බන්දු සමරසිංහ, ටෙනිසන් කුරේ කියූ සැණින් අපේ මුවඟට නැගෙන්නේ සිනහවක්. වසර දහයකට පසුව ඔවුන් නැවතත් ‘යම රජ සිරි’ චිත්‍රපටයට රංගනයෙන් දායක වෙනවා. ඒ නිසාම මේ ඉඩ ඔවුන්ට වෙන් කළා.

ඔබ ඔබව හඳුන්වන්නේ විකට නළුවෙක් ලෙසද?
මම මාව හඳුන්වන්නේ බන්දු සමරසිංහ ලෙසයි.

මයි නේම් ඊස් බන්දුවලින් පස්සේ ඔබව දකින්න නොලැබුණේ ඇයි?
එහෙම දකින්න නොලැබුණේ චිත්‍රපටවලට අපිට ආරාධනා නොලැබුණ නිසයි.

ඔබ වසර දහයකට පසුව නැවත ටෙනිසන් කුරේ සමග වැඩ කරන්නේ. එදා ඔහුමද අදත් ඉන්නේ?
වසර දහයකට පසුවත් එදා හිටිය ටෙනිසන්මයි අදත් ඉන්නේ. ඔහුගේ කිසි වෙනසක් වෙලා නැහැ.

මොකක්ද මේ යම රජ සිරි කියන්නේ?
මේක ඉතිහාස කතාවක් ‍නෙවෙයි. මේකත් එක චිත්‍රපටයක් විතරයි. ප්‍රේක්ෂකයන්ටම තමයි චිත්‍රපටය නරඹලා කියන්න වෙන්නේ.

චිත්‍රපටයේ ඔබේ චරිතය ගැනත් කියමු?
විවාහක, දරුවෝ ඉන්න, රජයේ සේවකයකුගේ චරිතයක් තමයි මම කරන්නේ. දරුවෝ එකොළොස් දෙනෙක් ඉන්න වැල්‍ලේ ජීවත් වෙන සමාජයේ හැළහැප්පීම් එක්ක ගවෛන චරිතයකට තමයි මම රංගනය ලබාදුන්නේ.

ප්‍රවීණ රංගන ශිල්පියෙක් වන ඔබට අලුත් අධ්‍යක්ෂවරයෙක් එක්ක වැඩ කරන්න කොහොමද ඒ විශ්වාසය ගොඩනැගෙන්නේ?
යෞවනකම කියන දේ වෙළෙඳ දැන්වීමේ ඉඳලා තියෙනවා. ටේලර් ෂොප් එකකට ගියත් ඇඳුම් අන්දලා තියෙන්නේ තරුණ අයට. මම කිසිම ටේලර් සාප්පුවක දැකලා නැහැ සීයලා ආච්චිලාට ඇඳුම් අන්දවලා තියෙනවා. කොහොම කළත් සංස්කරණය, කැමරාකරණය, සංගීත අධ්‍යක්ෂණය ඔහුගේ නම් අධ්‍යක්ෂණය ඔහු කිරීමේ වරදක් පෙනුණේ නැහැ. ඒ නිසා ගැටලුවක් ඇතිවුණේ නැහැ. තරුණයෝ එන්න ඕනනේ. අපිට රඟපාලා ගෙදර යන්න තියෙන්නේ. නමුත් තක්සේරු කරන්නේ රසිකයා.

හිස් ප්‍රේක්ෂකාගාර බන්දු-ටෙනිසන් නැවත පුරවයිද?
ඒ ගැන ඔට්ටු අල්ලන්න නම් බැහැ අපට. ලංකාවේ ප්‍රේක්ෂකයෝ හරි අමුතුයි. ඔවුන් දවසින් දවස වෙනස් වෙනවා. ප්‍රේක්ෂකාගාරය පුරවන්න දක්ෂ වෙන්න ඕනේ අධ්‍යක්ෂවරයා. චිත්‍රපටයේ ප්‍රචාරක පටය හරියට තිබුණොත් තමයි චිත්‍රපටය හරියට දුවන්නේ.

නැවතත් චරිතාංග නළුවෙක් වෙන්න අදහසක් තියෙනවාද?
නැහැ, අනේ එහෙම නම් නැහැ.

