඇති වූයේ නම් දේශපාලන කැලඹීමට මුහුණදීමට හැකි යාන්ත්‍රණ නිර්මාණය වීමට ඉඩ තිබිණි.

විශ්වාසභංගය යනු එවැනි යාන්ත්‍රණයක් මුල සිටම නොවූ බවට කදිම සාධකයකි. පිටස්තර බලවේගවලට ආණ්ඩුව ඇතුළට පැමිණ පහරදීමට හැකි වූයේ එනිසාය. සැබැවින්ම නැවුම් ආණ්ඩුවක් මෙවැනි ප්‍රහාරයකට ලක්වීම කිසිසේත්ම සුබවාදී ලකුණක් නොවේ. විශ්වාසභංගයෙන් අගමැතිවරයා ජයග්‍රහණය කිරීම වෙනම කතාවකි. එහෙත් එමගින් ආණ්ඩුවට සිදු වූ අනතුර සුළුපටු නැත.

විශ්වාසභංගයෙන් පසු ආණ්ඩුවේ සම්මුතිය සම්පූර්ණයෙන් බිඳ වැටී තිබේ. විශ්වාසභංගයට සහාය පළ කළ සහ පළ නොකළ වශයෙන් පාර්ශ්ව දෙකක් නිර්මාණය වී තිබේ. එක්සත් ජාතික පක්ෂය මුල්කර ගත් කණ්ඩායම අවධාරණය කරන්නේ විශ්වාසභංගයට සහාය පළ කළ ශ්‍රීලනිප ඇමැතිවරුන් කැබිනට් මණ්ඩලයෙන් ඉවත් කර නව ඇමැති මණ්ඩලයක් පත්කළ යුතු බවය. එසේ වුවද ජනාධිපතිවරයා උපදෙස් දී තිබෙන්නේ විශ්වාසභංගයට සහාය පළ කළ ශ්‍රීලනිප ඇමැතිවරුන් ආණ්ඩුවෙන් කිසිසේත්ම ඉවත් නොවිය යුතු බවය. අගමැතිවරයා නම් ප්‍රකාශ කළේ ජනාධිපතිවරයා හමුවී ආණ්ඩුව ගෙනයාම පිළිබඳ සාකච්ඡා කරන බවය. මෙවැනි දේශපාලන පසුබිමක එවැනි කතාබහකට ඉඩක් තිබේද යන්න ගැටලු සහගතය. සැබැවින්ම දෙපැත්තකට ඇද ආණ්ඩුවක් කළ නොහැකිය.

නාමිකව ආණ්ඩුවක් තිබුණ ද ජාතික මට්ටමේ කිසිදු තීන්දුවක් තීරණයක් ගත නොහැකිය. එවැනි තීන්දු තීරණ ගත නොහැකි තැන රට ගමන් කරන්නේ අරාජික තැනකටය. එහෙයින් විශ්වාසභංගයෙන් පසුව හෝ මතුව තිබෙන දේශපාලන ගැටුම් කළමනාකරණය කරගෙන ශක්තිමත් ආණ්ඩුවක් අවම වශයෙන් හෝ ස්ථාපිත කිරීමට ජනාධිපතිවරයා පියවර ගත යුතුය. රාජ්‍ය නායකයා වශයෙන් ඔහුට එය කිසිසේත්ම මගහැරිය නොහැකි බරපතළ වගකීමකි.  අපට පෙනෙන පරිදි අගමැතිවරයා පාර්ලිමේන්තුව තුළ තම බහුතර බලය පෙන්වා තිබේ. ඒ ගැන තිබෙන අතුරු කතා වෙනම දෙයකි. එහෙයින් ඔහුට ශක්තිමත් කැබිනට් මණ්ඩලයක් ස්ථාපිත කර ආණ්ඩුව ගෙනයාමට ජනාධිපතිවරයා උපදෙස් දිය යුතුය. අගමැතිවරයාගේ පාර්ශ්වයෙන් එවැනි ශක්තිමත් ආණ්ඩුවකට යනවා වෙනුවට අපට දක්නට ලැබෙන්නේ විශ්වාසභංග ජයග්‍රහණය භුක්ති විඳින ආකාරයයි. එජාප මැති ඇමැතිවරු විශ්වාසභංගය ජයග්‍රහණය කළ පසු සිරිකොතට ගොස් කිරිබත් කා සතුටු වූහ. රටේ බොහෝ තැන්වල රතිඤ්ඤා ද පත්තු විය. අවුරුදු උදාවට පෙර මෙලෙස රතිඤ්ඤා පත්තු කිරීම ද අරුමැසි වැඩකි. මෙවැනි වැඩවලින් රටේ ජනතාවට නම් සිදුවන සෙතක් නැත. ජනතාව බලා සිටින්නේ තමන්ගේ ප්‍රශ්න විසඳිය හැකි ආණ්ඩුවකි. ආණ්ඩුව ශක්තිමත්ම විය යුතු කාල පරිච්ජේදයක එය දුර්වල වී තිබේ. විශේෂයෙන් මේ වන විට රටේ විවිධ සමාජ දේශපාලන, ආර්ථික ප්‍රශ්න රැසක් උද්ගත වී තිබේ. ඒ ප්‍රශ්න විසඳා ගත හැක්කේ ශක්තිමත් ආණ්ඩුවකට පමණි.

