අවුරුදු සමය උදාවෙමින් තිබේ. මෙරට සිංහල, දෙමළ බොහෝ දෙනා අවුරුදු සැණකෙළිය සඳහා සූදානම් වෙති. එයට හේතුව අවුරුදු සැමරුම වසර 2000 කට අධික කාලයක් තිස්සේ මෙරට සංස්කෘතිය තුළ මුල්බැසගෙන තිබිමය. අස්වනු නෙළාගෙන එහි ප්‍රථම භාගය දෙවියන්ට, බුදුන්ට පූජා කිරීමෙන් ඇරඹෙන අවුරුදු සැමරුමේ දී අපගේ පලුදු වූ මානව සබඳතා ද අලුත් වේ. විශේෂයෙන් බොහෝ දෙනා තම නිවෙස්වල අවුරුදු සමරා නෑ හිතමිතුරන්ගේ ගෙවල්වලට තැගිභෝග ගෙන යති. එයට පෙර අවුරුද්දට සූදානම් වීම සඳහා කුදුමහත් දේවල් මිලදී ගැනීම සඳහා ද ජනතාව බෙහෙවින් නගර කරා ඇදී එති. එසේ නගර කරා ඇදී ඒමේදී සමහරුන්ට කිසිම සිහි කල්පනාවක් නොමැත. ඔවුන්ගේ එකම අරමුණ කෙසේ හෝ බඩු භාණ්ඩ මිලදී ගෙන නිවාස කරා ඇදී යාමය.

මෙම කඩිමුඩිය නිසා අවුරුදු සමය අනතුරු බහුල සමයක්ද වන බව අමුතුවෙන් කිව යුතු නැත. සතුටු සිනා මැද අවුරුද්ද සැමරීමට පටන් ගන්නා සමහරු එම සැමරුම් කඳුළුවලින් අවසන් කරති. එනිසා සමහර අවුරුදු සැමරීමට සිටින ගෙවල් දොරවල් මළ ගෙවල් බවට පත්වන්නට යන්නේ නිමේෂයකි. එහෙයින් මේ අවුරුදු සමයේ දී පාරට තොටට බැසීමට පෙර සිහිකල්පනාවෙන් කටයුතු කිරීමට හිතට ගත යුතුය. එපමණක් නොව මගට තොට බැස්ස විට කොතැනකදී හෝ රිය අනතුරු ඇතුළු අනෙක් අනතුරුවලට මුහුණ දීමේ ඉඩකඩක් තිබෙන බවද සිහි තබාගත යුතුය. එහෙත් සමහරුන්ට පාරට බැස්ස විට මේ කිසිවක් ගැන කිසිදු වග විභාගයක් නොමැත. එහෙයින් කිසිම සෙවිල්ලක් බැලිල්ලක් නොමැතිව පාර මාරු වෙති. වාහනවලින් නගරයට ඇදී එන තවත් අය පියාඹන්න උත්සාහ කරති. මෙම ඉක්මන් වීම නිසා හැම වසරකදීම සමහර අවුරුදු කතා කඳුළු කතාවලින් අවසන් වේ. ඉකුත් දිනවල වාර්තා වූ රිය අනතුරු කෙතරම් ඛිෙදනීය ද යත් සමහර අනතුරුවලින් පවුල්පිටින්ම විනාශ විය.

අද බොහෝ දෙනා ගමනාගමනය සඳහා භාවිත කරන්නේ ත්‍රිරෝද රථයයි. මේ ත්‍රිරෝද රථවල ඒවාට ඔරොත්තු නොදෙන තරම් අය ගමන් කරති. බොහෝ විට පවු‍ලේ සාමාජික සාමාජිකාවන් හත් අට දෙනෙක් සිටියත් ඒ සියලු දෙනාම තම ගෙදර ත්‍රිරෝද රථයට නැග ගමන් බිමන් යති. මෙය අතිශය අනතුරුදායක ප්‍රවේශයකි. පවුල්පිටින් සංහාරයට පත් වන්නේ සමහර පවුල්වල බොහෝ දෙනා ආබාධිත තත්ත්වයට පත්වන්නේත් මෙවැනි අධූරදර්ශී ක්‍රියාමාර්ග නිසාය. සැබැවින්ම අවුරුද්ද සැමරුම සඳහා යමක් මිලදී ගැනීමට පවු‍ලේ සියලුම දෙනාම යා යුතුද? යන ප්‍රශ්නය කෙරෙහි සැමදෙනාම අවධානය යොමු කළ යුතුය.

