චීන දන්ත කාර්මිකයෝ මෙය ප්‍රධාන නගරවල පමණක් නොව ගම්බද ප්‍රදේශවල පවා දකිය හැකි බෝඩ් ලෑල්ලකි. ඉපැරණි චීනුන් විසින්  ආරම්භ කරන ලද කෘත්‍රිම දත් නිපදවන ව්‍යාපාරයේ යෙදෙන්නෝ මොවුහු වෙති. මේ වන විට එවැනි බෝඩ් ලෑලිද ටිකෙන් ටික තීන්ත වියැකෙමින් දිස්වෙන්නේ එම ව්‍යාපාරයේ ආයු කාලය ඒ තරම් දුර නොවන බව පසක් කරන්නාක් මෙනි. කොහොම වුණත් ඉදිකිරීම් කර්මාන්තය හේතුවෙන් චීන ජනතාව අද කොළඹ ඇතුළු බොහෝ ප්‍රදේශවල දැකිය හැකිය.

ඔවුන් අතින් නුදුරු දිනකම චීන දත් සුදු කරන්නෝ යනුවෙන් නව ආරක බෝඩ් ලෑල්ලක් දුටුවහොත් මවිත වන්නට කාරණයක් නැති තරම්ය. එයට හේතුව අද දත් සුදු කිරීමත් (Teeth Whitening) එක්තරා ව්‍යාපාරයක් බවට ලෝකයේම පත්වෙමින් තිබෙන නිසාය.

අපට තරමක් අලුත් අමුතු ව්‍යාපාරයක් වුණාට මෙහි අලුත්ම ප්‍රවණතා පිළිබඳව සලකා බැලුවහොත් එය අපේ රටට කෙතරම් දුරකට ගෙන යාහැකිද යන්න වටහා ගත හැකිය. එයට මත්තෙන් මෙහි හැඩරුව පිළිබඳව සලකා බැලීම වැදගත්ය.

2016 වසරේ ලෝකයේ දත් සුදු කිරීමේ ද්‍රව්‍ය සහ උපකරණ අලෙවියේ වෙළෙඳ‍පොළ වටිනාකම ඇමෙරිකානු ඩොලර් බිලියන 5.6කි.  එය ශ්‍රී ලකාවේ මුදල්වලින් අද වටිනාකම අනුව බැලුවහොත් බිලියන බිලියන 868කි. එනම් රුපියල් කෝටි 86800කි. වෙළෙඳ‍පොළ ගණන් හදා බැලිම්වලට අනුව 2024 වනවිට මෙම වෙළෙඳ‍පොළ ඩොලර් බිලියන 7.40ක් වනු ඇත. එනම් රුපියල් කෝටි 114700කි. අපට රටක් ලෙස මේ වෙළෙඳ‍පොළෙන් සියයට දශම පහක් කඩා ගත හැකි වුවහොත් දත සුදු කිරීමේ නිෂ්පාදනවලින් 2024 වසරේ රටට එන මුදල රුපියල් කෝටි 500 ඉක්මවයි.  එයින් මේ කර්මාන්තයේ පවතින ආර්ථික ගැඹුර වටහා ගත හැකිය. මේ වෙළෙඳාමෙන් වැඩිම ප්‍රතිශතයක් එනම් සියයට 70ක් පමණම නියෝජනය කරන්නේ දත් සුදු කරවන දන්තා‍ලේපයන්ය. දෙවන තැන හිඳින්නේ දත් සුදු කරවන දතේ අලවන තීරූය. තෙවැනි තැන බොහෝ විට දත් සුදු කිරීමට භාවිතයට ගන්නා විවිධ උපකරණ පැමිණ ඇත. ඔබ අන්තර්ජාලයට ගොස් පරීක්ෂා කළහොත් ඊ බේ, ඇමේසන් අලි එක්ස්ප්‍රස් වැනි ලෝකයේ ප්‍රධාන පෙළේ වබේ අඩවිවල කෙතරම් දත් සුදු කිරීමේ ආ‍ලේපන, කුඩු වර්ග මෙන්ම විවිධ ඉලෙක්ටේ‍රානික උපකරණ තිබේද යන්න වටහා ගත හැකිය. මේ බොහෝ උපකරණ ඉලක්ක වී ඇත්තේ දන්ත සායන නොව ගෘහස්ත මට්ටමින් පරිභෝජනය කිරීම පිණිසය.

