ආසියානු පිරිමි අභියෝග කුසලාන වොලිබෝල් තරගාවලිය සඳහා සත්කාරය ලබාදීම සඳහා ආසියානු වොලිබෝල් සම්මේලනය විසින් ශ්‍රී ලංකාවට අවස්ථාව ලබා දී ඇති බැවින් එම තරගාවලිය ලබන සැප්තැම්බර් 15 සිට 22 දක්වා ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනය පියවර ගෙන ඇත.

මෙම තරගාවලියට සත්කාරය ලබාදීමේ අස්ථාව ශ්‍රී ලංකාවට හිමිව ඇත්තේ ඒ සඳහා ඉදිරිපත්ව සිටි මැ‍ලේසියාව, බංග්ලාදේශය හා මාලදිවයින යන රටවල් අභිබවා යමිනි.

ඒ  අනුව මෙම තරගාවලියට මැ‍ලේසියාව, සෞදි අරාබිය, ෆිජී, එක්සත් අරාබි එමීර්, බංග්ලාදේශය, හොංකොං, උස්බෙස්කිස්තානය, මොංගෝලියාව, ඉරාකය සමග ශ්‍රී ලංකාව එක්ව සිටිති.

මෙම රටවල් 10 මූලික වටයේදී කාණ්ඩ 3ක් යටතේ තරග වැදීමට නියමිතය. එහිදී ඒ කොටසින් ශ්‍රී ලංකාව, මැ‍ලේසියාව හා ෆිජී යන රටවල්ද බි කොටසින් හොංකොං, මොංගෝලියාව හා සෞදි අරාබියද තරග වදින අතර සී කොටසට අයත් වන්නේ එක්සත් අරාබි එමීර්, බංග්ලාදේශය, උස්බෙකිස්තානය හා ඉරාකය යන රටවල්ය.

කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිත මෙම තරගාවලිය ඉලක්ක කර ගනිමින් මේ වනවිටත් සර්බියානු ජාතික පුහුණුකරුවකු යටතේ ශ්‍රී ලංකා ජාතික සංචිතය පුහුණු කිරීම ආරම්භ කර ඇත.

සීවලී එදිරිවීර