මේ සටහන ලියනවිටද විශ්වාසභංග වාද, විවාද, අවලාද, අපහාස, උපහාසවලින් පාර්ලිමේන්තුව සලිත වෙමින් තිබුණි. පැත්තක සිට එය නිරීක්ෂණය කරන්නෙකුට එකවිට හැඟෙන්නේ රටේ මහජනතාවගේ ප්‍රශ්න විසඳීම සඳහාද මේ අය මෙතරම් කෑ මොර දෙන්නේ යන ගැටලුවයි. පාර්ලිමේන්තුවේ   කතාබහ විය යුතු ජාතික මට්ටමේ ප්‍රශ්න මතු වූයේ කිහිප විටක් නොවේ. එහෙත් ඒ බොහෝ ප්‍රශ්නවලට ග්‍රාමීය මට්ටමේ අවධානයක්වත් නොලැබුණු බව අපට රහසක් නොවේ. රටේ විසඳා ගත යුතු, කතාබහට ලක් කළ යුතු ප්‍රශ්න රැසක් තිබේ. ඒ සියල්ල විශ්වාසභංගය වැනි වාද විවාදවලින් යට වී තිබේ. එක් අතකින් බලනවිට මේ භංග සියල්ල දැන්වත් භංග වේ නම් කාටවත්ම නොව මෙරට ජනතාවට යහපතකි. පාර්ලිමේන්තුව ජනතා කේන්ද්‍රීය, ජනතා පරමාධිපත්‍ය පිළිබිඹු කරන ස්ථානයක් බවට පත්වන්නේ කෙදිනද යන ප්‍රශ්නය අපට ඇති වේ. එහෙයින් පමා වී හෝ පාර්ලිමේන්තුව ජනතාව වෙනුවෙන් පෙනී සිටින තැනකට යොමු විය යුතුය.

පැහැදිලිව පෙනෙන පරිදි විශ්වාසභංගය පදනම් කරගෙන පාර්ලිමේන්තුව දෙකට බෙදී තිබේ. රටේ ආණ්ඩු පක්ෂ, විපක්ෂ දේශපාලනය දෙකඩ වී ඇත.  ජනතාව මේ දෙපැත්තම දෙස බලාගෙන තක්කු මුක්කු වී සිටිති. ඒ මේ රටට වෙන්නේ කුමක්ද යන්න පිළිබඳව කිසිවක් සිතා ගත නොහැකිවය. ජනතාවට වුවමනා කරන්නේ ඔවුන්ගේ ප්‍රශ්න විසඳමින් රට මෙහෙයවිය හැකි ආණ්ඩුවකි. විශ්වාසභංගයෙන් පසුව හෝ එවැනි තැනකට ආණ්ඩුව යොමු වේවිද යන ගැටලුව අපට ඇති වේ. එයට හේතුව නම් විශ්වාසභංගයෙන් පසු ආණ්ඩුවේ සර්වදෝෂ භංග වේ යැයි සිතීමට තුඩු දෙන කරුණු නොමැති හෙයිනි.

දැනට අපට පෙනෙන පරිදි සම්මුතිවාදී යහපාලන ආණ්ඩුව ස්ථාපිත කිරීමට මූලික වූ එජාප හා ශ්‍රීලනිප කණ්ඩායම් දෙක පැහැදිලි බෙදීමකට ලක්ව තිබේ. එවැනි පසුබිමක යළි එම කණ්ඩායම්වලට එක්ව ආණ්ඩු කළ හැකිද යන්න සැබැවින්ම ගැටලු සහගතය. ඒ තරමට එම කණ්ඩායම්වල සාමාජිකයෝ එකිනෙකා විවේචනය කර ගනිමින් මුල් සම්මුතිය බිඳ දමමින් සිටිති. එහෙයින් සම්මුතිවාදී ආණ්ඩුවකට තවත් ඉඩ තිබේද? එසේ ඉඩ නොමැති නම් ඊළඟ දේශපාලන විකල්පය කුමක්ද? ඉන් එක විකල්පයක් නම් එක කණ්ඩායමක් බහුතර බලය ලබාගෙන අලුත් ආණ්ඩුවක් පිහිටුවීමය. ඒ සඳහා බහුතරයක් ලබා ගැනීමට කණ්ඩායම් දෙකෙන් කවර පිලකට හෝ අවස්ථාවක් තිබේද යන්නද ගැටලු සහගතය.