බොහෝ විට අවුරුද්දට වුවමනා කළමනා මිලදී ගැනීමට නගරය කරා ගියේ දෙමාපිය වැඩිහිටියන් පමණි. ඔවුහු දූදරුවන්ට වුවමනා දේ ද රැගෙන ආහ. එහෙත් දැන් මුළු පවුලම කළමනා මිලදී ගැනීම සඳහා නගරය කරා ඇදී යයි. සමහර රිය අනතුරුවලින් දූදරුවන් ජීවිත බේරා ගන්නා අවස්ථා තිබේ. එහෙත් මවුපියන් මියගොස්ය. මෙනිසා දරුවන්ට මව සේම පියාද අහිමි වේ. එහෙයින් මෙවැනි කරුණු කෙරෙහි අවධානය යොමු කර අනතුරු අවම වන සේ පියවර ගැනීමට යොමුවිය යුතුය. විශේෂයෙන් ගමනාගමනය සඳහා ත්‍රිරෝද රථ භාවිත කිරීමේ දී තම ආරක්ෂාව ගැන අවධානය යොමු කළ යුතුය.

අවුරුදු සමයේ රිය අනතුරු වැඩි වීමට තව ප්‍රබල හේතුවක් වන්නේ බිමත්කමය. බොහෝ අය බිමතින් රිය පදවති. මෙසේ බිමතින් රිය පදවන්නෝ තමන්ගේ පමණක් නොව තවත් බොහෝ දෙනකුගේ ජීවිත අනතුරේ දමති. එනිසා බිමතින් තොරව රිය පැදවීමට නිරන්තරයෙන් කෙරෙන දැනුවත් කිරීම්, උපදෙස් කෙරෙහි අවධානය යොමු කළ යුතුය. එය අවුරුදු සමය ශෝක සමයක් වීමෙන් වළක්වා ගැනීමට අත්‍යවශ්‍ය පියවරකි. රිය අනතුරු වැඩිවීමට තවත් බෙහෙවින් බලපාන හේතුවක් නම් හරිහමන් නින්දක් නොමැතිව රිය පැදවීමයි.

ආණ්ඩුව ද ‍පොලිසිය සමග එක්ව මහජන ආරක්ෂාව වෙනුවෙන් විධිමත් වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කළ යුතුය. උත්සව සමයේ දී රිය අනතුරු අවම කර ගැනීම සඳහා විවිධ වැඩපිළිවෙළවල් ක්‍රියාත්මක කළ ද අනතුරුවලින් නම් අඩුවක් නොවිණි. එහෙයින් නිසි සැලැස්මක් සකස් කර ඒ පිළිබඳ මහජනතාව දැනුම්වත් කළ යුතුය. ජනතාවට නගරයට පැමිණීමට සහ නගරයට පැමිණ කුදුමහත් කටයුතු කර ගැනීම සඳහා ‍පොදු ප්‍රවාහන සේවය විධිමත් කළ යුතුය. විශේෂයෙන් විශේෂ දුම්රිය ප්‍රවාහන වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන්නේ නම් යෙහෙකි. එයට හේතුව දුම්රිය මගින් ගමනාගමන පහසුකම් සලසා ගැනීම අනතුරු අවම කර ගත හැකි හොඳ විකල්පයක් හෙයිනි.

මෙකී කරුණු කෙරෙහි අවධානය යොමු කර ආණ්ඩුව සේම මහජනතාව ද අවුරුදු සමය අනතුරුවලින් තොර සමයක් බවට පත් කර ගැනීමට යොමුවිය යුතුය.