යහපාලන ආණ්ඩුව රට කරවන්න පටන්ගත් දා සිට විවිධ විශ්වාසභංග කතාවලින් අඩුවක් නොවීය. ආණ්ඩුව බලයට පත්වූ විට මුලින්ම විශ්වාසභංගයක් ගෙනාවේ එවක මුදල් ඇමැති රවි කරුණානායකට එරෙහිවය. එසේ වුවද ඒවා එතරම් දුරදිග ගියේ නැත. සමහර විට පත්තුවෙන්න ඔන්න මෙන්න තිබියදී නිවී ගියේය. ඒ කෙසේ වෙතත් අගමැති රනිල් වික්‍රමසිංහට එරෙහිව ඉදිරිපත් කර තිබෙන විශ්වාසභංගය රට තුළ යම් දේශපාලන අස්ථාවරත්වයක් ඇති කිරීමට හේතුවන තරමට දුරදිග ගොස් තිබේ. ආණ්ඩුවේ එදිනෙදා කුදු මහත් පාලන කටයුතු හා තීන්දු, තීරණ ගැනීමේ යාන්ත්‍රණය යම් මට්මකට අඩපණ වී තිබේ. එයට හේතුව ආණ්ඩුවේ සහ විපක්ෂයේ සියලු ලොකු ලොක්කන්ගේ අවධානය විශ්වාසභංගය වටා කේන්ද්‍රගත වීමය. සැබැවින්ම මෙය ජනතාවට වෙහෙස ගෙනදෙන්නක් බව අමුතුවෙන් කිව යුතු නැත. ජනතාව ආණ්ඩුවක් පත්කර ගන්නේ තම තමන්ගේ විවිධ ප්‍රමාණයේ ප්‍රශ්න විසඳා ගැනීමටය. ඒ ප්‍රශ්න විසඳා ගන්නවා වෙනුවට ආණ්ඩුවේ ඉහළ ඇත්තන් තම තමන්ගේ බල ඒකාධිකාරිය පිළිබඳ ප්‍රශ්න විසඳා ගැනීම සඳහා කාලය වැය කිරීම ගැටලු සහගත නොවේද? ජනතාව ආණ්ඩුවක් නඩත්තු කරන්නේ තමන් වෙනුවෙනි. එසේ විනා දේශපාලන ලෝකයේ බල රැඟුම් දෙස බලා සිටීමට නොවේ. දේශපාලනය කිරීමේදී විවිධ රැඟුම් ඉස්මතු වේ. බල රැඟුම්ද ඉස්මතු වේ.  එහෙත් ඒවා කළමනාකරණය කරගැනීමේ යාන්ත්‍රණයක් ආණ්ඩුවකට තිබිය යුතුය.

කෙසේ වෙතත් මෙසේ ඇදි ඇදී ආ විශ්වාසභංග විරෝධය අද (04) තීරණාත්මක තැනකට එළැඹෙනු ඇත. එය කවර අතකට යොමුවේවිදැයි අපට තවම නිශ්චිත වශයෙන් සඳහන් කළ නොහැකිය. එය දේශපාලන කාඩ් කුට්ටම හොඳට අනන අයට සහ ඇති පදම් සල්ලි විසි කරන අයට වාසි සහගත වීමට බෙහෙවින් ඉඩකඩ තිබෙන බව නම් සඳහන් කළ හැකිය. හුදෙක් අගමැති ධුරයේ ඔළුගෙඩි මාරුවීමෙන් දේශපාලන අර්බුදයක් විසඳේ යැයි කීමට තරම් අප බොලඳ නැත.