එනිසා ආණ්ඩුව රට අරාජික තැනකට ඇද නොදමා නොපමාව සුදුසු පියවර ගත යුතුය. එයට හේතුව මේ වර්ධනය වන දේශපාලන අස්ථාවරත්වය කිසිසේත්ම රටට, වැසියන්ට ගුණදායක නොවන හෙයිනි. එමගින් සිදුවන්නේ රට තවත් අගාධයකට තල්ලුවීමය. ඒ අගාධයෙන් බේරී බොහෝ දේශපාලනඥයන් රටින් එතෙරට පියාසර කරනු ඇත. එහෙත් අගාධයට වැටෙන්නේ මේ රටේ ආණ්ඩු පත්කරමින් මහත් බලා‍පොරොත්තු තැබූ ජනතාවය. එවැනි තැනකට රට පත් නොකළ යුතුය. රට ආණ්ඩුකරණයට ලක් විය යුතුය. පාලනය විය යුතුය. විධිමත්ව අත්‍යවශ්‍ය තීන්දු තීරණ ගැනීමේ යාන්ත්‍රණය ක්‍රියාත්මක විය යුතුය.

ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන ක්‍රමය අනුව විශ්වාසභංග, දෝෂාභියෝග ආදිය ඇතිවීම පුදුමයක් නොවේ. එහෙත් ඒවා දිගින් දිගටම වර්ධනය වන තැනකට යොමුවීමෙන් සිදුවන්නේ රට අස්ථාවර වීමය. දැනටම එහි ලකුණු පහළ වී තිබේ. මේ අතර අපගේ අවධානයට ලක් විය යුතු තවත් අතිශය බිහිසුණු කරුණක් නම් විශ්වාසභංග විවාදයේදී මුදලට අලෙවි වූ බව කියන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිළිබඳ එල්ල වන ප්‍රබල චෝදනාව ගැනය. සැබැවින්ම ප්‍රාදේශීය සභාවේ සිට පාර්ලිමේන්තුව දක්වා මහජන නියෝජිතයන් මුදලට විකිණීම ගැන කතාබහක් ඇති වේ. මෙය ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක් මුහුණ දෙන දරුණු අනතුරකි. ජනතාව මහජන නියෝජිතයන් පත්කර යවන්නේ තමන් වෙනුවෙන් නිසි පරිදි පෙනී සිටී යන අපේක්ෂාව අනුවය. මෙකී මුදල් කතා සැබෑවක් නම් මෙම මහජන නියෝජිතයන් පෙනී සිටින්නේ කවුරුන් වෙනුවෙන්ද? මහජන මනාපයත්, මුදල් වටිනාකමක් හිමි භාණ්ඩයක් නම් එය මුදලට අලෙවි වේ නම් ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ ජනතා විශ්වාසය වේගයෙන් පහළ වැටෙනු ඇත. එසේ ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ විශ්වාසය බිඳ වැටීමේ නොවැළැක්විය හැකි ප්‍රතිඵලයක් නම් ජනතාව ප්‍රජාතන්ත්‍ර විරෝධී, ඒකාධිපතිවාදී බලවේගවලට නතුවීමය. යහපාලන ආණ්ඩුව එවැනි තැනකට ඉඩ සලසනවාද යන්න තීරණය කළ යුතුය. එවැනි තැනකට ඉඩ සලසන්නේ නම් එය ඔවුන් සිදුකරන කිසිදු සමාවක් නොලැබෙන ඓතිහාසික වරදක් වනු ඇත. එනිසා අප සඳහන් කරන්නේ ආණ්ඩුව ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ ජනතාව තුළ තිබෙන අවම විශ්වාසයවත් රැකෙන පරිදි කටයුතු කළ යුතුය.