ආසියානු ක්‍රීඩා උළෙලට සුදුසුකම් ලබා ගැනීම සඳහා ඕමානයේ මස්කට් නුවරදී පැවැති හොකී තරගාවලියේ තෙවැනි ස්ථානය ලබා ගත් ශ්‍රී ලංකා හොකී පිල එළැඹෙන ආසියානු කුසලාන ක්‍රීඩා උළෙලට සුදුසුකම් ලැබිම කැපී පෙනෙන සිදුවීමකි.

අවසන් පූර්ව වටයට පිවිසි කණ්ඩායම් හතරටම ආසියානු ක්‍රීඩා උළෙලට වරම් ලැබෙන බැවින් මෙම තරගාවලියේ ශූරයන් වූ ඕමානය අනුශූරතාව ලැබූ බංග්ලාදේශය හා අවසන් පූර්ව වටයට පැමිණි ශ්‍රී ලංකාව හා තායිලන්ත කණ්ඩායම්වලට ඉන්දුනීසියාවේ පැවැත්වෙන ආසියානු ක්‍රීඩා උළෙලට යෑමේ වරම් ලැබුණි.

අනුරුද්ධ හේරත් බණ්ඩාරගේ පුහුණුකාරිත්වයෙන් සටන් වැදුණු ශ්‍රී ලංකා පිල තරගාවලිය ආරම්භයේම කසකස්ථානයට හා චීන තායිපේ පිලට එරෙහිව ජයග්‍රහණ ලබා ගැනීම තුළ අවසන් පූර්ව වටයට යෑමේ අවකාශ උදා විය. මෙහි දී කසකස්ථානයට එරෙහිව ගෝල 6-0 ජයක් ද, චීන තායිපේට එරෙහිව 4-1 ජයක් ද ලැබූ ශ්‍රී ලංකා පිල ‘බි’ කාණ්ඩයේ දෙවැනියා ලෙස මුල් වටය අවසන් කළේ ඕමානයට පමණක් දෙවැනි වෙමිනි.

කෙසේ වුවත් අවසන් පූර්ව තරගයේ දී තියුණු තරගයකින් පසුව බංග්ලාදේශයට එරෙහිව 2-1 පරාජයක් ලැබූ ශ්‍රී ලංකා පිල ලෝකඩ පදක්කම සඳහා තායිලන්තය සමග තෙවැනි ස්ථානයට සටන් වැදීමේදී  4-1ක ජයක් ලැබිම කැපී පෙනුණි. අවසන් පූර්ව තරගයේ ශ්‍රී ලංකා පි‍ලේ ගෝල ලැබූ ක්‍රීඩකයින් වූයේ සඳරුවන් සුදුසිංහ හා ධම්මික රණසිංහය. සඳරුවන් තෙවැනි ස්ථානයට පැවැති තරගයේදී නැවතත් ගෝල 2ක් ද අනුරාධ රත්නායක හා ධම්මික රණසිංහ ගෝලය බැගින් ද ලබා ගන්නා ලදී.

ශ්‍රී ලංකා පි‍ලේ පුහුණුකරු අනුරුද්ධ හේරත් බණ්ඩාර පැවසුවේ තම කණ්ඩායම උපරිම දක්ෂතා තුළ ඉදිරියට යෑමට හැකි වූ බවත්, අවසන් පූර්ව තරගයේදී තියුණු තරගයක් බංග්ලාදේශ පිලට එරෙහිව ලබා අවසන් මොහොතේ පරාජය වුවත් හොඳ සටන්කාමීත්වයක් පෙන්වූ බවයි.

අර්ජුන හේරත්