අප්‍රේල් 1 වැනිදා සිට ක්‍රියාත්මක වන නව බදු ක්‍රමය නිසා මේවන විට රටේ යම් බදු කෝලාහලයක් ඇති වී තිබේ. යහපාලන ආණ්ඩුව බලයට පත්වූ විට බදු ක්‍රමය වෙනස් කිරීම පිළිබඳ යම් කතාබහක් ඇති විය. විශේෂයෙන් දැනට තිබෙන දේශීය ආදායම් පනත සංශෝධනය කර එය යාවත්කාලීන කළ යුතු බවට අදහසක් ඇති විය. විශේෂයෙන් මෙරට බදු ක්‍රමයේ අසමබරතාව විසඳිය යුතු කරුණක් සේ අවධානයට ලක්විය. මෙරට බදු ක්‍රමය අනුව ජු බදු අය කිරීම් තිබෙන්නේ අවම මට්ටමකය. එහෙත් වක්‍ර බදු 80 වැනි ඉහළ අගයක් ගනී. මෙය බැලූ බැල්මට ගැටලුවකි. එහෙයින් ඒ පිළිබඳ නොයෙක් අදහස් ඉදිරිපත් කෙරිණ. ආර්ථික විද්‍යාවේ න්‍යායන් අනුව නම් ජු බදු අයකිරීම කෙරෙහි ආණ්ඩුවක් අඩු අවධානයක් දක්වන්නේ ඉහළ වත්කමක් ඇති පුරවැසියා තම ආදායම ආයෝජනය කිරීමට පෙලඹෙන නිසාය. අඩු ආදායම්ලාභියා තමන්ට ලැබෙන මුදල ආයෝජනය කිරීමට පෙලඹෙන්නේ නැත. මූලික අවශ්‍යතා පිරිමසා ගත්විට ආයෝජනය කිරීමට යමක් ඉතිරිවන්නේ නැත.

කෙසේ වුවද ලංකාවේ ජු හා වක්‍ර බදු අතර තිබෙන්නේ ඉහළ විෂමතාවකි. නව බදු ක්‍රමය අනුව ජු බදු අයකිරීම කෙරෙහි ඉහළ අවධානයක් දක්වා ඇති බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සඳහන් කරයි. රටේ බදු ගෙවීමේ ක්‍රියාවලියේ ව්‍යුහාත්මක වෙනස්කම් ඇතිකර ගැනීමෙන් බදු අයකිරීම කාර්යක්ෂම කිරීම සාධනීය පියවරකි. එසේ නමුදු නව බදු ක්‍රමය මගින් තෝරු මෝරුන්ට වඩා ඊට පහළ ආදායම් උපයන්නන් කෙරෙහි දැඩි අවධානයක් දක්වා තිබෙන බව පෙනේ. නිදර්ශනයක් වශයෙන් ලක්ෂ තුනකට වඩා මාසික වැටුපක් ලබන්නෙකුගෙන් ද නව බදු ක්‍රමය අනුව බද්දක් අයකර ගැනේ. විශේෂයෙන් මෙහිදී වෛද්‍යවරුන් හා නීතිඥයන් ඉලක්ක කර තිබෙන බව පෙනේ. ලංකාවේ නීතිඥයෝ හා වෛද්‍යවරු ඉහළ ලෙස ආදායම් උපයන්නෝය. මේ බොහෝ අයගේ ආදායම් වාර්තා නොමැත. එහෙයින් ඔවුන් හා සාමාන්‍ය උපයන්නන් අතර දැඩි පරතරයක් තිබේ. එහෙයින් පෙරකී ආකාරයට ලක්ෂ 3කට වඩා උපයන්නන්ගෙන් බද්දක් අය කිරීමට ආණ්ඩුව යොමුවීම උපායමාර්ගික පියවරක් සේ පෙනේ. එසේම වර්ෂයකට මිලියන 25.5ක ආදායමක් උපයන අයට පෙර බලපෑ ඉහළම බදු අනුපාතය 12කි. එහෙත් නව බදු ක්‍රමය අනුව එය 24ක් වනු ඇත. එසේම යම් කෙනෙක් තමන්ට තිබෙන දවෛනි නිවසක් හෝ ඉඩමක් විකුණන්නේ නම් එමගින් ද බද්දක් අය කෙරේ. නව බදු ක්‍රමය පිළිබඳ විවිධ යෝජනා අතරින් වඩාත් කතාබහට ලක්ව තිබෙන්නේ වයස 18ට වැඩි සෑම පුරවැසියකුටම ආදායම් බදු ෆයිල් එකක් විවෘත කිරීමය. නව බදු ක්‍රමය අනුව උපයන විට ගෙවීම් මත පැනවූ බදු ද සංශෝධනය කර තිබේ. මෙහි විශේෂත්වය වන්නේ සේවානියුක්තිකයන්ගේ ආදායම මත එය පැනවීමය. ඒ අනුව සේවා නියුක්තිකයන්ගේ මාසික වැටුප රුපියල් ලක්ෂයක් හෝ ඊට අඩුනම් ඔහුගෙන් බදු අයකිරීමක් සිදු නොකරන බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සඳහන් කරයි. එසේම සේවක අර්ථසාධක අරමුදල හා විශ්‍රාම වැටුප් මෙම බදුවලින් නිදහස් කර තිබේ.