ආණ්ඩුවේ පාර්ශ්ව දෙක ඉදිරියටත් බලය තහවුරු කර ගැනීම සඳහා කඹ ඇදිල්ලක නිරත වන්නේ නම් එමගින් බරපතළ ප්‍රතිවිපාක විඳීමට සිදුවන්නේ මහජනතාවටය. අදින කඹයක් පැත්තකට වී ඇදිය යුතුය. ඒ පළමුව මහජනතාවගේ ප්‍රශ්න විසඳීමට ඉඩ සලසමිනි. එහෙයින් කඹ ඇදිල්ල පසෙකලා මතභේද අවම කරගෙන අවම වශයෙන් එකඟ විය හැකි වැඩපිළිවෙළක් අනුව ආණ්ඩුව කිරීමට පියවර ගත  යුතුය. ජනතාව සිදුවන්නේ කුමක්දැයි තේරුම් ගත නොහැකිව තක්කු මුක්කු වී සිටිති. අනෙක් අතට ඔවුන් ආණ්ඩුවක් පත්කර ගත්තේ තමන්ගේ ප්‍රශ්න විසඳීමටය. එහෙත් ජනතාවගේ ප්‍රශ්න විසඳනවා වෙනුවට ආණ්ඩුව ස්ථාපිත කළ පාර්ශ්ව තම බල දේශපාලන ප්‍රශ්න විසඳා ගැනීමට කාලය වැය කිරීම කිසිසේත්ම යෝග්‍ය පියවරක් නොවේ. ජනතාව පුදුම වී බලා සිටින්නේ එනිසාය. දේශීය වශයෙන් සේම විදේශීය වශයෙන්ද රට අර්බුද රැසකට මුහුණ පා සිටී. ඒවාට මුහුණ දිය හැක්කේ ශක්තිමත් ආණ්ඩුවකට පමණි. එසේ නොවුවහොත්  සිදුවන්නේ දෙස් විදෙස් බලවේගවලට ආණ්ඩුව සහ රට නතුවීමය. එය කිසිසේත්ම හිතකර නොවන බව අමුතුවෙන් කිව යුතු නැත.

දේශපාලන තොරතුරු අනුව විශ්වාසභංගයේදී දෙමළ ජාතික සන්ධානය අගමැතිවරයාට සහාය පළ කරමින් විශ්වාසභංගයට එරෙහිව ඡන්දය දුන්නේ කොන්දේසි කීපයක් ඉදිරිපත් කරමිනි. යෝජිත ව්‍යවස්ථා කෙටුම්පත සම්මත කර ගැනීම ඉන් එක් කොන්දේසියකි. රටේ සියලු ප්‍රශ්න පසෙකලා ආණ්ඩුව නව ව්‍යවස්ථා කෙටුම්පත ප්‍රශ්නය මුලට ගන්නේ නම් එය රටේ බහුතර ජනතාව අතෘප්තියට පත් කිරීමට හේතු වනු ඇත. එහෙයින් රටේ සමස්ත ජනතාවට බලපාන කුදු මහත් ප්‍රශ්න විසඳාගත හැකි ප්‍රයෝගික යාන්ත්‍රණයක් සඳහා ආණ්ඩුව යොමු විය යුතුය. න්‍යායික කරුණුවලට වඩා ප්‍රායෝගික කරුණු කෙරෙහි ප්‍රමුඛතාව ලබා දිය යුතුය. එවැනි ප්‍රවේශයකට යොමු  වුවහොත් එය ජනතාව පැත්තෙන් බලන කල ඉතාම සාධනීය පියවරකි. එවැනි පියවරකට යොමු වී රටේ සහ ජන සමාජයේ සුරක්ෂිතතාව තහවුරු කිරීමට හේතු වන ආකාරයෙන් රට පාලනය කිරීමට ආණ්ඩුව යොමු විය යුතුය.