එයට හේතුව අර්බුදය පුද්ගල බද්ද සීමාව ඉක්මවා යන හෙයිනි. මෙම දේශපාලන අර්බුදය දුරදිග යාම නිසා රට ආර්ථික වශයෙන් අස්ථාවර වෙමින් තිබේ. එසේම මහජන සමාජය අනාරක්ෂිත තැනක් වෙමින් ඇත. ජනතාවට විසඳාගත යුතු ප්‍රශ්න විසඳා ගැනීමේ යාන්ත්‍රණය කෙරෙහි අවධානය අවම වෙමින් තිබේ. දෙපැත්තකට ඇදෙන රටකට ගමනක් නොමැත. ආර්ථික, සමාජීය වශයෙන් එවැනි රටකට ඉලක්ක සපුරාගත නොහැකිය. එහෙයින් අදින් පසුව හෝ ශක්තිමත් ආණ්ඩුවක් සඳහා ජනාධිපතිවරයා ප්‍රධාන ආණ්ඩුවේ අනෙක් වගකිවයුත්තන් එකට එක්ව කටයුතු කළ යුතුය. රටක අස්ථාවර භාවය මෙසේ දිගින් දිගටම දුරදිග යන්නේ නම් බොරදියේ මාළු බාන විදෙස් බලවේග හිස එසැවිය හැකිය.

මෑතකාලීන දේශපාලන ඉතිහාසය දෙස නෙතඟ බැල්මක් හෙළන්නකුට වුවද එවැනි ආකාරයට යම් යම් බලවේග මතුවූ ආකාරය තේරුම්ගත හැකිය. රාජ්‍යය මුදුනේ ඇතිවන දේශපාලන අස්ථාවරත්වය ක්‍රමයෙන් අනෙක් සියලුම ආයතනවලට විහිද යයි. විශේෂයෙන් එය රටේ ජාතික ආරක්ෂාව භාර තැන්වලටද බලපෑ හැකිය. එවැනි තැනකට දේශපාලන අස්ථාවරත්වය බලපෑම අතිශය නරක ප්‍රතිඵල ගෙනදීමට හේතුවනු ඇත. අනෙක් කරුණ නම් අපට රටක් හැටියට ලෝකය සමග ගමනක් තිබේ. එය කිසිසේත්ම ලෙහෙසි පහසු ගමනක් නොවේ. එය බිහිසුණු තරගයකි. එවැනි තරගයකට මුහුණ දීමට නම් දේශපාලනික වශයෙන් ස්ථාවරත්වයක් තිබිය යුතුමය. එසේ නොවුණු කල ලෝකය අප ඉක්මවා හැතැප්ම කෝටි ගණනක් දුරකට යනු ඇත. එපමණක් නොව මෙවැනි සෙල්ලම්වලින් සිදුවන්නේ රටේ දූ දරුවන්ට අනාගතයක් නැති රටක් බිහිවීමය. එහෙයින් යහපාලන ආණ්ඩුව පිහිටුවීමට මුල්වූ දේශපාලන කණ්ඩායම් අවම වශයෙන් එකඟ විය හැකි කරුණු සමග ආණ්ඩුවක් ගෙනයාමට අවශ්‍ය කතිකාව සකස් කරගත යුතුය. එසේ අවම වශයෙන් හෝ එකඟ විය හැකි ආණ්ඩුවක් ස්ථාපිත කළ නොහැකි නම් ආණ්ඩුවක් පිහිටුවීමට විපක්ෂ බලවේගවලට ඉඩ දිය යුතුය. එමගින් හෝ යම් ශක්තිමත් ආණ්ඩුවක් බිහිවනු ඇත. සමාජ, ආර්ථික, දේශපාලනික වශයෙන් අර්බුද රැසකට මුහුණ දී සිටින රටකට මේ මොහොතේ අවශ්‍ය වන්නේ ශක්තිමත් ආණ්ඩුවකි. අපට කොටි සංවිධානය පරාජය කිරීමට හැකිවූයේ ශක්තිමත් ආණ්ඩුවක් ස්ථාපිත කරගැනීමට හැකිවූ නිසාය. වැනෙන ආණ්ඩුවකට කළහැකි දෙයක් නැත. එවැන්නකින් ආණ්ඩුවට, රටට හෝ ජනතාවට සිදුවන සෙතක් නැත.