‍පොලිසිය නිර්දේශපාලනීකරණය කිරීමට යැයි කියා පිහිටුවනු ලැබූ ජාතික ‍පොලිස් කොමිසම තවදුරටත් රටට අවශ්‍යදැයි ඇත්තේ සැබවින්ම ගැටලුවකි. ඒ දේශපාලනඥයන්ගේ උදහසට ලක්වුණූ ‍පොලිස් ස්ථානාධිපතිවරුන් දෙදෙනකුටම මේ වන විට ස්ථාන මාරුවීම් ලබාදී ඇති බැවිනි. එසේ ස්ථාන මාරුවීම් ලබාදී ඇත්තේ නාවලපිටිය ‍පොලිස් ස්ථානාධිපති ‍පොලිස් පරීක්ෂක ආනන්ද රාජපක්ෂට සහ බුලත්සිංහල ‍පොලිස් ස්ථානාධිපති ‍පොලිස් පරීක්ෂක එච්.ඒ. ප්‍රේමලාල් යන දෙදෙනාටය. එක්සත් ජාතික පක්ෂයේ නාවලපිටිය ආසන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ආනන්ද අලුත්ගමගේ ‍පොලිස් ස්ථානය ඉදිරිපිට මාර්ගයේ පදික මාරුව මත පැය නවයකට ආසන්න කාලයක් නිදාගෙන මාරුකර යවන්නැයි ඉල්ලුවේ මෙම ‍පොලිස් ස්ථානාධිපතිවරයාවය. ඒ, මන්ත්‍රිවරයා සිය වසමේ සංචාරයේ නිරත වන විට ඔහු පස්සෙන් නාවේයැයි කියාය.

එදා ඒ ගැන ජාතික ‍පොලිස් කොමිසමේ සභාපති පී.එච්. මනතුංග සඳහන් කළේ නම් ‍පොලිස් ස්ථානාධිපතිවරයාගේ ආරක්ෂාව වෙනුවෙන් තම කොමිසම පෙනී සිටින බවය. එකී ආකාරයටම ජාතික ‍පොලිස් කොමිසම ඔහු වෙනුවෙන් පෙනී සිටියේය. ඒ, ඔහුට ‍පොලිස් මූලස්ථානය විසින් යෝජනා කළ ස්ථාන මාරුවීමට අනුමැතිය ලබාදෙමින් ජාතික ‍පොලිස් කොමිසමේ නිරුවත විදහා දක්වමිනි.

එකී ස්ථාන මාරුවීමේ නියෝගය පසුගිය සිකුරාදා ‍පොලිස් මූලස්ථානය විසින් නිකුත් කරන විට මධ්‍යම පළාතේ ‍පොලිස් ලොක්කන් පවා පුදුමයෙන් පුදුමයට පත්වන්නේ එම ස්ථාන මාරුවීම ගැන තමන් ඒ වන විටත් හාන්කවිසියක්වත් නොදැන සිටීම නිසාය. සිය රාජකාරිය අකුරට ඉටුකරන දේශපාලන ගැත්තෙක් නොවී නීතිය ඉටුකරන නිලධාරියෙක් ලෙස ප්‍රසිද්ධව සිටින එම නිලධාරියාගේ ස්ථාන මාරුවීම ගැන මධ්‍යම පළාතේ ‍පොලිස් ලොක්කන්ද දැන් සිටින්නේ දැඩි කල කිරීමකිනි. එකී ස්ථාන මාරුවීම් නියෝගය නිකුත් වූ දිනම මැදියම් රැයේ ආනන්ද අලුත්ගමගේ මන්ත්‍රිවරයා සිය ගේලබාලයින් පිරිසක් සමග ගම්‍පොල ‍පොලිස්  ස්ථානයට ගොස් අමුතුම සෙල්ලමක් දමා තිබුණේය. ඒ ගැන කිසිදු නීත්‍යනුකූල ක්‍රියාමාර්ගයක් නොගන්නා ලෙසට,  ගම්‍පොල ‍පොලිසියේ නිලධාරීන්ට ඉහළ ‍පොලිස් බලධාරීන්ගෙන් උපදෙස් ලැබෙන්නේ  ජාතික ‍පොලිස් කොමිසමෙන් ද දැන් තමන්ට කිසිදු රැකවරණයක් නැති බැවින් දේශපාලන ගැත්තන් වී  පුටුව ආරක්ෂා කර ගැනීම හැර විකල්පයක් දැන් නොමැතිකම නිසා වන්නට පුළුවන.