දිගටම බන්දු-ටෙනිසන් චිත්‍රපට තුළින් ප්‍රේක්ෂකයාට දකින්න පුළුවන් වෙයිද?
නිෂ්පාදකවරු ගත්තොත් පුළුවන් වෙයි. අවුරුදු දහයකින් විතර ආවේ අපි බැහැ කියලා ‍නෙවෙයිනේ. අපි දිගටම ඉන්නවා. අපි ගත්තොත් අපි ඉන්නවා.

ඇයි එහෙම කියන්නේ?
කවුරුත් අපිව ප්‍රතික්ෂේප කරලා නැහැ. නමුත් අපව අවශ්‍ය නැති නිසයි ගත්තෙ නැත්තෙ. මේ අය අපිව ගත්තේ ඔවුන්ට අවශ්‍ය නිසයි. මේ චිත්‍රපටය සාර්ථක වුණොත් අපිව ගන්න කට්ටිය ඒවි. මෙය අති සාර්ථක වෙලත් චිත්‍රපටයකට ආරාධනා නොකර හිටියොත් මොනවා කරන්නද?

‘පීටර් වන්’ කියන චිත්‍රපටය හරහා ඔබේ පුතාව සිනමාවට හඳුන්වලා දුන්නා. ඇයි දැන් ඔහුව දකින්න නොලැබෙන්නේ?
ඔහු මේ දිනවල අධ්‍යාපනයට අවධානය යොමු කරන නිසා සිනමාවට සම්බන්ධ වෙන්න වෙලාවක් නැති තරම්. එයාගේ නිදහස එයාට දීලා තියෙනවා තෝරාගැනීම වෙනුවෙන්.

ළඟදී චිත්‍රපටයක් අධ්‍යක්ෂණය කරන්න අදහසක් නැද්ද?
තියෙනවා, චිත්‍රපට සංස්ථාවෙයි, මණ්ඩලවල තියෙන ප්‍රතිපත්තියි චිත්‍රපට ‍පෝලිමයි හැමදේම පැටලිලා වගේ නිසා සල්ලි වියදම් කරලා කරන්න හිතෙන්නේ නැහැ.

බන්දුගේ කතාබහෙන් අනතුරුව ටෙනිසන් කුරේව එකතු කරගත්තා

ටෙනිසන් කුරේ කියන්නේ විහිළුවක්ද?
නැහැ. නමුත් ටෙනිසන් කුරේ කියන නම අහපු ගමන්ම හිනා යනවා විහිළු මතක් වෙලා.

මිනිස්සු හිනස්සන එක ලෙහෙසි දෙයක්ද?
ඒක තමයි අමාරුම දේ. මිනිස්සු ඉක්මනට රිදවන්න පුළුවන් වුණත් ඔවුන්ව හිනස්සවීම අමාරුම කටයුත්තක්.

ටෙනී තාක්ෂණයත් එක්ක ඉස්සරහට ගිහින්ද? නැත්නම් ටෙනීට එය බාධාවක් වෙලාද?
තාක්ෂණයෙන් මුලින්ම ප්‍රයෝජනයක් ගත්තේ මමයි. වේදිකා නාට්‍යයන් සඳහා මුල්ම එෆ්.එම්. මයික් එක පාවිච්චි කළේ මම. මෙච්චර දියුණු තාක්ෂණයක් තියෙද්දි ඇයි කෑගහන්නේ කියලා එෆ්.එම්. පාවිච්චි කළා මම.

අවුරුදු කීයකට පස්සෙද ඔහුත් එක්ක එකට වැඩ කරන්නේ?
දැන් වසර නවයක් දහයක් ඇති.

චිත්‍රපටයේ චරිතය ගැන කතා කළොත්?
වර්තමාන චිත්‍රපට මහජනයා අතරට යන්නේ බොහොම අඩුවෙන්. මොකද ඒවා දවසෙන් දෙකෙන් ගැලවිලා යනවා. චිත්‍රපටයක් වුණාම ‍පොඩි කතාන්දරයක් තියෙන්න ඕන. ආසියාතික මිනිස්සු ආසයි ‍පොඩි කතාන්දර අහන්න. චිත්‍රපටයක වුණත් ආසයි මිනිස්සු කතාන්දරයක් දකින්න. මේ චිත්‍රපටයෙත් ‍පොඩි කතාන්දරයක් තියෙනවා. ඒක ‍පොඩි වෙනසක් කියලා.

