රටේ දහසකුත් ප්‍රශ්න තිබුණද ආණ්ඩු පක්ෂය හා විපක්ෂ කණ්ඩායම්වල මේ දිනවල ප්‍රමුඛ මාතෘකාව අගමැතිවරයාට එරෙහි විශ්වාසභංගයයි. යහපාලන ආණ්ඩුව පිහිටුවූයේ ජනාධිපතිවරයා හා අගමැතිවරයා අතර ඇතිවූ දේශපාලන සම්මුතියක් අනුවය. මේ සම්මුතිය ඉකුත් වසරේ අගෝස්තු මස කල්පැන්නද දෙදෙනාගේ එකඟතාවයෙන් යළි එය දික් කෙරිණ. එසේ සම්මුතිය දික්කෙරුණ ද ආණ්ඩුවේ ශ්‍රීලනිප හා එජාප පාර්ශ්ව අතර දේශපාලන ගැටුම් අවසන් වූයේ නැත. මෙකී ගැටුම් වර්ධනය වීම නිසා රටට ජනතාවට වැඩ කිරීම කෙසේ වෙතත් පාර්ශ්ව දෙක උත්සාහ කළේ නොයෙක් උප්පරවැට්ටි යොදමින් තම තමන්ගේ බලය රැක ගැනීමටය.

අප දකින පරිදි විශ්වාසභංග අර්බුදය මෙකී ගැටුමේ උග්‍ර තැනකි. සාමාන්‍යයෙන් බලන කල ලංකාවේ හවුල් ආණ්ඩු එතරම් සාර්ථක වී නැත. ඒ අතරින් අසාර්ථකම හවුල් ආණ්ඩුව සේ යහපාලන ආණ්ඩුව දැක්වුවහොත් එය පුදුමයට කරුණක්ද නොවේ. ඒ තරමට යහපාලන ආණ්ඩුව තම අභ්‍යන්තර දේශපාලන ගැටුම් නිසා බෙහෙවින් කාලය කා දමා ඇත. මෙකී ගැටුම්වල පදනමක් නැත්තේ යැයි අප සඳහන් කරන්නේ නැත. අනෙක් ගැටුම් සේ නොව විශ්වාසභංගය ඇතුළු අර්බුද ආණ්ඩුව තුළ මතුවීමට බෙහෙවින් හේතු වූයේ අයථා බැඳුම්කර ගනුදෙනුව පිළිබඳ විමර්ශනවලින් හෙළිවූ කරුණුය. අවසානයේ ඊට වග කිවයුත්තේ කවරෙක් ද? රටට එමගින් වූ හානිය පියවා ගන්නේ කෙසේද? යන ප්‍රශ්න ශේෂව තිබේ. බැඳුම්කර මගඩිය බඳු මහා මූල්‍ය වංචාවක් යහපාලන ආණ්ඩුවෙන් වාර්තාවේ යැයි එය බලයට පත්කළ ජනතාව හීනෙන් වත් හිතුවේ නැත. අනෙක් ආණ්ඩුවලින් ද සුවිසල් වංචා දූෂණ වාර්තා විය. එසේ වුවද බැඳුම්කර මගඩිය මගින් මෙරට මූල්‍ය වෙළෙඳ‍පොළ දැඩි අර්බුදයකට ගියේය. එපමණක් නොව මෙහි මූල්‍ය වෙළෙඳ‍පොළ පිළිබඳ අන්තර්ජාතික විශ්වාසය බිඳ වැටුණු බව ද ආර්ථික විශ්‍ලේෂකයෝ සඳහන් කරති.  ඒකාබද්ධ විපක්ෂය මගින් කතා නායකවරයාට භාරදුන් විශ්වාසභංග ලියවිල්‍ලේ අගමැතිවරයාට බෙහෙවින් නගා තිබෙන්නේ බැඳුම්කර ගනුදෙනුවට අදාළ චෝදනාය. ඒවා සුළුවෙන් බැහැර කළ නොහැකිය.