නාවලපිටිය ‍පොලිස් ස්ථානාධිපති ආනන්ද රාජපක්ෂට අමතරව දේශපාලන උදහසට ලක්ව ස්ථාන මාරුවීමක් ලබන දෙවැන්නා වන බුලත්සිංහල ‍පොලිස් ස්ථානාධිපති ‍පොලිස් පරීක්ෂක එච්.ඒ. ප්‍රේමලාල්ට එරෙහි වන්නේ නියෝජ්‍ය ඇමැති පාලිත තෙවරප්පෙරුමය. ‍පොලිස් ස්ථානාධිපතිවරයා පක්ෂග්‍රාහී යැයි සඳහන් කරමින් තෙවරප්පෙරුම නියෝජ්‍ය ඇමැතිවරයා බුලත්සිංහල නගරයේ උපවාසයක පවා නිරත වූයේය. ජාතික ‍පොලිස් කොමිසම පැත්තෙන් නම් කියන්නේ ස්ථාන මාරුවීමක් ඉල්ලා සිටියේ එම ‍පොලිස් ස්ථානාධිපතිවරයා බවය. තමාට ජීවිත තර්ජනයක් ඇතැයි ඔහු සඳහන් කළ බව කොමිසම පැත්තෙන් කියයි. එම තර්ජනය කාගෙන් ඔහුට එල්ලවීදැයි කොමිසම හෙළිකරන්නේ නැත. යම් ජීවිත තර්ජනයක් ‍පොලිස් ස්ථානාධිපතිවරයකුට එල්ලවන්නේ නම් ඒ ගැන විමර්ශනයක් පවත්වා වගකිව යුත්තන්ට දඬුවම් දෙනවා වෙනුවට ලැබෙන්නේ කැකිල්‍ලේ තීන්දුවකි. සැබෑ ලෙසම එම ස්ථානාධිපතිවරයාගේ මාරුවීම පිටුපස ඇත්තේද දේශපාලන කතාවකි.

වතුකම්කරු කොන්ග්‍රසයේ නායක ආරුමුගම් තොණ්ඩමාන් මස්කෙළිය ‍පොලිසිය ඉදිරිපිට සිය ආධාරකරුවන් සමග බිම ඉඳගෙන උද්ඝෝෂණයක නිරතවෙමින් ‍පොලිස් ස්ථානාධිපතිවරයා මාරුකරන ලෙස කෑමොර දුන්නේද එකම කාල වකවානුවකදීය. ඒ වන විට තොණ්ඩමාන් මන්ත්‍රිවරයා ආණ්ඩුව නියෝජනය කරන්නෙක් නොවීය. එසේ වී නම් මස්කෙළිය ‍පොලිස් ස්ථානාධිපති ‍පොලිස් පරීක්ෂක ටිරෝන් රත්නායකටත් සිදුවන්නේ සේවා අවශ්‍යතා මත යැයි කියා ස්ථාන මාරුවීමක් ලබන්නටය.

දේශපාලනඥයාගේ ලියුම් කඩදහියට ‍පොලිස් ස්ථානාධිපතිවරුන් පත්කිරීමේ ක්‍රමවේදයට නැවතීමේ තිත තබමින් ‍පොලිස් නිලධාරියාට කොන්ද කෙළින් තබාගෙන වැඩ කිරීමට සුදුසු වාතාවරණයක් ජාතික ‍පොලිස් කොමිසමෙන් ලැබි ඇතැයි කීවත් දැන් සිදුව ඇතැයි පෙනී යන්නේ ‍පොලිස් නිලධාරියාගේ කොන්ද එහෙම්පිටින්ම කඩා දමා ඇති බවය. මේ තත්ත්වය මත කෝටි ගණනින් මහජන මුදල් වැය කරමින් ජාතික ‍පොලිස් කොමිෂන් සභාවක් නඩත්තු කිරීමේ අවශ්‍යතාවක් රටට තවදුරටත් අවශ්‍යදැයි වැඩිකල් නොගොස්ම කථිකාවක් ඇතිවනු නියතය.