ඒකාබද්ධ විපක්ෂය නම් සඳහන් කරන්නේ මේ නව බදු ක්‍රමයට එරෙහිව විරෝධතාවක් ක්‍රියාත්මක කරන බවය. එසේම නව බදු ක්‍රමය අහෝසි කළ යුතු බව ඔවුන්ගේ අදහසය. සැබැවින්ම මේ බදු ක්‍රමයේ ගැටලු තැන් තිබේ. විශේෂයෙන් විදෙස්ගත ශ්‍රමිකයන් මෙරට තැන්පත් කරන තැන්පතුවලට ලැබෙන ‍පොලියට බද්දක් අය කිරීම එක් නිදර්ශනයකි. මෙයට පෙර එවැනි බද්දක් ක්‍රියාත්මක වූයේ නැත. මෙනිසා මැද පෙරදිග සහ යුරෝපීය රටවල සිටින මෙරට ශ්‍රමිකයන් හොර පාරෙන් රටට මුදල් එවීමට ඉඩකඩ තිබේ. විශේෂයෙන් උන්ඩියල් ක්‍රමයට මුදල් එවීම ඉහළ යා හැකිය. එසේම බැංකුවල මුදල් තැන්පත් කිරීමට යොමුවීම අඩුවිය හැකිය. නිරර්ථක දේශපාලන කතාවලට ලැබුණු අවධානය බදු මාතෘකාවට නොලැබුණු බව පෙනේ. අප දන්නා පරිදි නොයෙක් අයථා ක්‍රමවලින් සල්ලි උපයන්නෝ තවම මුදල් සේප්පුවල තැන්පත් කරති. පහුගිය කාලයේ එබඳු සේප්පු කතා ඕනෑතරම් එළියට ආවේය. මෙසේ සේප්පුවල මුදල් තැන්පත් කරන්නන්ගේ ආදායමින් බද්දක් අයකරගන්නේ කෙසේද යන ගැටලුව අපට ඇති වේ. එහෙයින් මේවා කෙරෙහි ද ආණ්ඩුව අවධානය යොමු කළ යුතුය.

රටේ ජාතික හා සමාජ ආරක්ෂාව ඉහළ අවදානමක ඇද දමමින් අති විශාල කළු සල්ලි ප්‍රමාණයක් මෙරට සංසරණය වේ. මෙසේ සංසරණය වන කළු සල්ලි පාලනය කිරීමේ ක්‍රමවේදයක් තිබිය යුතුය. මෙරට මුදල් සංසරණය වීම කෙතරම් පුදුමසහගත ද යත් වරක් ඇමැතිවරයකුගේ නිවසේ කුණු ගොඩකින් කෝටි ගණනක සල්ලි මල්ලක් හමුවිය. මැතිවරණ කාලවලදී හිතාගත නොහැකි මුදලක් මෙරට සංසරණය වේ. බදු අයකිරීමේ ක්‍රියාපටිපාටිය විධිමත් විනිවිද එකක් ද යන ගැටලුවට ද විසඳුම් ලැබිය යුතුය. මෙරට බදු අයකිරීම දේශපාලනීකරණයට ලක්වී ඇත. ‍පොඩි මිනිහාගෙන් බදු අයකිරීමට පැකිළීමක් නැතත් බදු නිලධාරීහු තෝරු මෝරුන්ගෙන් බදු අයකිරීමේදී පැකිළෙති. එනිසා බදු පිට බදු පැනෙව්වද ඒවා නිසි පරිදි අයකරගැනීමේ ක්‍රමවේදයක් කෙරෙහි ද අවධානය යොමු විය යුතුය.