සබරගමුව පළාත් සභාව යටතේ පාලනය වන ඇඹිලිපිටිය දිස්ත්‍රික් මහ රෝහ‍ලේ විශාල අඩුපාඩුවක්ව පැවති සීටී ස්කෑන් යන්ත්‍රය සවිකර මාස ගණනාවක් ගියත් එයින් ප්‍රයෝජනයක් නොගෙන පවතින බව රෝහ‍ලේ වෛද්‍යවරු රෝගීන් හා ප්‍රදේශවාසීන් රෝහල් බලධාරීන්ට මෙන්ම සෞඛ්‍ය බලධාරීන්ට දෝෂාරෝපණය කරති.

ඇඹිලිපිටිය දිස්ත්‍රික් මහ රෝහල පළාත් තුනකට මායිම්ව පවතී. එබැවින් ඌව පළාතේ රෝගීන් මෙන්ම දකුණු පළාතේ රෝගීන් හා සබරගමුව පළාතට අයත් රෝගීන් මෙම රෝහලට නේවාසික මෙන්ම ෙදෙනිකව ප්‍රතිකාර ගැනීමට පැමිණේ.

මෙම රෝහලට ඉතාමත් අඩුවක්ව පැවති සීටී ස්කෑන් යන්ත්‍රය ලබාගැනීම බොහෝදෙනාගේ මෙන්ම ප්‍රදේශයේ විවිධ සමිති සමාගම්වල කතාබහට ලක්වූ කාරණාවක් විය.
කෙසේ වුවද මීට බොහෝ කාලයකට පෙර ඇඹිලිපිටිය දිස්ත්‍රික් මහ රෝහල සඳහා සීටී ස්කෑන් යන්ත්‍රයක් ලැබිණි. එයින් පසුව කාගේත් අවධානයට ලක්වූයේ මෙය ස්ථාපිත කර රෝහල තුළ සීටී ස්කෑන් ලබාගැනීමය. ඒ අනුව පසුගිය 2017 සැප්තැම්බර් 23 දින සබරගමුව පළාතේ හිටපු ප්‍රධාන අමාත්‍ය මෙන්ම එම සභාවේ සෞඛ්‍ය අමාත්‍ය මහීපාල හේරත් මහතා හිටි හැටියේම පැමිණ මෙම සීටී ස්කෑන් පිහිටි ගොඩනැගිල්ල විවෘත කරන ලදී.

මෙම සීටී ස්කෑන් යන්ත්‍රය විවෘත කර මේ මාසය වනවිට මාස හයක් ඉක්ම ගොස් ඇතත් මෙයින් නිසි ප්‍රයෝජන ගන්නා ආකාරයක් දක්නට නැත. තාමත් ඇඹිලිපිටිය රෝහල තුළ සීටී ස්කෑන් සිදුකරන්නේ නැත. ඒ සඳහා විශාල මුදලක් වැය කරමින් රෝගීන් රත්නපුර මහ රෝහල ඇතුළු රෝහල් කරා රැගෙන යන බව රෝහ‍ලේ වෛද්‍යවරු පවසති.
කායික රෝග විශේෂඥ සනත් ජයසිංහ මහතා කියා සිටියේ හදිසි අංශභාග තත්ත්වයන් ඇතිවූ රෝගීන් ඒ තත්ත්වයෙන් මුදවා ගැනීමට නම් සීටී ස්කෑන් පරීක්ෂණයක් සිදුකර ඉතා ඉක්මනින් ප්‍රතිකාර කළ යුතු බවයි. මේ තත්ත්වය මත හදිසි අනතුරු ලෙඩෙක් හා එවැනි ‍ලේ කැටියක් සහිත රෝගියකු පැමිණියහොත් රත්නපුර රෝහල කරා සීටී ස්කෑන් සඳහා යැවිය යුතු බවත්, එහිදී ඇතිවන ප්‍රමාදය හේතුවෙන් රෝගීන් මියයෑමට බොහෝ ඉඩකඩ තිබෙන බවත් ඔහු කීය.
මේ වනවිට හදිසි අනතුරකට භාජනය වූ රෝගියකුගේ සීටී ස්කෑන් පරීක්ෂණ සඳහා කොළඹ දක්වා මාරුකර යැවිය යුතු බවද වෛද්‍යවරු පවසයි.