ශ්‍රී ලංකාව ඉන්දියාවේ ඇතැම් ප්‍රදේශවල මෙන්ම පාකිස්තානය නේපාලය වැනි රටවල ජනතාවගේ දත් කහ ගැන්වී ඇත්තේ විශේෂයෙන් බුලත් විට සහ ඒ හා සමාන විට වර්ග නිතර සැපීම නිසාය. එහෙත් බටහිර රටවල ජනතාවගේ දත් දුර්වර්ණ වීමට හේතු වී ඇත්තේ අධික ලෙස දුම් පානය, කෝපි, තේ ආදිය පානය කිරීම. කෝලා බිම වර්ග හ මත්පැන් භාවිත කිරීම නිසාය. ඒ කෙසේ වෙතත් ඔවුන්ට අවසානයේ සුදු පැහැ ගත් දත් දෙපෙළක අවශ්‍යතාව වැටහෙන්නේ එය ඔවුන්ගේ පෞරුෂයට වින කරන ප්‍රධාන පෙළේ සාධකයක් සෙ ඔවුන් සලකන නිසාය. කට රතු වන තෙක් බුලත් විට කන දකුණු ආසියාවේ ජනතාව තම දත් දෙපෙළේ ධවලත්වය පෞරුෂයට හේතුවක් ලෙස නොසැලකුවද බටහිර ජනතාව එය එසේ සලකන නිසා මේ ආකාරයට දත් සුදු කිරීම ඇමෙරිකානු ඩොලර් බිලියන ගණනක ව්‍යාපාරයක් බවට පත්ව ඇත. මේ ද්‍රව්‍ය සහ උපකරණ සඳහා පවතින ඉල්ලුම කෙබඳුද යත් පසුගිය කාලය තුළ ව්‍යාජ දත් සුදු කිරීමේ නිෂ්පාදන රැසක් බොර දියේ මාලු බාන්නාක් මෙන් මේ රැල්ල තුළ මඩිය තර කර ගන්නට ගොස් අතැම් රටවල නීතිය් රැහැනටද කොටු වී ඇත. මේ තරම් ප්‍රශ්න දුරදිග යෑමට හේතුව මෙම ව්‍යාජ, කෘත්‍රිම දත් සුදු කාරක  සම්බන්ධ සිදුවීමය.

මෙම තත්ත්වය තුළ ස්වාභාවිත දත් පිරිසිදු කිරීමේ නිෂ්පාදන සඳහා යුරෝපයේ, ඇමෙරිකාවේ ආර්ථික වශයෙන් සමෘද්ධිමත් ජනතාව අතර මෙන්ම ආජන්ටිනාව, බ්‍රසීලය, වැනි දකුණු ඇමෙරිකාවේ දියුණු වෙමින් පවතින වෙළෙඳ‍පොළ තුළ පවා මෙම ස්වාභාවික දත් සුදුකාරකවලට ලොකු ඉල්ලුමක් නිර්මාණය වෙමින් ඇත. මේ තත්ත්වය පිළිබඳ සැලකීමේදී එයින් අපනයන ඉලක්ක සපුරා ගැනීමට බලා සිටින ලංකාව වැනි රටවලට ඇදෙන ලොතරැයියක් මෙන්ය. ඒ මක් නිසාද යන්න දැන ගැනීමට මම මෑතකදී ලද අත්දැකීම මෙනෙහි කරන්නෙමි.

නොඉඳුල් ‍පොල්තෙල් එනම් වර්ජින් ‍පොල් තෙල්වලින් මුව සේදුම්කාරකයක් නිපදවා සෂේ පැකට්ටු සහිත පැක් එකක් ලෙස අලෙවි කරන එක්තරා විදේශ සමාගමක අන්තර්ජාල අලෙවිය පිළිබඳව මම විනාඩි කිහිපයක් බලා සිටියෙමි. එහි සිදුවන සෑම ගනුදෙනුවක්ම වබේ අඩවිය බලන්නන්ට නිරීක්ෂණය වන අතර මා බලා සිටි විනාඩි කිහිපය තුළ මේ පැකට්ටු 50කට වඩා ප්‍රමාණයක් අලෙවි විය. මේ ක්‍රියාදාමය පැය විසි හතර පුරාවටම සිදුවන අතර එයින් ඔවුන් ලබන ආදායම දිනකට ඩොලර් ලක්ෂ ගණනක් විය හැකිය ශ්‍රී ලංකාව නොඉඳුල් ‍පොල්තෙල් (Virgin Coconut oil) ලෝකයට බෙදන රටකි. එහි නිෂ්පාදන ක්‍රමවේදය සරලය. ලෝකයේ වඩාත් සෞඛ්‍යයට හිතකරම ස්වාභාවික දත් සුදු කරන සහ මුව සේදුම්කාරක ලෙස ජනප්‍රිය වෙමින්  ඇත්තේ නොඉඳුල් ‍පොල් තෙල් සහ සියුම්ව කුඩු කර ගත් හොඳින් දහනය කළ ‍පොල් කටු අඟුරු ය. එයට අමතරව මේ  නොඉඳුල් ‍පොල්තෙල් සහ කහ කුඩු ද දත් සුදු කරන ද්‍රව්‍ය ලෙසින් සාර්ථකව ක්‍රියා කරන බව හඳුනාගෙන තිබේ. අන්තර්ජාලයේ වෙළෙඳ වබේ අඩවි පීරා බැලුවහොත් සක්‍රිය කාබන් අඩංගු ‍පොල් කටු අඟුරු ලෝකයේ අද බහුලවම අලෙවි වන දත සුදු කාරකයක් බවට පත්ව තිබේ. අතීතයේද අපේ පැරැන්නන් දත් මැදීම සඳහා අඟුරු භාවිත කර ඇති අතර විශේෂයෙන් අඟුරුවල පවතින සක්‍රිය කාබන් මෙම සුදු කිරීම් කාරකය ලෙසින් ක්‍රියා කරයි. අමු ‍පොල්වලින් නිපදවන ලද නොඉඳුල් ‍පොල් තෙල් විදුරු මස් ආසාදන ඇතුළු මුඛ රෝගවලට සාර්ථක ඔසුවක් බවට මේ වනවිට බටහිර රටවල සිදු කෙරුණු විද්‍යාත්මක පර්යේෂණවලින් සනාථ කරගෙන තිබේ.

දැනට ලෝකයේ මේ සම්බන්ධයෙන් පවතින නිෂ්පාදන ටික අනුකරණය කිරීමෙන් පමණක් පවා අපට හොඳ වෙළෙඳ‍පොළක් නිර්මාණය කර ගත හැකිය. එයට අමතරව අපට දැනට හෙළි වී ඇති නව දැනුම මත නව නිෂ්පාදන එළිදැක්විය හැකිය. නිදසුනක් ලෙස නොඉඳුල් ‍පොල් තෙල් කහ සහ ‍පොල් කටු අඟුරු යන වර්ග තුනම එකට දැමූ ආ‍ලේපනයක් සැකසිය හැකිය. කහ සහ ‍පොල් තෙල් අඩංගු ආ‍ලේපනයක් සකස් කළ හැකිය. විශේෂයෙන් භාවිතයේ පහසුව පදනම් කර ගනිමින් එවැනි නිෂ්පාදන පිළිබඳ ව නව නිර්මාණ කළ හැකිය. මෙම නිෂ්පාදන ඒ ඒ රටවල සෞඛ්‍යාරක්ෂාව සම්බන්ධයෙන් පවතින නීති පිරිවිතරයන්වලට අනුකූලව නිපදවිය යුතුය. බොහෝ විට අපේ නිෂ්පාදකයන්ට මේ සම්බන්ධයෙන් එන ලොකුම අභියෝගය වන්නේ උසස් තාක්ෂණ පහසුකම් සහිතව මෙම නිෂ්පාදන සිදු කිරීම නොව ඒවා ඉලක්ක ගත රටවල අලෙවි කිරීමට අදාළ ව සම්පූර්ණ කළ යුතු සහතිකකරණ ක්‍රියාවලියයි. එය ට තාක්ෂණික මැදිහත්විම් වගේම මූල්‍යමය මැදිහත්වීමක්ද රජය පැත්තෙන් ලැබෙන ක්‍රමයක් තිබේ නම් පහසුවෙන් අපේ ව්‍යවසායකයන්ට මෙම ව්‍යාපාරයෙන් ලෝකය ඇල්ලිය හැකිය.

ඒ මක් නිසාද යත් මේ වනවිටත් මෙම ක්ෂේත්‍රයේ පවතින ලොකු අඩුව පිරවීමට සමත් නිෂ්පාදන සිදු කිරීමට ඇත්තේ ලෝකයේ ප්‍රමුඛ පෙළේ සමාගම් අතළොස්සක් සහ කුඩා පරිමාණයේ සමාගම් කිහිපයක් පමණක් නිසාය. මහා පරිමාණ සමාගම් මේ වනවිටත් දත කමින් සිටින්නේ එකට එක්වී හෝ මෙම දත් සුදු කරන ව්‍යාපාරයේ ලොකුම කොටස ඩැහැ ගැනීමටය. මුලින්  සඳහන් කළාක් මෙන් අඩුම තරමින් තව වසර පහක් තුළ මෙම වෙළෙඳ‍පොළෙන් සියයට දශම පහක් අපට ලබා ගත හැති වුවහොත් ඒ මත ඩොලර් වැපිරවිය හැකිය.

චාමින්ද වාරියගොඩ