මේ චෝදනා යළි යළි ඉස්මතු කරන පාර්ශ්වවලට ද රටේ  යහපත් දේශපාලන වෙනසක් කිරීමේ පරම ච්ෙතනාවක් තිබේ යැයි අප අවධාරණය කරන්නේ නැත. මේ සියලු සෙල්ලම්වලින් සිදුවන්නේ රටේ ගමන අඩාළ වී ජනතාව සමාජ, දේශපාලන, ආර්ථික අපේක්ෂා භංගත්වයකට පත්වීමය. එවැනි අපේක්ෂා භංගත්වයකට ජන සමාජය මුහුණ දීමෙන් ඇතිවන අනිවාර්ය ප්‍රතිඵලය නම් රට අස්ථාවර වීමට හේතුවන අන්තර්ජාතික බලවේග ශක්තිමත්වී හිස එසවීමය.

එහෙයින් බල දේශපාලන ගැටුම් පසෙකලා රට දෙස බැලීමට ආණ්ඩු පක්ෂ, විපක්ෂ කණ්ඩායම්වලට යුතුකමක් හා වගකීමක් තිබේ. ආණ්ඩු පක්ෂ විපක්ෂ කවර තැනක් නියෝජනය කළත් මේ සියලු දෙනා නඩත්තු වන්නේ මේ රටේ මහජනතාවගේ මුදලිනි. එහෙයින් කවරකුටත් රට පිළිබඳ වගකීමෙන් බැහැර විය නොහැකිය. ආණ්ඩුවේ ප්‍රධාන පාර්ශ්ව දෙක අතර ගැටුමක් බවට විශ්වාසභංග අර්බුදය පත්වීම කිසිසේත්ම හිතකර නැත. එම අර්බුදය දිග්ගැස්සීමෙන් සිදුවන්නේ රට අස්ථාවර වීමය. පුරවැසියන්ගේ අතෘප්තිය ඉහළ යාමය. එහෙයින් වර්ධනය වී තිබෙන දේශපාලන ප්‍රවණතා දෙස පුළුල් මනසකින් බැලීමට ආණ්ඩුවේ ප්‍රධානීන් පියවර ගත යුතුය. එවැනි තැනකට පත්වීමට තිබෙන දේශපාලන විභවයන් විනාශවෙමින් තිබේ. එයට ප්‍රධාන හේතුව ආණ්ඩුවේ ශ්‍රීලනිප හා එජාප පාර්ශ්ව එකිනෙකා පදනම් විරහිත විවේචන කරගැනීමට යොමුවීමය. පාර්ශ්ව දෙකේම  නායකයන් තම කණ්ඩායම් පාලනය කරගැනීමට අසමත්වී තිබේ. කෙසේ වෙතත් දේශපාලන අර්බුදයක් දිනෙන් දින උග්‍රවීම රට ආර්ථික සමාජ වශයෙන් ද අස්ථාවර වීමට හේතුවේ. දේශපාලනික වශයෙන් අස්ථාවරත්වයක් වර්ධනය වන රටක ආයෝජනය කිරීමට, එවැනි රටකට මුදල් යෙදවීමට ආයෝජකයන් කිසිසේත්ම කැමති වන්නේ නැත. ආයෝජනයකින් ලාභයක් අපේක්ෂා කරන ආයෝජකයා මූලික වශයෙන් අවධානය යොමුකරන්නේ ස්ථාවර දේශපාලන පසුබිමක් සහිත රටකි. එමගින් විදෙස් ආයෝජන මගින් රටේ ආර්ථිකය නංවාලීමට අපේක්ෂා කරන ආණ්ඩුවේ උපායමාර්ගය ද බිඳ වැටේ. එනිසා අගමැති ධුරය පිළිබඳ අර්බුදය රටේ සමස්ත දේශපාලන අර්බුදය දක්වා වර්ධනය වන තැනට යොමුවීම අතිශය අහිතකරය. අපට පෙනෙන පරිදි නම් මේ ආණ්ඩුව ස්ථාපිත කළ ජනාධිපතිවරයා හා අගමැතිවරයා විවෘත පැහැදිලි සාකච්ඡාවකට එළැඹ එකඟතාවකට යොමුවිය යුතුය. එවැනි එකඟතාවකට අනුව ජනාධිපතිවරයාට සේම අගමැතිවරයාට ද තීරණයක් ගත හැකිය. තමන් අගමැති ධුරය දැරීමෙන් රට දේශපාලන හා ආර්ථික වශයෙන් අස්ථාවර වන්නේ නම් එය අතහැර ගෙදර යාමට අගමැතිවරයා තීරණයක් ගනු ඇත. එසේ වුවත් අගමැතිවරයා ගෙදර යාමෙන් සම්පූර්ණයෙන් දේශපාලන අර්බුදය විසඳෙන්නේ යැයි යමෙක් කල්පනා කරන්නේ නම් එය අදේශපාලනික සිතුවිල්ලක් පමණි. අගමැති පුටුවෙන් රනිල් ගෙදර ගොස් වෙනත් කෙනකු පත්වීමෙන් යම් විරෝධයක් තාවකාලිකව යටපත්වනවා විනා අර්බුදය විසඳෙන්නේ නැත.

එහෙයින් අගමැතිවරයා ගෙදර යා යුතු යැයි ප්‍රකාශ කරන ඒකාබද්ධ විපක්ෂය ඇතුළු කණ්ඩායම් රට මුහුණපා තිබෙන දේශපාලන හා ආර්ථික අර්බුදයෙන් රට ගොඩගැනීම සඳහා සැලසුම් සහගත වැඩපිළිවෙළක් ඉදිරිපත් කළ යුතුය. එවැනි වැඩපිළිවෙළක් ඉදිරිපත් නොකර අගමැති රනිල්ට ගෙදර යාමට කීමෙන් රට මුහුණපා තිබෙන ප්‍රශ්නවලට විසඳුම් ලැබෙන්නේ නැත. ජනතාවට වුවමනා කරන්නෙ ඔළුගෙඩි මාරුවක් නොවේ. එසේම යම් හෙයකින් අගමැති රනිල් වික්‍රමසිංහ හා ඔහුගේ කැබිනට් මණ්ඩලය ඉවත් වන්නේ නම් ශක්තිමත් ආණ්ඩුවක් පිහිටුවීම සඳහා වැඩපිළිවෙළක් තිබිය යුතුය. රනිල්ට ගෙදර යන්න කියන අය ඒ වැඩපිළිවෙළ ඉදිරිපත් කළ යුතුය. එවැනි වැඩපිළිවෙළකින් රටේ දේශපාලන හා ආර්ථික අස්ථාවරත්වයට විසඳුම් ලැබිය යුතුය. එවැනි තැනකට යොමුවීම සඳහා පාර්ලිමේන්තුව නියෝජනය කරන දේශපාලන පක්ෂ එක් සාකච්ඡා මේසයක වාඩි වී රට වෙනුවෙන් දේශපාලන කථිකාවකට එළැඹීමට කාලය එළැඹ තිබේ. ආණ්ඩුවේ දේශපාලන අර්බුදය විසඳා නොගෙන රුපියල ශක්තිමත් කිරීම හෝ පාතාලය මර්දනය කිරීම කළ නොහැකිය. පාතාල සෙල්ලම් ඉහළ යාමෙන් හා රුපියල් දුර්වල වීමෙන් පෙනෙන්නේ ආණ්ඩුවේ අවුල්සහගත බවය. එහෙයින් නව්‍ය විනිවිද පෙනෙන දේශපාලන කළමනාකරණයකින් යුතුව  රට මෙහෙයවීමට ආණ්ඩුව පියවර ගත යුතුය. පළමුව රට සේ සලකා දේශපාලන පක්ෂය දෙවැනි තැනට දැමීම එවැනි එළැඹුමකට කදිම ප්‍රවේශයක් වනු ඇත.