තරුණ අධ්‍යක්ෂවරයෙක් එක්ක වැඩ කරන්න හිතුණෙ ඇයි?
මම තේරුම් ගත්තා ඔහුට තාක්ෂණ දැනුම තියෙනවා කියලා. බොහෝ වෙලාවට මම රඟපාන චිත්‍රපටවල අධ්‍යක්ෂ මොනවා හරි කරන්න කියනවට කැමති නැහැ. ඒක නිසා මම අහනවා මොන වගේ කතාන්දරයක්ද කියලා. මම දැනගත්තා සංකල්පට යම් දෙයක් කරන්න පුළුවන් කියලා. ඒ නිසා මම බොහොම කැමැත්තෙන් මේ චිත්‍රපටය භාරගත්තා.

කොමඩි චිත්‍රපටවලට තියෙන තැන තවම තියෙනවාද?
කොමඩි කියන දේ සමාජය පවතිනතාක් කල් තියෙනවා. එහෙම නැති වුණොත් තමයි ගැටලුව. වර්තමානයේ කොමඩි චිත්‍රපට කරගන්න අමාරුවෙලා තියෙනවා. සමහර අය කියනවා මේ උසස් ගණයේ නිර්මාණ කියලා. ඒ අයට කියන්න කොමඩි චිත්‍රපටයක් කරන්න කියලා. කරන්න බැහැ ඇතැම් නිර්මාණවල මතුපිටින් හාස්‍යය තිබුණට ගැඹුරින් සමාජයට කතාවක් තියෙනවා. කවදත් කොමඩිවලට තියෙන තැන තියෙනවා.

ටෙනී-බන්දු කියන්නේ බ්‍රෑන්ඩ් නේම් එකක්ද?
සමහර වෙලාවට මට එහෙම හිතෙනවා.

වේදිකාවටද, සිනමාවටද ඔබ වැඩියෙන් ඇලුම් කරන්නේ?
වේදිකාව කියන්නේ සජීවී තැනක්. ඒ ලැබෙන සජීවී ප්‍රතිචාරවලට ඇත්තටම ලොකු තැනක් තියෙනවා. ඒ නිසා වේදිකාවට වගේම සිනමාවට මම එක වගේම කැමතියි.

ප්‍රවීණයෙක් ලෙස වර්තමාන ක්ෂේත්‍රය ගැන මොන වගේ අදහසක්ද තියෙන්නේ?
එක එක අය විවිධ අර්ථකථන දෙනවා. නමුත් දන්න කා‍ලේ ඉඳන්ම මේ ක්ෂේත්‍රයේ ගැටලු තියෙනවා. කවදාවත් ඔය දේවල්වලට විසඳුම් නැහැ. චිත්‍රපටල රූපවාහිනියේ විකාශය කිරීම පාඩුවක් කියලා මට හිතෙනවා. මමයි, බන්දුයි ඉන්න චිත්‍රපට හරියට රූපවාහිනී නාළිකාවල විකාශය කෙරෙනවා. ගොඩක් අය හිතන්නේ ඒ පෙන්වන වාර ගණන්වලින් අපිට මුදල් ලැබෙනවා කියලා. නමුත් අපට සතයක්වත් ලැබෙන්නේ නැහැ.

බන්දු සමරසිංහ කියන්නේ ඔබේ ප්‍රියතම නළුවාද?
ඔව්, ඔහුට පුදුමාකාර ආසාවක් තිබුණා. තවමත් එහෙමයි.

ඔබ වෙනත් රටවල ශිල්පීන්ගෙන් ආභාසය ලබාගන්නවාද?
නැහැ. මට චිත්‍රපට බලන්න වෙන්නෙත් නැහැ. මම වගේ රඟපාන මලයාලම් නළුවෙක් ඉන්නවා කියලා මට දවසක් නිෂ්පාදකවරයෙක් කීවා. මට මාර සතුටුයි. මොකද ඔහු මං වගේ රඟපානවා කිව්ව නිසා. මම ජෝ අබේවික්‍රමට හරි කැමතියි.

දිගටම විහිළුවෙන් ඉන්නද කල්පනාව?
කාටවත් කරන්න බැරි දෙයක් මට කරන්න පුළුවන් නම් ඒක මට ලොකු සතුටක්. විහිළුවෙන් රඟපාන එක තමයි අමාරුම.

තිළිණි කරුණාරත්න