සීටී ස්කෑන් සඳහා දිනකට රෝගීන් දසදෙනෙක් පමණ වෙනත් රෝහල් කරා මාරුකර යවන බවත් මේ ප්‍රමාදය හේතුවෙන් රුපියල් පහළොස් දහසක් පමණ ගෙවා පුද්ගලික ස්ථානවලින් සීටී ස්කෑන් ලබාගැනීම සිදුකර ගැනීමට අසරණ රෝගීන්ට සිදුව ඇති බවත් ඇඹිලිපිටිය රෝහ‍ලේ වෛද්‍යවරු පවසයි.
මේ වනවිට සීටී ස්කෑන් පරීක්ෂණ සිදුකර ලබාදෙන හදිසි ප්‍රතිකාර සඳහා වුවමනා ඉතා අධික වටිනාකමකින් යුත් ඖෂධ ඇඹිලිපිටිය රෝහල වෙත ගෙන්වා ඇති බවද රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි. එහෙත් රජයෙන් නොමි‍ලේ ලබාදෙන එම හදිසි ප්‍රතිකාර ලබාදීම සඳහා සීටී ස්කෑන් පිටපතක් නොමැතිව සිදුකළ නොහැකි බවද වෛද්‍යවරු කියා සිටී.

මේ සම්බන්ධයෙන් අදහස් පළ කළ ඇඹිලිපිටිය දිස්ත්‍රික් මහ රෝහ‍ලේ ළමා රෝග විශේෂඥ වෛද්‍ය සනත් කස්තුරිආරච්චි මහතා කියා සිටියේ රෝහලකට සීටී ස්කෑන් යන්ත්‍රයක් ඉතාම වැදගත් බවත් හදිසි රෝගීන්ගේ ජීවිත බේරාගැනීමට ඉතා ඉක්මන් ප්‍රතිකාර සඳහා සීටී ස්කෑන් පිටපතක් ලබාගත යුතු බවත්ය. එපමණක් නොව රෝගීන් වෙනත් රෝහල් කරා මාරු කිරීමේදී රෝහ‍ලේ සේවකයන්, වෛද්‍යවරු ගිලන් රථ සඳහා අතිරේක දීමනාද විශාල වශයෙන් ගෙවිය යුතු බවත් ඇඹිලිපිටිය රෝහ‍ලේ මේ වනවිට සවිකර ඇති සීටී ස්කෑන් යන්ත්‍රය ඉතා ඉක්මනින් සීටී ස්කෑන් පිටපත් ලබාගැනීමේ කටයුතු සිදු කරන්නේ නම් මේ නාස්ති වන මුදල් මෙන්ම ජීවිත බොහෝ ප්‍රමාණයක් රැකගත හැකි බවත් වෛද්‍යවරයා පවසයි.

මේ සම්බන්ධයෙන් ඇඹිලිපිටිය දිස්ත්‍රික් මහ රෝහ‍ලේ වෛද්‍ය අධිකාරී නේපුල් ධර්මතිලක මහතාගෙන් අප කළ විමසීමකදී කියා සිටියේ මේ වනවිට විදුලිය සම්බන්ධ ගැටලුවක් හේතුවෙන් සීටී ස්කෑන් කටයුතු ආරම්භ කිරීමට හැකියාවක් නැති බවත් ඉක්මනින් එය යථා තත්ත්වයට පත් කිරීමට මේ වනවිටත් බලධාරීන් හා සාකච්ඡා කරමින් සිටින බවත් කීය.

මේ සම්බන්ධයෙන් අදහස් පළ කළ ඇඹිලිපිටිය හදිසි මරණ පරීක්ෂක ආර්.එස්. ගුණසේන මහතා.
‘ඇඹිලිපිටිය රෝහලට සීටී ස්කෑන් එකක් ගෙනැල්ලා දැන් අවුරුදු දෙකක් විතර වෙනවා. දැනට මාස හයකට කලින් මෙය විවෘත කළා. විවෘත කළේ සබරගමුව පළාත් ප්‍රධාන අමාත්‍ය මහීපාල හේරත් මැතිතුමා. මේක විවෘත කළාට තාමත් වැඩ කරන්නේ නැහැ. අපි ඇහුවම කියන්නේ සීටී කාමරේට විදුලිය නැහැ කියලා. මේකට විදුලිය දුන්නම මුළු රෝහ‍ලේම විදුලිය විසන්ධි ඵවෙනවා කියනවා. පැනල් බෝඩ් එකේ අවුලක් කියනවා. කොහොම හරි අද වෙනකම් මේක වැඩ කරන්නේ නැහැ. දැනට මාස හයක් වෙනවා මේක විවෘත කරලා’ යැයි පැවසීය.

පී.පී.ජේ. රූපසේන-කොළොන්න
සුනිල් හරිස්චන්ද්‍ර-උඩවලව